සියල්ලටම ඉහළින් මතුවී පෙනෙන ප්‍රබල සිදුවීමක්, ඒකීය ධාරණාවක්, සංවිධිත කතා වින්‍යාසයක්, එක් ප්‍රධාන චරිතයක්, ධ්වනිථාර්ථවත් නිර්මාණශීලී බස්වහරක්, ආකෘතික අත්හදාබැලීම්, මුල-මැද-අග සමමිතික බවක්, සිනමාරූපී රාමු, ජීවනදෘෂ්ටිය, නිශ්චිත කාලවකවනුවක් නියෝජනය කිරීම, ආදී ලකුණු අබිමුවෙහි මතු බලාපොරොත්තු තැබිය හැකි කෙටිකතාකරුවෙකු ;රෝස මුසැන්ඩාස් පිස්සුවෙන්; නැගී එයි.
මේ කෙටිකතා සංග්‍රහයෙ සෙසු කතා පරයා කතුවර අනන්‍යතාව මතුවන සාධනීය ලකුණු පෙනෙන්නේ, 'ස්-මරණය සහ ගස් මරණය' සහ 'රෝස මුසැන්ඩාස් පිස්සුව' කෙටිකතා බව අපගේ අදහසයි. මේ කෙටිකතා ප්‍රධාන කතාපුවත සමග දිවෙන එයින් ගැලවිය නොහැකි බද්ධ වූ අනු පුවතක් ද සහිතය. මේ සෑමතැනදීම කාන්තාවක් සම්බන්ධ වෙයි. කොස් ගස වේවා රෝස මුසැන්ඩාස් පැලය වේවා, මේවා තනියම කතාව තුල ස්ථානගත නොකෙරේ. ගිමාරා නිසා ජීවය ලබන කොස් ගස ආත්ම කථනයක් කළද එය මුසාවක් බව පාඨකයාට නොදැනේ. ගසේ කතාව ගසම කියනු විනා, එය ගිමාරා නෝනාගේ කථනයක් ලෙස යෙදුවේ නම් කතුවරයාගේ කෙටිකතාව මෙතරම් තාත්වික නොවනු ඇත. ගස උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව කියන අතරතුර ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ගිමාරා නෝනාගේ කතාවද කියාගෙන යයි.
කතුවරයා යොදාගන්න සිදුවීම් සාමන්‍යය. කතාව කියවා අවසන් වී එහි මුඛ්‍ය සිදුවීම් යලි සොයා බැලූවිට අතිශය සරල සිදුවීම් බව පෙනේ. එහෙත් විශේෂ වන්නේ, සාමාන්‍ය බව මගින් නිශ්චිත ඉලක්කගතව කතාව රචනා කරම්න් හරඹ පානු දැකීමයි. මේ කෙටිකතාවල ආරම්භයට කතුවරයා දෙන කැපවීම, එහි අවසානය දක්වා නොනසා පවත්වාගෙන යාමට හැකිවීම වැදගත් ය. කිසිම කතාවක් මගින් නතර කරන්නට හෝ කුසීත නොසිතේ.මෙයින් පෙනෙන්නෙ ඔහු හොදින් අභ්‍යාස නැතිනම් ගෙදර වැඩ කර ඇති අයෙකු බවයි.
'කොහොමද ඔප්පු කරන්නෙ?' කෙටිකතාව, සිනමාපටයක් දෙස බලාඉන්නාක් වැනිය. දුම්රිය ගමන් කරද්දි වැහෙන රේල්ගේට්ටුව අසල රියේ සිට කාන්තාවක් හා කතාකරන විකුම්, දුම් රියේ හඩ සහ පසුපස වාහන තවබදයෙන් පිඩීතව රිය ධාවනය කිරීමේ අවස්ථාව, රූපරාමුමැවෙන, දුම් ගද දැනෙන, දුම් රිය හඩ ඇහෙන, පැති කන්නාඩියෙන් තමා පහුකර යන කත පෙනෙන, ;කොහොමද ඔප්පු කරන්නේ; වැකිය අතීතයෙන් ඇසෙන මේ සියල්ල එකම මොහොතකට ගැනීම කෙටිකතාවේදී සූක්ෂම ව ඉටුකරගෙන තිබේ. මූණමල්පේ, කුරුලු ඇසකින් සමාජය දකින්නෙකි. ඔහු කෙටිකතා රචනා කරන්නේ, කතුවරයා නොව චරිත මතුකෙරෙන ආකාරයටය. කෙටිකතාව මෙහෙයවන ලණු යටත් නොකර අත්හැරීමෙන්ය.
සැබෑ ජීවිතේ නොකියවෙන, එහෙත් ඇතැම් කෙටිකතාකරුවන් විසින් නිර්මාණවල යොදන, ඕපපාතික, දාර්ශනික අමුතු සංවාද වෙතද කතුවරයා පහර ගහයි. එම කත පවසන ඉහත වැකිය විකුම්ට සිහිකරවන්නේ, වෙළඳ දැන්වීමක පෙනීසිටින්නෙකු පවසන රෙඩිමේඩ් වැකියක් ලෙසිනි. මේ කෙටිකතාව සරසවිවල සුන්දරත්වය හැර නොකියවෙන ඛේදවාචක, අජූවතා ගැන ද කෙරෙන විවරණය, අපට සිහිකරවන්නේ, 'බ්ලූ වෙල්වට්' සිනමාපටයේ අලංකාර මල්පාත්ති යටින් දිවෙන නගරයේ සියලු කුනු ඕජසයි.
එහෙත් ඇතැම් කෙටිකතාවක් ඉක්මණින් ලියා අවසන් කිරීමට කතුවරයා පෙළබීම නිසාදෝ, පෙර කී ලකුණු චංචල වනු පෙනේ. අවසාන කෙටිකතා ද්වයම එසේය. ඒවායේ ධාරණාව ඒකිය බවින් තොරව චලනය වන්නට ගනී. සම්මමිතික බව බිදී ගිලිහී ඇත. එක්වරම කතාව නතරවීම් වැනි අනපේක්ශිත දෑ කෙටිකතාවකදී සිදුවීම ගැටලුවක් නැතත්, යම් සංදිගධතාවක් මුලු කෙටිකතාවෙන් නිර්මාණය වේ. නමුත් ආකෘතිය නැවුම් ය.
නාට්‍ය රචක ගාෂියා ලෝකා සේ, තැන්ට උචිතව උනන වචනවලින් බටර් කැපීමට සුසන්ත මූණමල්පේට ද හැකිය. මේ බස, බසෙහි නැමියාව, ඇඹරීම්, ආධුනික රචකයන් අධීක්ෂණය කළාට පාඩු නැත.