ජයලතුන් මැවූ දම්මි චපල ස්ත්‍රියක් ද? (626)

post-title

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා

පවුරු බැඳගෙන සිතක වැජැඹුනු රසවතී නෑ කොයි ගියා

ආදරෙයි මම ආදරෙයි

දම්මි තවමත් ආදරෙයි

මහා පියකරු සිහින සිතුවම්

මතුකලා රසබර හැඟුම්

දයාවන්තය යොවුන් සිතුවිලි

රසකලා ඔබෙ නෙත් කැලුම්

ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි...

(පද- කරුණාසේන ජයලත්)

සොඳුරු ගී පෙළක් රහසේ ම විත් මා සවන් අස ලැගුම් අයදියි. ඒ ගී පද වැල් අතර තුළ තනිවුණ සුයාමෙක දී මට ඔවුන්ගේ කතාව සිහිවෙයි. ඒ කතාව දම්මිගේ කතාවයි. එසේ ම ඒ කතාව සුගත්ගේ ද කතාවයි. භද්‍ර යෞවන ප්‍රේමයේ පාරිශුද්ධ හැඟුම් එකින් එක එකින් එක හදබිතෙහි සිත්තම් කරමින් ශිල්පශාලිකාවේ ගෙවී ගිය ඒ ආදර අන්දරය එදා මෙදාතුර බොහෝ රසික හදවත් තුළ අනන්ත වූ හැඟුම් මෝදු කරන්නට සමත් වූ බැව් නොරහසකි. 

කරුණාසේන ජයලතුන් විසින් රචිත සුගත්ගේත් දම්මිගේත් කතාව වූ ගොලුහදවත එදවස හැට හැත්තෑව දශකයන් හි දී භද්‍රහෞවන මානවක මානවිකාවන්ගේ ප්‍රේමාන්විත ජීවිතයන්හි සංකේතයක් වූ බැව් නම් සැබෑවක්ම ය. පසුකලෙක හැට ගණන්වල අග භාගයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් මෙතෙක් අච්චු අකුරු ඔස්සේ සහෘද හදවතට සමීපස්ථ වූ එකී නවකතාව රූප මාධ්‍ය ඔස්සේ සිනමාත්මකව ආගමනය වීමත් සමඟින් සුගත් සහ දම්මි ජීවමානව නේත්‍ර අස ගැවසීම ඇරඹෙයි. ඉදින් එවක එදවස පටන් ම අද්‍යතන යුගයේ මේ මොහොත තෙක් ම සුගත් ගැන ද දම්මි ගැන ද නේක විධ මතයන්ගෙන් මේ කලා අවකාශය නින්නාද දුන් වග අපි දනිමු... වරෙක අපි ද ඒ අදහස් දැක්වීම්වල පංගුකරුන් වූයෙමු. ඒ අදහස් කෙසේ වුව ද ගොලු හදවත වනාහී සුන්දර ප්‍රේම ගෙත්තමක් ම ය. 

ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පියකරු, කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබර ය, විචිත්‍රවත් ය, වර්ණවත් ය. මේ රසබර වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන් ද පෝෂිත වූ ළපටි සිතක පහළ වන රසවත් හැඟීම් මුලු ජීවිත කාලයේ ම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත් ව හා ස්ථිර ව පැළපැදියම් වීම ස්වභාවික න්‍යායකි.

ජයලතුන් ස්වකීය නිමැවුම අරඹන්නේ එලෙසින් ය. සැබැවින් ම සුගත් හා දමයන්ති අතර පැවැතුනේ ප්‍රේමයකි. ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය සුන්දර වග හදවතට තට්ටු කර විමසන කල්හි මට මෙන් ම ඔබට ද දැනෙනු ඒකාන්තය. ඉදින් සිප් බිම පුරා කෙළිදෙළෙන් ගෙවෙන මේ හිරිමල් භද්‍ර යෞවනයේ පසුවූ සුගත් ගේ ද දම්මිගේ ද හදසන්තානයන් හි මිහිරෙන් පිරුණු ඒ ආනන්දනීය හැඟුම ප්‍රේමය ම ය. දෑසින් තැබූ ඉගියෙන් ඇරඹෙන එකී බැඳුම ලොවට ම රහසේ හදපුරා පෙම් ගීතිකාවෝ ලියා තබන්නේ ද යාලු මිතුරු මිතුරියන්ගේ කෙළිකවටකමින් දිරි ලැබ පෝෂණය වන්නේ ද කොතරම් යථාර්ථවාදීව ද? එවන් ප්‍රේමයක අත්දැකීම් විඳ ඇති අයෙක් වෙත්නම් ජයලතුන් මවන මේ සුන්දර සිදුවීම් දාමයේ ඇලී ගැලී එය කියවන්නේ අතීත මතකයන් හි ප්‍රබෝධය ද හදෙහි රුවාගෙන ම ය. 

සුගත් ගේ මුවින් ඔහු ඇයට එක් වර ම ප්‍රේමය ප්‍රකාශ කරන්නේ නැත. දම්මි ද එසේ ම ය. දෙදෙනා තුළ බැඳි පෙම දෙසිත තුළ ම අභ්‍යන්තරිකව පමණක් විකසිත වෙයි. දෑස් කතා කරයි. එහෙත් වදන් බවට පත් නොවෙයි. හැඟුම් සේනා මල්වරව සිත් පුරා දෝර ගලයි. එහෙත් ප්‍රේමය අප්‍රකාශිතව ම පසුවෙයි. වරින් වර වදනින් නොපැවසෙන මේ ප්‍රේමය පිළිබඳ රහසේ ම මෙන් සහෘදයාට ඉඟි කෙරෙයි. ආදරය උතුරා ගලා යන එවන් සුන්දර අවස්ථා ගොලුහදවතේ ගොලු නොවීම ගලා යයි. 

ස්... ස්...

නැවතත් ඒ ශබ්දය නැගිණි. ශබ්දය පැමිණි දිශාව දැන් නිශ්චිතය. ඔහු කෙළින් ම දමයන්ති දෙස බැලුවේය. ඈ මිට මෙළවුණ දෙයක් ඔහු දෙසට දික් කරගෙන ඕනෑදැයිඇසුවා ය. මොනවාදැයි ඇසීමට තීරණය කිරීමට ඔහු අපොහොසත් විය. නැගිට ඇය වෙත ගිය ඔහු අත පෑවේ ය. ඈ වෙරළු ගෙඩි හතරක් පහක් ඔහුගේ අත්ල මත තැබුවාය. ඔහුට ඇඟිල්ලක සීතල ස්පර්ශයක් දැනී ගියේ ය.

ඒ ඔවුන් ගේ ප්‍රේමයයි. මුවින් නොතෙපලු ප්‍රේමයයි. රාගයෙන් කිලිටි නොවූ පාරිශුද්ධ වූ හැඟීමයි. එහෙත් අවසන අප්‍රකාශිත බව බිඳෙයි. ප්‍රේමය ප්‍රකාශිත වෙයි. සුගත් දම්මිගෙන් පෙම අයැදියි. දම්මිගේ පිළිතුර සුගත් බලාපොරොත්තු වූවක් නොවෙයි. 

අනේ සුගත් ඔයාව හම්බවෙන්නත් කලින් ඉඳලා ම මම වෙන කෙනෙක් ට ආදරය කරනවා...

සුගත් පසුවූ ප්‍රේමයේ සිහිනය බිඳ වැටී සී සී කඩව යයි. ඉදින් ඔහු අහිංසක පෙම්වතාගේ සිට මත්ලෝලී බේබද්දෙකු දක්වා රූපාන්තරණය වෙයි. සිහිනය සහ යථාර්ථය ඛණ්ඩනය කෙරෙන ඉසව්වක් ද සුඛාන්තයේ සහ දුඛාන්තයේ මායිම සලකුණු කරන ඉසව්වක් තුළදී ද සුගත් අසරණ වෙයි. එදවස සමකාලීන යුගයේ ප්‍රේමයෙන් පරාජිත වූවෝ ගණුලැබූ තීන්දු කිහිපයක් විය. එකක් යළි කිසිදිනෙක පෙම් නොකර සිටීමය. අනෙක මත්ලෝලියෙක් වී ම ය. එනිසා සුගත් සමකාලීන සමාජය තුළ ප්‍රතිබිම්බයක් සේ පෙනෙයි. නමුත් ඉන් පසුව දම්මී පිළිබඳ ලොව තුළ පැන නැගෙන අදහස කවරක් ද?

“දම්මී යනු චපල ස්ත්‍රියකි.”

මෙය එදාමෙදාතුර බොහෝ දන දම්මි පිළිබඳව පවසන අදහසයි. නැතහොත් චෝදනාවයි. ප්‍රේමයේ චපලත්වය නිරූපණය කරන චරිතයක් සේ ජයලතුන් ට පසුව බිහි වූ නිර්මාණකරුවෝ පවා දම්මි නම් කොට ඇත. ඔවුන් ඇගේ චපලත්වය ආදේශකර නිර්මාණ ද බිහි කළහ. අනෙක් පෙම්වතියන් දම්මිලා මෙන් චපල නොවන බව පවසමින් චපල දම්මීගේ ප්‍රතිපක්ෂය ලෙසින් පරමාදර්ශී ප්‍රේමවන්තියන් ගේ චරිත නිමැවීය. ඒ සියල් අස මට මෙවැනි නිර්මාණයක් සිහිවෙයි.

දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට

මං ඒ වගෙ කෙනෙක් කියලා එපා හිතන්න

පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුළක් හිමි වුණාට

හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න...

සැබැවින් ම දම්මි චපල ස්ත්‍රියක් දැයි විමසන්නට පෙර චපලත්වය යනු කුමක්දැයි අවබෝධකර ගැනීම සිදු කළ යුත්තක් නොවන්නේ ද? මේ ලිපිය ලියන්නට පෙර මම මගේ පත්තර මිතුරියක් ඇමතීමු. 

“දම්මි චපල ද?” ඒ මගේ පැනයයි. ගැහැණුන් ගේ සිතුවිලි කියැවිය හැක්කේ අව්‍යාජ ගැහැණු හදකින් ම පමණක් නිසා මම ඇගෙන් එසේ විමසීමි. 

නෑ... චපලයි කියන්නෙ බොරු කරන එක. වංචා කරන එක. ඉතින් දම්මි සුගත්ට බොරුවට ආදරේ කරේ නැහැ. එයා ඇත්තට ම ආදරේ කරා. ඒත් එයාට සුගත් ට ආදරය ප්‍රකාශ කරන්න බැරි වෙන්න හේතු තිබුණා.ඒ ඇගේ පිළිතුරයි. 

සැබෑවකි. ගැහැණියකට සමාජය තුළ ස්වාධිනව හැසිරීමේ අවකාශ අද යම් පමණකට පැවැතුන ද එදවස ජයලතුන් ගොලුහදවතේ දම්මිලා සුගත්ලා සමාජගත කරවන කාලයේ පැවැතියේ පසුගාමී ගැමි සමාජයකි. එවන් සමාජ ස්ථරයක දෙමාපියන් දරුවන්ගේ සියලු තීන්දු තීරණ තමන් විසින් ගැනීමට පවරා ගන්නා ලද බැව් අප සියල්ලෝ ම දන්නා කරුණකි. ඉදින් දම්මිගේ දෙමාපියන් ඇයව නිහාල් ට විවාහ කර දෙන්නට තීන්දු කර ඇත. එහෙත් ඇය සැබැවින්ම ප්‍රේම කරන්නේ සුගත්ට ය. එසේ සුගත් ට ප්‍රේම කරන අවධියේ දී ඔහුට නිහාල් පිළිබඳ පවසා ඇය විදින ප්‍රේමයේ චමත්කාරය, වින්දනය, ආනන්දය විනාශ කර ගන්නට ඇය අකමැති ය. ඒ පෘතග්ජන හදවතක පොදු හැඟුමකි. ඒ හැඟුම සංකීර්ණය. සෑම මිනිස් හදවත්කම මොහොතක හෝ සතුට විඳින්නට ප්‍රිය ය. දම්මි තුළ වුව ඇති වන්නේ එකී විඳීමේ ස්වභාවයයි. එබැවින් පසු ප්‍රතිඵලය ගැන නොසිතාම ඇය සුගත්ගේ අප්‍රකාශිත ප්‍රේමයේ මිහිරියාව තුළ නවාතැන් ගනියි. ඒ විඳුම තාවකාලිකදැයි හෝ සදාකාලිකදැයි හෝ සොයන්නට ඇය නොවෙහෙසෙයි. මේ මොහොතේ ඇයට ඇත්තේ සුන්දර ප්‍රේමය විඳගැන්ම පමණකි. එය ස්වප්නයකි. 

එහෙත් ඇයට ස්වප්නය තුළ ජීවත්වන්නට නොහැකිය. යථාර්ථයට මුහුණ දෙන්නට සිදුවෙයි. මාපියන්ගේ අභිලාශය අනුව කටයුතු කරන්නට සිදුවෙයි. වරෙක ඇය ස්වකීයත්වය අහිමි වූ පරාරෝපිත චරිතයක් සේ පෙනී යයි. එබැවින් ඇය සුගත් ගේ ඇරයුම ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔහුට ප්‍රේම කරයි. ඇයට ප්‍රේමය ඇවැසිය. එහෙත් ඒ සුගත්ගෙන් නිහාල්ගෙන් ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇයට නැත. ඒ අයිතිය ඇත්තේ දෙමාපියන්ට ය. එහෙත් දම්මිගේ සිතේ ඇති කැමැත්ත එය සුගත්ගෙන් විඳීමට ය. එබැවින් ඇය එය සුගත්ගෙන් විඳියි. නමුත් ඇයට දෙමාපිය වදනට අනුව විවාහ වන්නට සිදුවන්නේ නිහාල් සමගින් ය. මෙය ගැහැණියක මුහුණ දෙන සංකීර්ණ තත්ත්වයකි. 

සියල්ල එසේ වූ කළ දම්මි චපලයැයි අපට තවත් කිව හැකි ද

Top