වඩු බංකුව

post-title

"දැන් ඇයි උඹේ ලොකු පුතාට හමුදාවට යන්න උනේ.මේ සේරම මුං හදපු ප්‍රශ්න ".තාත්තා දෙස බලාගෙන උපාලි නොනවත්වා තම කතාව කරගෙන ගියේය.තාත්තා වැඩ අවසන ගෙදර පැමිණි පසු දයිනිකව මෙම රංචුව නිවසට පැමිණීම තරම් නොරිස්සුම් දෙන තවත් දෙයක් මා හට නොවීය.මොනවා හෝ ලොකු දෙයක් කතා කරන බව පමණක් මම දනිමි.නමුත් ඔවුන් අහිමි කලේ තාත්තා සමග මා හට සෙල්ලම් කිරීමට තිබු කාලයයි.

       ගඩොලින් බැද කපාරාරු නොකල ගෙයි සාලය පස්දමා තලා තිබුණි.අළුතින් ඉදිවන නිවසේ උලුවහු තැනීමට අඩි අටක් පමණ දිග වඩුබංකුවක් වඩු මාමා විසින් සාලයේ කොණකට වෙන්න තනා තිබුණි.දහවල් දවස මා ගෙවා දමන්නෙ වඩු මාමාගේ විහිලු තහළු සමගය.හිංදෑරි සුදු වූ  මවිල් ඇති පපුවෙහි රෝම කූප මා වැරෙන් අදිමින් ඔහුට දෙන වද ඉවසුවේ මා කිරිසප්පයෙකු නිසා විය හැක.

        දහවලේ වඩු මාමාගේ වැඩබිම වූ වඩුබංකුව හවසට පැමිණෙන ලොකු මිනිසුන් තිදෙනාගේත් තරුන ගැහැනියගේත් රැස්වීමේ වාඩිවන ආසනය විය.මොනවා උනත් මා හවසට පැමිණෙන ලොකු නඩයේ වයසක උන්දෑ වූ ඩික්සන් මාමාට ඇලුම් කලේ කිසිදා නොවරදින චොකලට් බෝල පැකැට්ටුව නිසාය.අම්මාත්  තාත්තාත් නිවසට පැමිණි පසු මේ නඩය ආරම්භ කරන මහා පෙරලිකාර සාකච්චාව මා කට ඇර ගෙන අසා සිටින්නේ සාලයේහි තිබූ දූවිලි නිසා තට්ටං දෙකෙහි ඇතිවූ කුඩා කුශ්ට බිබිලි කසමින්ය."මුං අවුරුදු දා හතක් මොනවද කලේ,රට කෑව,විවෘත ආර්තිකය ගෙනල්ල අපේ සේරම කර්මාන්ත නැතිකලා.දැන් යුද්දෙ..රටේ කීයක් දවසට මැරෙනවද අපි මේක ඉවර කරන්න ඕනි සෝම අක්කෙ".අම්මා දෙසට හැරෙමින් තරුන ගැහැනිය මාත් සමග හත්දෙනෙකු පමණක් සිටින සාලය දෙවනක් වනතෙක් කෑගැසුවාය."ඕක හෙමීට කිව්වනම් ඇහෙනවනේ""යයි පැවසීම්ට මා සිතුවද ලොකු කතා වලට මැදට පැන අම්මාගෙන් ලැබෙන ඉලපත් සංග්‍රහය මා කලින් බුක්තිවිද ඇති නිසා කට වසා ගෙන සිටීමට තීරණය කලෙමි.

  අල්ලපු ගෙදරත් එවැනිම රැස්වීම් තිබෙන තැනකි.නමුත් කිසිදා අම්මා හෝ තාත්තා හෝ ලොකු නඩයේ කිසිවෙක් අල්ලපු ගෙදර මිනිසුන් සමග හෝ එහි පැමිණෙන ලොකු නඩය සමග හෝ කතා කරනවා මා දැක නැත.දහවල් දවසේ මට තහනම් වූ තවත් කරුනක් නම් අල්ලපු ගෙදරට යාමය.නමුත් මට බෝල ගැසීමට ඉන්න එකම එකා අල්ලපු ගෙදර රංග අය්යා පමණි.අල්ලපු ගෙදරට නොයාමට වගබලාගන්නා මම රංග සමග පාරේ සෙල්ලම් කෙරුවෙමි.දිනක් අම්මාගේ අතටම හසු වුවද නොදැක්කා සේ ඇය යන්න ගියාය.නිවසට පැමිණෙන මා හට මුලින්ම මතක් වූයේ අම්මාගේ ඉලපතය.රංග සමග සෙල්ලම් කල වරදට මා හට ඉලපත් පාර නොලැබුණු එක මට ලොකු ප්‍රශ්නයක් විය.

          "  අම්මේ ලොකු අය්යා එන්නෙ කවද්ද?".මා නිතරම අම්මාගෙන් ඇසූ පැනය එය විය.එවිට ඇයට හැඩෙයි.මා තුරුළු කරගෙන ලොකුඅය්යා එවූ ලිපිය කියවයි.මා හට වැදගත් එකම දෙය නම් ලිපියෙහි අවසන "අම්මේ චූටිබබාව හොදින් බලාගන්න ".මැයින් ලොකු අය්යා තබන සටහනය .එය සෑම ලිපියකම නොවරදින සටහනකි."අය්යා ඉක්මනට එනව කිව්වා චූටිබබා.අම්මා දවල්ට නෑනෙ.මගෙ රත්තරං පරිස්සමින් දගනොකර ඉන්න ඕනි හොද්ද?". මාගෙ හිස පිරිමදිමින් කදුලු සලන දෙනෙතින් යුතුව අම්මා පැවසුවාය.

   පසුදින ලොකු නඩය පැමිණියේ තඩි කොල මිටියකුත් රැගෙනය.මට එය කුමක්දැයි බැලීමට අවසර නොතිබිණි."නන්දෙ ,තව සතියයි තියෙන්නෙ,අද රෑට ගමේම පෝස්ටර් පාර වදින්න ඕනි".ඩික්සන් මාමා සෘජු ලෙස තාත්තාගේ මුහුණට එබෙමින් පැවසුවේය."හරි ඩික්සන් අය්යෙ,අද රෑට වැඩේ වෙයි".තාත්තා ඩික්සන් මාමාගේ උරහිසට තට්ටු කරමින් පැවසුවේය.හසරක් නොදන්නා මම පුරුදු පරිදි කට ඇර ගෙන බලාසිටියෙමි.සතියකට පමණ පසු මොකක්දෝ මගුලක් වැනි යමක් තිබෙන බවට මම සිතා සිටියෙමි.අදාල දිනය උදාවිය.අම්මාත් තාත්තාත් වෙනදාට නොමැති කඩිසර කමකින් පාංදරම ගමේ ඉස්කෝලයට පිටව ගියෝය.ටිකවේලවකින් දයාපාලා මාමා පැමිණ "චූටි අප්පො එනව යන්න ඉස්කෝලෙට ,අම්ම එක්ක එන්න කිව්වා".මිටිං හල කුරුල්ලෙකු මෙන් දයාපාල මාමාගේ අතේ එල්ලී මා පාසල වෙත පිටව ගියේ මෙම ලොකු මගුල කුමැක්දයි දැන ගැනීමට තිබූ අදික කුකුස සිතෙහි තබා ගෙනය.

  ගමේම සෙනග එක පොදියට එතනය.තාත්තා පාසල් ශාලාවේ වාඩි වී මොනවාදෝ ලියමින් සිටියි.අම්මා අසල නිවසක විස්සක් තිහක් පමණ කාන්තාවන් පිරිසක් සමග සල්ලාපයෙහිය."මේ පාර බය වෙන්න දෙයක් නෑ සෝම අක්කෙ අපි උඩින්ම දිනුම්" ශ්‍රී අංක තහඩු යෙදූ ඩිපෙන්ඩර් රතයකින් බිමට බසිනා ගමන් උපාලි අම්මා ඇමතුවේය.

   එදින රාත්‍රියේ අපි තිදෙනාටවත් හරියාකාරව සිටීමට නොහැකි නිවසේ රේඩියෝව වට කරගෙන ගම්මු රැස්වී සිටියෝය.රේඩියෝවේ මොනවාදෝ පැයෙන් පැයට කියයි."ජනාදිපතිවරණය 1994.පැල්මඩුල්ල ආසනය ජයගනිමින් පොදුජන එක්සත් පෙරමුණ ලබාගත්..".මට ඇසුනේ එපමණි.දයාපාල මමා අඩි විස්සක් පමණ දිග ගිනිකෙලියට ගිනි තැබුවේය.ගිනිකෙලි ශබ්දයට මා ඉහවහා ගිය ප්‍රීතියෙන් යුතුව හූ තබමින් නැටුවෙමි.පසෙකින්"පුටුවට ජයවේවා"වැනි සටන් පාඨ ඇසේ.ඕන දෙයක් කරගත්දෙන් යැයි සිතා මම සුපුරුදු පරිදි නින්දට වැටුනෙමි.උදෑසන කිරිබත් පිසෙන සුවදට තවත් බොරුවට නිදා සිටීමට මා හට නොහැකි විය.

    "කාලකණ්ණි දා හත් අවුරුද්දක් අපි ඉවර කලා.දැන්නම් සැනසීමෙ ඉන්න පුලුවන්"අම්මා තාත්තා සමග කිරිබත් රසවිදිමින් පැවසුවාය.මා සුපුරුදු පරිදි රංගයා සමග බෝල ගැසුවෙමි.වඩු මාමා මාස ගානක් තිස්සේ ලී යතු ගාමින් සිටියේය."ඕක හදල ඉවර කරන්නෙ කවදද ඔයා".මම උපහාසාත්මකව ඔහුගෙන් ඇසුවෙමි."හදල ඉවර කරන්න ?උබලගෙ තාත්තට කියපන් බඩු ගෙනත් දෙන්න කියල ඉක්මනට ඕනිනම්".කීව දේ හරිහැටි නොවැටහුනද මාහට ක්ෂණයෙන් මතයක නැගුනේ ලොකු අය්යාය.මාහට ඔහු ඇලඩින්ගේ පහනේ බූතයා විය.අවශ්‍ය ඕනෑම දෙයක් ලොකු අය්යා පැමිණි පසු මා හට ලැබෙන බව මම දනිමි."ඉන්නකො,ලොකු අය්යා අවාම මං කියන්නම් අරන් දෙන්න කියලා".මම වඩු මාමාට පැවසුවෙමි."පණ්ඩිත කොල්ලා".කියමින් මාගේ හිස අතගාගෙන විට කෙල ගැසීමට ඔහු මිදුලට ගියේය.

   මාස ගනනක් ගෙවී ගියේය.දැන් පෙර මෙන් ලොකු නඩය නිවසට පැමිණෙන්නේද නැත.ඉදහිට ඩික්සන් මාමා පැමිණියේය.ඔහු කෙදිනකවත් චොකලට් බෝල පැකැට්ටුව අමතක නොකලේය.හදිස්සියේම ලොකු අය්යා නිවාඩු ලබා පැමිණියේය.ඔහු දැකීම තරම් සතුට උපදවන කිසිවක් මාහට නොතිබිණ.ඔහු අම්මාද මාද කැටුව ටවුමේ ඉස්කෝලයට ගියේය."සර් මගෙ මල්ලිව කොහොමහරි ඉස්කෝලෙට ගන්න ලොකු උදව්වක්,".අය්යා සුදු සරමක් හැද සිටි වයසක දරුණු පෙනුමැති පුද්ගලයාට පැවසුවේය."ඔයාලට කරන්නැති උදව් කාට කරන්නද පුතා,ඔයාල හින්දනෙ අපි බය නැතුව හුස්ම ගන්නෙ".යැයි හේ පැවසුවේය.ලොකු අය්යා නිවාඩු පැමිනි පසු කහ පාට වතුර බෝතල් සහ ඩ්‍රම් සෙට් රැගෙන පැමිනෙන යහලුවන් අතරේ මා කෙදිනකවත් සුදු සරම් කාරයා දැක නැත.අලුත් යහලුවෙක් වෙන්නැති යැයි මම  සිතා ගතිමි."ඔන්න චූටි බබා මන් ඔයාව ටව්මෙ ඉස්කෝලෙට දැම්මෙ හොදද?,ඔයා හොදට ඉගෙන ගන්න ඕනි.ශිෂ්‍ය්ත්වෙ පාස් උනාම මන් ඔයාට බයිසිකලයක් අරන් දෙනව"..නිතරම ඔහුගේ මුවින් පිටවන අමුතු දුම්ගදෙන් පිරි දෙතොලින් මගේ කම්මුල් සිප ගනිමින් ලොකු අය්යා පැවසුවේය.ලොකු අය්යා නැවත යාපනේ යන දිනය කිසිසේත් ම මාහට දරාගැනීමට නොහැක.මාගේ හැඩුම් නිසා ඔහුට ප්‍රමාද වූ වාරගනන ඔහු නිවසට නිවාඩු ලබා පැමිණි වාර ගනන ට සමානය.ඔහු ගිය පසු දිනක් දෙකක් යන තුරු මා නලවා ගැනීමට අම්මාට විශාල වෙහෙසක් දැරීමට සිදුවෙයි.

    මම පාසලේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර පාසල් නිවාඩුවට අම්මා සමග කලවානේ පුංචි අම්මලාගේ නිවසේ දින කීපයක් ගත කිරීමට ගියෙමි.මාගේ අනෙක් සොහොයුරා එහි සිට අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියේය.කෙලිදොලින් දින කීපයක් ගතකර අම්මා සමග මා නැවත පැමිණියේ චූටි අය්යාට ඉතා අමාරුවෙන් සමුදීමෙන් අනතුරුවය.

    නැවත පැල්මඩුල්ලට පැමිණෙන විට ගොම්මං වැටී තිබිණ.හිරිකඩ සමග මූසල හවසක් නිර්මාණය වී ඇත.හැතැම්ම භාගයක් පමන හංදියේ සිට පයින් යාමට ඇත.මම අම්මාගේ අතේ එල්ලී ගමන් කලෙමි.මගතොට හමුවන කිසිවෙක් අම්මා සමග කතානොකලෝය.ද්‍යාපාල මාමා පමණක් මහා අමුතු විදියට අම්මා සමග කතා කොට යන්නට ගියේය.නිවසට පැමිණෙන විට පනහක්පමණ පිරිසක් මිදුලේ තැන් තැන් වල කතාබහේය.මා බැලුවේ වඩු බංකුව දෙසය.එහෙත් ලොකු නඩය පැමිණ නැත.ඒ වෙනුවට ලොකු නඩයේ පුංචි මිනිසා වූ තාත්තා පමණක් එහි හිද ගෙන සිටියේය.අම්මා  දුටු විගස හැමෝම නිශ්ශබ්ද විය."මොකක්ද වෙලා තියෙන්නෙ".බලාපොරොත්තු කඩ වූ වෙව්ලන දෙතොලින් , යටිහිතේ සැගවුන අදික භීතියකින් යුතු මුහුනින්, යුතුව අම්මා විමසුවාය.තාත්තා නිතරම සෘජු ලෙස කතා කරන කෙනෙකි.එනිසා මම ඉතා ඉක්මනින් ඔහුගේ පිලිතුර අපේක්ශාවෙන් බලා සිටියෙමි."කලබල වෙන්න එපා සෝමා,ලොක්කට වෙඩි වැදිලා".සෘජු ලෙස පැවසුවද ඉකිගසන මුවින් තාත්තා පැවසුවේය.විදුලියක් හදවත පසාරු කරන්නාක් මෙන් වේදනාවක් මා හට දැනින.කොහේ හෝ සිට පැමිනි වඩු මාමා මා තුරුලට ගත්තේය.මාගේ තට්ටං වල කුශ්ඨ ඇතිවීමට හේතු වූ සාලයේ දූවිලි කමින් ඔබ මොබ පෙරලෙමින් අම්මා විලාප දුන්නාය.මොහොතකින් ඈ ක්ලාන්ත වී ගියාය.ගම්මු පිරිසක්  මිදුලෙහි මඩු සදති.තවත් පිරිසක් තේ පිලියෙල කරති."නන්දෙ අය්යේ,පෙට්ටිය තියන්න ඉඩමදි ,වඩු බංකුව ගලෝල දාන්නද"?..දයාපාල මමා තාත්තාගෙන් ඇසුවේය."ඔන්න ඔය අටමගල ගලවල විසිකරපන් මගෙ දෑහට නොපෙනි".

   නිමි.

Top