‘‘ඉටි පිච්චෙන හැටි’’ මම විඳපු හැටි (305 වන ලිපිය)

post-title

කෙටි හැඳින්වීමක්

 ‘‘ඉටි පිච්චෙන හැටි’’ කෘතියේ කතුවරයා වන උපුල් සංජය කෘතිය ආරම්භයේ දී ‘‘කළුගල කලාවේ මා දුටු කලාව’’ යන මැයෙන් කෙටි සටහනක් තබා ඇත. එය තවත් දවැන්ත පර්යේෂණාත්මක ග්‍රන්ථයක හැඳින්වීමක් බඳු ය. මන් ද ඔහු එහි දී ඉදිරිපත් කරන අදාළ ප්‍රදේශයට ම ආවේණික වූ ජනකවි කිහිපය ඊට කදිම සාක්ෂියකි. මා මෙතෙක් අසා නොතිබූ එම ජන කවි කියවීමෙන් පසු මට හැඟී ගියේ උපුල් සංජය තව දුරටත් වෙහෙසෙන්නේ නම් එබඳු ජනකවි සංග්‍රහයක් පාඨක සමාජයට දායාද කළ හැකි බවයි. ඊට වෙසෙස් කරුණ වන්නේ එම නිර්මාණ අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික ජනකවිවල අනුභූති අභිභවන බැවිනි. එහෙයින් මෙම ලිපිය කියැවීමෙන් ඉක්බිති ඉඩ කඩ ලද අවස්ථා බලා එම කටයුත්තට වෙහෙසෙන්නැයි මම උපුල් සංජයට ආරාධනා කරන්නෙමි.

දැන් උපුල්ගේ නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරමු.

‘‘ඉටි පිච්චෙන හැටි’’ කෘතියේ අන්තර්ගත නිර්මාණය ප්‍රමාණය 32කි. එම නිර්මාණ 32 අතුරෙන් නිර්මාණ 22ක් ම මගේ වින්දනීය පරාසය ග්‍රහණය කරගත් බව පළමුවෙන් ම පැවසිය යුතු ය. ඒ, මා මෙතෙක් කියවා ඇති කාව්‍ය සංග්‍රහවල පැවති ඉතා සුවිශේෂ ලක්ෂණයකි. එය හේතුවෙන් ම අදාළ නිර්මාණ 22 අතුරෙන් විසංයෝජනයට ලක් කර පාඨක සහෘදයාවෙත ආසක්ත කළ යුත්තේ කුමන නිර්මාණ ද යන්න පවා ගැටලු සහගත ය. එබැවින් මෙතැන් සිට මා උත්සාහ කරන්නේ අදාළ නිර්මාණ උපුටා නොදක්වමින් ඒවායේ අභ්‍යන්තරය මා දුටු අන්දම පිළිබඳ යමක් පාඨක ප්‍රජාව වෙත සමීප කරවීම සඳහා ය.

ඉක්බිතිව

මවක සිය දරුවා කුඩා අවදියේ ඔහුගේ හෝ ඇයගේ මනසට ඇතුළත් කරන සිතුවිලි කෙතරම් දුරට ඔහුගේ හෝ ඇයගේ අනාගත දිවියට බලපෑම් කරන්නේ ද යන්න සහ එහි ධනාත්මක පාර්ශ්වයක් මෙන් ම ඍණාත්මක පාර්ශ්වයක් ද පවතින බව මෙම නිර්මාණය තුළින් ප්‍රකට කෙරේ. එමෙන් ම අනාගතයේ මවක වීමට සිටින කාන්තාවන්ට මෙම නිර්මාණය කදිම  ආදර්ශයක් සපයනු ඇතැයි හැඟේ.

අම්මෙ මට පොඩි නංගි හම්බුණා

මෙම නිර්මාණයේ මතුපිට දක්නට ලැබෙන්නේ පමුනුවේ රෙදි සාප්පුවක සේවයේ නියුතු සොහොයුරියක එම සාප්පුව වෙත පැමිණි පාරිභෝගිකයකු වන සිය සොයුරාට මුහුණ දීගත නොහැකිව මගහැර යන අන්දම ය.

අපි දන්නා අන්දමට ග්‍රාමීය පෙදෙස්වල සිට නගරයට පැමිණ විවිධ වෘත්තිවල නියැළී සිටින කාන්තාවෝ වෙති. ඔවුන් බොහෝ දෙනෙක් කොළඹ නගරයට පැමිණ කුමන රැකියාවක නියැළෙනවා ද යන්න සිය දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ට සඟවන්නේ හුදෙක් ආත්ම ගෞරවය පිළිබඳ කරුණක් හේතුවෙනි. නමුත් කවියාගේ ප්‍රකාශයට අනුව මෙම සොයුරිය නිවසෙන් බැහැරව ඇත්තේ කථකයාට හොර රහසේ බව හැඟවේ. ඒ, කථකයා ඇදුම් තොරා ගැනීමේ දී මව සහ පියා සිහිපත් කරමින් අනතුරුව සොයුරිය සිහිපත් කරද්දී ම ඇගේ රුව සාප්පුව තුළ දැකීමෙනි; ඇය සිය සොයුරා මගහැර යාමෙනි. නිර්මාණයේ වඩාත් ගැඹුරු ස්ථානය වන්නේ ‘‘අවුරුද්ද’’ යනු කුමක් ද යන්න කවියා ව්‍යංගාර්ථයෙන් පවසන ආකාරය යි. එනම් වර්තමානයේ අවුරුද්ද යනු හුදෙක් ව්‍යාපාරික අවකාශයක් පමණක් ම බව කවියා සිය කවිත්වය භාවිත කරමින් සමාජයට පැවසීම ය.

මාරුවෙන තුරු

සිර මැදිරි රැකවලා ද ඇතැම් විට සිරකරුවකු තරමට ම නිදහස අහිමි පුද්ගලයකු වන අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය. පුද්ගලික අංශයේ ආරක්ෂක නියාමකයා මතු නොව රාජ්‍ය ආරක්ෂක අංශයේ සෙබළා ද බොහෝ අවස්ථාවල එළිමහන් සිරකරුවෝ බවට පත්වෙති. වදන් දහයක් භාවිත කරමින් මෙකී යථාර්ථය සමාජ ගත කරන්නට නිර්මාණකරුවා සමත්ව ඇත.

මනාලියකගේ කඳුළු

මෙය ඉතා සංවේදී නිර්මාණයකි. විවාහ වන වයස පසු වී යුගදිවියට පිවිසෙන යුවතියකගේ වියපත් බව ආවරණය කර තිබෙන්නේ රූපලාවන්‍ය පිහිටාධාරයෙනි. එය හේතුවෙන් ම ඇයට සිය මවගෙන් වෙන්වන මොහොතේ කඳුළු සලා හඬන්නට තිබෙන අවස්ථාව ද අහිමිව ගොස් ඇත. මන්ද ඇය කඳුළු සලා වැලපුනහොත් ඇගේ මුව ආවරණය කර ඇති වත්සුනු දියව යන්නේ ය. එවිට ඇගේ වියපත් බව ප්‍රදර්ශනය වන්නේ ය. එනිසා ඇය දෙනෙතින් කඳුළු නොවගුරවා හදවතින් වැලපෙන ආකාරය පිළිබද චිත්තරූපයක් පාඨක මනසේ ජනිත කරන්නට කවියා සමත්ව ඇත.

ඒ කවුද A මල්ලි

නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරියකට තමන් අත් දුටු අනුභූතියක් පරිකල්පනීය මාවතක් ඔස්සේ නිර්මාණකරණයට නැගීමට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැත. එහෙත් ලාංකීය විශ්වවිද්‍යාල ප්‍රජාව අතුරෙන් කිසියම් සුළුතර හෝ බහුතර කොටසක් නිදහස් අධ්‍යාපන ඉල්ලා වීදි බසින්නේ හුදෙක් තරුණ මදය නිසා ම නොවේ. නිදහස් අධ්‍යාපනය පිළිබඳ විවිධ විරෝධතාවල පෙනී සිටින අතරතුර නිවසකට ගොස් කිසිවකුට යමක් උගන්වා මුදලක් සොයාගන්නේ හුදෙක් ධනේශ්වර පාලනය අනුමත කිරීමට නොවේ. සිය පෙම්වතිය තමන් සමග සිටින සගයන්ට හඳුන්වා දෙන්නේ හුදෙක් ඔහු හෝ ඇය සතුව පවත්නා සංකරභාවයක් නිසා නොවේ. සරසවියේ දී ස්වාමින් වහන්සේ නමකට ‘‘සංඝයියා’’ යැයි අමතන්නේ හුදෙක් අපහාස කිරීමට ම නොවේ. සිය පෙම්වතියගේ ඇකයේ හිස හොවාගෙන සිටින්නේ ද ලැජ්ජා බය නැතිකමකට නොවේ. රෑ නිදිවරා පෝස්ටර් අඳින්නේ සහ ඒවා බිත්ති පුරා අලවන්නේ ඔවුන්ට කරන්නට කිසිවක් ම නැති නිසා නොවේ.

මා දන්නා තරමින් මහපොළ ශිෂ්‍යාධාර ලබාගෙන එම මුදලෙන් මත්පැන් පානය කරන සිසුන් නම් මට හමු වී නැත. ඒ බහුතරයක් තමන්ගේ එදිනෙදා වියදම් පියවා ගන්නා අතර ඇතැම් අය සිය දෙමාපියන්ට මතු නොව සොයුරු සොයුරියන්ට ද එම මුදලෙන් කොටසක් වැය කරති. අනෙක් පසින් මාක්ස්වාදය නමැති මතය දරන්නේ (පසු කලක දී එම මතයට එරෙහිව කටයුතු කිරීම ද ඔවුන්ගේ වරදක් පමණක් ම නොවේ) හුදෙක් මොළයේ පවතින ආබාධයක් හේතුවෙන් නොවේ. 

මේ සියල්ල සඳහා මේ රට මෙතෙක් පාලනය කල ධනේශ්වර පක්ෂ මෙන් ම වාමාංශික යැයි කියාගන්නා පක්ෂ නායකයෝ ද වග කිව යුතු ය. ඉදින් දේශපාලන අනුභූතියක් ඇසුරෙන් නිර්මාණයක් කරන්නේ නම් මෙකී කරුණු පිළිබඳව යථාවබෝධයක් පැවතිය යුතු ය. නමුදු මෙම නිර්මාණයේ දි කවියා හුදෙක් සියල්ල මතුපිටින් අල්ලා සිය නිර්මාණය සමාජ ගතකර ඇති බව මගේ හැඟීම ය. 

ගුරුවරු

ගුරුවරයා යනු හුදෙක් වෘත්තිකයෙක් ම නොවේ. නමුත් වර්තමානයේ මතු නොව අතීතයේ දී ද ගුරුවර භූමිකාවෙන් ඔබ්බට ගොස් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය අඳුරු අගාධ වෙත තල්ලු කළ ගුරුවරු අනන්ත ය; අප්‍රමාණය.

ජාතක කතාවල සඳහන් චුල්ල ධනුද්ධර කුමාරයා ද, මුසිල නමැති අති දක්ෂ විණා වාදකයා ද, බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල ද යට කී ගුරුවරුන්ගේ අත්තනෝමතික කටයුතුවලට මැදිව සිය දිවි අනතුරට ලක්කරගත්තෝ වෙති. ඔවුන්ට අකුරු කියාදුන් ගුරුවරු යනු ම අති භයංකර පිරිසකි. නමුදු සෝවියට් සාහිත්‍යයේ එන ‘දුයිෂේන්’ යනු ආදර්ශමත් ගුරුවරයෙකි.

මෙකී ගුරු පරම්පරාවේ වෙනස පිළිබඳ කදිම විවරණයක් ‘‘ගුරුවරු’’ නමැති නිර්මාණය කෙරෙන් විද්‍යමාන වන්නේ ය. එමෙන් ම සැබෑ ගුරුවරයා යනු කවුද යන්න වෙන් කර හඳුනාගැනීමට ද මෙම නිර්මාණය බෙහෙවින් ම උපකාරි වනු ඇතැයි හැඟේ.

නැළැවිල්ලක කැලඹිල්ල

ටිම්රාන් කීර්ති කවියා විසින් රචිත ‘‘පොඩ්ඩියේ’’ නමැති කවිය මෑතක බොහෝ කතාබහට ලක්වූ නිර්මාණයකි. උපුල් සංජය විසින් රචිත ‘‘නැළැවිල්ලක කැලඹිල්ල’’ නමැති නිර්මාණය ද ඊට සමපාත අනුභූතියකි. නමුත් මෙහි අගතියට පත්වන්නේ පිය පාර්ශ්වය යි. එසේ අගතියට පත්වන පියා, සිය දියණිය රක්ෂා කිරීම සඳහා කෙතරම් වෙහෙසුණේ ද යන්න ඔහු විසින් ම සිය දියණියට පහදා දෙයි. මේ සමස්ත සිද්ධිය ම ප්‍රකාශ කිරීම සඳහා කවියා කවියා උපස්තම්භක කරගන්නේ වදන් පහළොවක් පමණක් වීම මෙහි සුවිශේෂත්වය යි.

මලක් මල්වර වෙලා

ගස් කැපීම යනු විශාල පාප කර්මයක් ලෙස පැරැන්නෝ කෙතරම් පැවසුව ද අගනා ලී ගෘහ භාණ්ඩවලින් ඔවනුගේ සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය සරසා ගන්නට ඔවුහු සියලු දෙනා දැඩි කැමැත්තක් දැක්වූහ. ‘‘මලක් මල්වර වෙලා’’ නමැති නිර්මාණයේ යටිපෙළින් විද්‍යමාන වන්නේ ද මල්වර වු දියණියකගේ නිදන කාමරයේ ප්‍රයෝජනය උදෙසා වත්තේ පිහිටි කොස් ගසක් කපා ඇඳක් නිමකර තිබීම හේතුවෙන් එම තරුණිය කෙතරම් කම්පනයට පත්වී ඇති ද යන්න ය. අනෙක් පසින් උපුල් සංජය මෙම කෘතියේ අන්තර්ගත නිර්මාණ සඳහා ඉතා සූක්ෂ්ම ලෙස සංකේත ව්‍යංගාර්ථ යොදාගෙන ඇති නිර්මාණයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

දයාබර ප්‍රමිලා

දස්කොන් ප්‍රමිලා පිළිබඳ ඉතිහාස කතාවට අනුව ඔවුන්ගේ රහස් පෙම හෙළිවන්නේ අහම්බයකිනි. එනම් තමන් ආදරය කරන ප්‍රමිලාගේ සිරුරේ පිහිටි සියලු ලක්ෂණ තමන් හැඳින සිටිය දී දස්කොන් ප්‍රමිලාගේ පිළිරුවක තිබූ අඩුපාඩුවක් පෙන්වා දීම හේතුවෙනි.

උපුල් සංජය විසින් නිර්මිත ‘‘දයාබර ප්‍රමිලා’’ නිර්මාණය ඓතිහාසික දස්කොන ප්‍රමිලා කතාවස්තුව අනුසාරයෙන් නිර්මිත, නූතනත්වයට ගැළපෙන නිර්මාණයකි. එහි දී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ වර්තමානයේ දී තමන් පෙම් කළ යුවතිය තමන්ට අහිමි වූ විට වියරු වැටෙන පුරුෂ පක්ෂය තාක්ෂණික ක්‍රම ඔස්සේ සිය පැරණි පෙම්වතිය හා සබැඳි තොරතුරු ඇගේ නව පෙම්වතාට හෝ සැමියාට දන්වන ආකාරය පිළිබඳව ය. මේ ඇතැම් සිද්ධි අවසන් වන්නේ දෙදෙනෙකු ඝාතනයට ලක් වී එක් අයෙකු සිය දිවි නසාගැනීමෙනි. නමුත් නිර්මාණකරුවා එකී ඛේදවාචකය සිය නිර්මාණය තුළින් ඉස්මතු නොකර එය වෙනත් මානයකට රැගෙන යයි. සැබැවින් ම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණයක් තුළින් කළ යුත්තේ ද ඍණාත්මක දෑ සමාජ ගතකිරීම නොව ධනාත්මක දෑ සමාජ ගතකිරීම ය. ‘‘දයාබර ප්‍රමිලා’’ නිර්මාණය පැසසිය යුතු වන්නේ එබැවිනි.

සිප්පි කටුවක ලියූ කවියක්

ඇළ, දොළ, ගංගා ආදියට මතු නොව මහ සයුරට පවා අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මේ වන විට පරිසරයට අත්ව ඇති ඉරණම ඉතා ඛේදජනක ය. ‘‘සිප්පි කටුවක ලියූ කවියක්’’ නමැති නිර්මාණය තුළින් කවියා ප්‍රකට කරන්නේ මහ සයුරට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මිනිසාට අත්විඳින්නට සිදුවන විනාශය පිළිබඳව ය. 2004 වසරේ පැමිණි ත්සුනාමිය සමග ඇතිවූ මහත් ව්‍යසනකාරී තත්ත්වය ද සිහිපත් කරන කවියා ආයාචනය කරන්නේ මහ සයුර වෙත අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙසයි. එහෙත් කවියා මේ සියල්ල පවසන්නේ වක්ක්‍රෝක්තියෙනි; සංකේත සහ රූපක භාවිතයෙනි. ඒ, ඔහුගේ කවිතාව යි.


මළ ගෙදර න්‍යාය පත්‍රය

සැමියා මිය ගිය කාන්තාවකට එම මරණයෙන් ඉක්බිති සමාජයේ ජීවත් වීම යනු බරපතළ අභියෝගයකි. එය ඇතැම් විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිය ශරීරය වුව ද පුරුෂ පාර්ශ්වයට ලබාදීම දක්වා වර්ධනය වන්නට පිළිවන. මෙකී ඛේදවාචකයෙන් ගැලවෙනු වස් සැමියා මිය ගිය බිරිඳක එම අවමංගල උත්සවයේ දී යොදාගන්නා උපක්‍රමශිලී න්‍යාය පත්‍රයක් පිළිබඳ කෙරෙන විවරණයක් මෙම නිර්මාණය තුළ ගැබ්වේ.

මෙය එක් අතෙකින් සංවේදී ය. අනෙක් පසින් උත්ප්‍රාස ජනක ය. ඇයට ඒ ආකාරයේ න්‍යාය පත්‍රයක් සකසන්නට හේතු පාදක වූ කරුණු කෙරෙහි සමාජ අවධානය යොමු කිරීම ඉතා වටනේ ය. එය කවියකුගේ නිර්මාණයක් තුළින් සිදු කිරීම තවත් වටනේ ය.

යට විමසීමට ලක් කළ නිර්මාණ හැරුණු විට: ‘‘කටුක සටහන්’’, ‘‘මෙහෙම හරිද? ’’, ‘‘වැස්ස’’, ‘‘සංග්‍රහය ලෑස්තියි’’, ‘‘මරු කිරා’’, ‘‘වැඩ කරන දින දෙක’’, ‘‘නිර්මලාගේ කතාවෙන් සමහරක්’’, ‘‘සොරබොර වැව ළග යසෝදරා වෙත’’, ‘‘යන ගමන්’’ සහ ‘‘පුණ්‍යානුමෝදනාව’’ යන නිර්මාණ කිහිපය ද ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බව සටහන් කළ යුතු ම ය.

Top