පීදෙන අස්වැන්නක සුබ පෙර නිමිති පෙන්වන හමාර බණවර (556)

post-title

ගැහැණු කවි ලියන්නෙ අඩුවෙන්. ඒක ගොඩක් අය ඉස්සර කියපු කතාවක්. ඒත් දැන් එහෙම කියන්න බැහැ. දැන් ගොඩක් ගැහැණු කවි ලියනවා. හැබැයි ඒ අතරින් ගොඩක් දෙනෙක් පළවෙනි පොත කරාට පස්සෙ කවියට සමු දෙනවා. තවත් අය කසාද බදිනකල් කවි ලියනවා. තවත් අය බැන්දට පස්සෙ ටික කාලයක් ලියලා දරුවෙක් දෙන්නෙක් ලැබුණම කවියට තිත තියනවා. හැබැයි ඉදහිට එහෙම නොවී දිගටම කවි ලියන අයත් ඉන්නවා. අනික් එක තමයි ගොඩක් ගැහැණු කවි ලියන්න ගියාම අවුලක් දා ගන්නවා. ඒ තමන්ගෙ හැම අනුභූතිය ඇතුලෙ ම ස්ත්‍රීවාදී ලක්ෂණ මතු වෙන්න ගැනීම හින්දා. කවිය කියන්නෙ කවිදියක් ලියුවා කියලා ස්ත්‍රිය සමාජයේ මුහුණ දෙන කටුකත්වය ගැන පුරුෂාධිපති සමාජයක ස්ත්‍රී භූමිකාවේ ස්වභාවය ගැනම ලියන එක නෙවෙයි කියලා සමහර කිවිදියො තේරුම් ගන්නෙ නැහැ. මං නම් විස්වාස කරන්නෙ කවියෙක් ස්ත්‍රී පුරුෂ වගේ ආකල්ප හිසේ තියා ගන්නෙ නැතිව පුලුල් දෘෂ්ටියකින් ලෝකය දිහා බලන්න ඕන කියන එකයි. 

 මං කියුව පළවෙනි කාරණාව එක්ක ගත්තම ඉරේෂා හේමමාලි ඒ අතරින් කොයි වගේ වෙයි ද කියන්න අපි දන්නෙ නැහැ. ඒ කියන්නෙ එයා දිගටම ලියාවිද? මගින් නවතියි ද කියන්න දන්නෙ නැහැ. හැබැයි ඉරේෂාත් කවි ලියනවා. ඒ ගමනෙ ඇරඹුම වෙන්නෙ ඇය ලියන ‘හමාර බණවර‘.  නාම මාත්‍රිකව ගත්තම ඇය පොතට දාන්නෙ පොතේම තියෙන කවියක නමක්. ඒ නිසා පොත පෙරළපු ගමන් ම ඒ කවිය හොයාගෙන කියවන්න ආස හිතෙනවා. හැබැයි ඒ අසාව මියැදෙන්නෙ නැහැ. මොකද ඒ කවිය හෘදයබද්ධ කරගෙන විදින්න පුලුවන් කවියක් නිසා.

පළවෙනි පද හතර කියවද්දිත් අපට තේරෙන්නෙ නැහැ ඉරේෂා කියන්නෙ මොකද්ද කියලා. ඒ හින්දා සහෘදයා කුතුහලයෙන් පිරෙනවා. මිනිස්සු පස්සෙන් තියාගෙන පුරුදු පාරෙ යන වෙනස් ගමන මොකද්ද කියලා මොහොතකට හිතාගන්න බැරිවෙනවා. හරියට තේරවිල්ලක් වගේ. ඒ ක්‍රමවේදයම ඇය දෙවැනි පද හතරෙත් පාවිච්චි කරනවා. 

‘‘පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගෙ පස්සේ එනවා

තනිව ආ ගිය මග දිගේ‘‘

‘‘කවමදාවත් මගේ බර උඹේ

කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක් බර නම් බිමින් තියපං

රිදෙනවා ඇති අත නුඹේ‘‘

තුන්වෙනි කවියට යද්දි එයා ඒ ගමන ගැන සහෘදයාට ඉගියක් තියනවා. ‘‘කන්ද පාමුල සොහොන“ එතනට තමයි මේ යන්නෙ. සොහොනට යන්නෙ මැරුණ කෙනෙක්නෙ. ඒ කියන්නෙ මේ කවිය කියන්නෙ මියැදුණ කෙනා. තමන්ගෙ පුතාට. මැරිච්ච තාත්තා තමන්ගෙ පුතාට කියන කවියක් බව අපට වැටහෙන්නෙ අවසාන පද පේළි හතරත් කියවපුවා ම. මට දැනෙන විදියට සහ හිතෙන විදියට කවියෙ ආත්මය තියෙන්නෙ ඒ අවසාන පේළි හතරෙ. මොකද අනික් පද පේළි දොළහම සාමාන්‍යයි. මැරුණට පස්සෙ වුනත් තමන්ගෙ පුතාට ආදරේ තාත්තාව ප්‍රති නිර්මාණය කරන්න ඒ පේලි කිහිපයට පුලුවන් වුණාට. පුතෙක්ට ආදරේ කරන තාත්තෙක් ගැන ඕන තරම් කවි ලියවෙනවා නෙ. හැබැයි ඉරේෂා ගේ කවියේ ඒ කියන සුලබත්වය නැතිව ගිහිල්ලා අපූර්වත්වයක් ජනනය වෙන්නෙ කවියෙ අවසාන පේළි දෙකෙන්. 

‘‘යන ගමං මේ බේත් තුංඩුව

අරන් පලයං අම්මගේ‘‘

ඉරේෂාගේ ඒ කවිය එක්ක ඇය ඉවත හළ හැකි ආධුනික මට්ටමක ඉන්න කිවිදියෙක් නෙවෙයි කියන හැගීම හිතට එනවා. ඒ හැගීම තියාගෙන ම කියවන්න පුලුවන් කවි කිහිපයක් ම පොතේ ඉස්සරාට යද්දි හමුවෙනවා. ‘‘අම්මලා ‘‘ කියන තේමාව දාන කවියත් අන්න එහෙම කවියක්. 

‘‘බොල් කරල් ශේෂ වුණ

පිදුරු මිටියක් වෙලා

කමතෙ මල්ලක කදුළු

බුසල් බාගෙට හලා

කන්න දෙන්නට දෙයක්

නැති විටක බොල් වෙලා

බිම් මලක් වෙලා හරි

පිපෙනවා අම්මලා‘‘

මේ සිදුවීම අපිට සාමාන්‍ය දෙයක්. ගම්වල හැදුණ මිනිස්සු, ගමේ කුඹුරු අස්වද්දපු මිනිස්සු දන්නවා පිදුරු බිම්මල් වල තියෙන රස. පිදුරු ටික කමතෙ හැලුවට පස්සෙ ඒ තැන්වල පස්සෙ කාලෙක බිම්මල් පිපෙනවා. මේ සාමාන්‍ය සිද්ධිය ඉරේෂා එයාගෙ කවියට අරගන්නවා. හැබැයි, එහෙම සාමාන්‍ය සිද්ධියක් අනුභූති කර ගත්තාම ඒ ලියවෙන කවියෙත් විශේෂ රහක් නැහැ නේද? කියලා කාට වුනත් හිතෙන්න පුලුවන්. අන්න එතනදි තමයි ඒ කවියාගේ ප්‍රතිභාව හදුනා ගන්න ලැබෙන්නෙ. 

ඉරේෂා අර බිම්මල පිපෙන්න හේතු පරිකල්පනය කරන හැටි අපූරුයි. ඒක නිසා තමයි ඒ කවි ය රහ කවියක් වෙන්නෙ. ගොවියට ඒ කන්නෙ ලොකු අස්වැන්නක් තිබිලා නැහැ. වැඩිපුර තිබිලා තියෙන්නෙ බොල් කරල්. එතකොට පිදුරු තමයි වැඩියෙන් තිබිලා තියෙන්නෙ. ඒ හින්දම කදුලුත් වැටෙනවා. දැන් කන්න දෙයක් නැහැ. ගොවියෙක්ගෙ ජීවිතේ ගැන දන්න බොහෝමයක් දෙනා දන්නවා. අස්වැන්නෙන් බාගෙකට වඩා වැඩියෙන් යට වෙන්නෙ ණය තුරුස් ගෙවන්න කියලා. එතකොට කන්න ගෙට ගන්නෙ පොඩි කොටහක්. අන්න ඒ තැන දි තමයි බිම්මලක් වෙලා හරි පිපිලා අර කුසගින්නෙ ඉන්න ගොවියාගෙ දරු පැටවුන් ට පවා ජීවිතේ යන්තම් ගැට ගහලා දෙන්න පුලුවන් වෙන්නෙ. 

බලං ගියාම විද්‍යාවට අනුව බිම්මල් පිපෙන්නෙ දිලීරයක් නිසා. මියැදුණු ශාක ද්‍රව්‍ය මත ඒ දලීර ක්‍රියාත්මක වීම හින්දා තමයි බිම්මල් පිපෙන්නෙ. පිදුරු බිම්මලුත් එහෙමයි. හැබැයි ඒක අපි දන්න ඇත්ත වුණාට ඉරේෂාගේ කවිය ඒ ඇත්ත වසං කරලා ඊට එහා ගිය හැගීමක් අරන් එනවා. එහෙම වෙන්න පුලුවන් සුවිශේෂ පරිකල්පන ශක්තියක් තිබුණොත් විතරයි.

ඉරේෂාගේ පෙර කියුව කවි දෙකම ඇතුළෙ මානවවාදී ලක්ෂණ දකින්න තියෙනවා. මනුෂ්‍යත්වය ඔසවා තියන්න පුලුවන් හැගීම් ඒ කවි ඇතුළෙන් කළ එළි බහිනවා. හමාර බණවරේ එහෙම හැගීම් උත්පාදනය කරන කවි කිහිපයක් ම තවත් දකින්න ලැබෙනවා. 

පුවතක් පදනම් කරගෙන ලියුව මහකනදරා වැව ළග කුඩා දරුවෙකු දමා ගිහින් කියන තේමාව ඇතුළත් කවියත් එහෙම එකක්. මට ඒ කවියෙ තේමාව සහ කවියෙ අනුභූතිය ගලා යන ස්වරූපය අතර එකග වෙන්න බැරි පරස්පරතාවයක් දැනෙනවා. ඒත් තේමාව පොඩ්ඩක් පැත්තකින් තියලා කාව්‍ය ශරීරය දිගේ පහළට යද්දි සංවේදනශීලි හැගුමක් එක්ක තාවර වෙන්න ඉඩක් ලැබෙනවා. 

කාව්‍ය දේහය කියවද්දි දැනෙන්නෙ කවර හෝ හේතුවකින් වැවේ ගිලී මිය ගිය දරුවෙක් පිළිබද හැගීමක්. කවිය කියන්නෙ ඒ මිය ගිය දරුවා. එයාගේ ආත්ම භාෂණය හරි ප්‍රභලයි. මුල් කවියෙදි තදින් නොදැනුණත් ඉදිරි කවි පද ටික දිගේ පෙරට යද්දි ඒ ප්‍රභල ගතිය දැනෙන්න ගන්නවා. එක පැත්තකින් කවිය ඇතුලෙ ජන කවියක තියෙන රහකුත් දැනෙන් ගන්නවා. ඒ අර සංවේදිත්වය ජනනය කරන්න අර්ථය එක්ක පොඩි ශබ්ද රසයකුත් ගේන්න ඉරේෂා උත්සහ කළ නිසා වෙන්න පුලුවන්. හැබැයි කවියෙ භාෂාත්මක යෙදුම් සමහරක් නම් තවත් හිතලා බලලා ලියුවා නම් මේ අනුභූතිය මේ දැන් දැනෙනවාටත් වඩා ප්‍රභලව විදගන්න ඉඩක් හැදෙන්න තිබුණා. 

‘‘වැවේ වතුර ලුණු රහ ඇති මගේ අම්මේ

අඩන කදුළු වැවටත් වැටුණා අම්මේ

සබන් කෙළෙන් බෝට්ටුවක් හැදුවා අම්මේ

පාකර එව්වෙ අම්මට එන්නයි අම්මේ‘‘

මේ කවියෙත් ආත්මය එහෙම නැත්තම් කවිය ප්‍රභලව සහෘද බද්ධ වෙන තැන අපට මුණගැහෙන්නෙ අවසන් පේළි හතරෙදි. ඒ පේළි හතර සහෘදයා තදින් සංවේදී කරන කොටසක්

‘‘තාත්තා බීලා එයි අම්මා හැංගෙන්න

නංගිලා අහයි මං ගැන නොකියා ඉන්න

එන්නට සල්ලි නැත්තං කැටයෙන් ගන්න

වළලලා වීර ගහ පාමුල ඇති ඔන්න‘‘

ඉරේෂාගේ හමාර බණවරේ තියෙන කවි වල තවත් සුවිශේෂ කවි කිහිපයක් තියෙනවා. නොකෙරෙන දීගය, කතරගම දෙයියන්ට කියමි වගේ කවි ඒ අතරින් විශේෂයි. එහෙම වෙන්නෙ ඒ කවි වලින් ජනනය වන උත්ප්‍රාසාත්මක රසය හින්දයි. 

ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගේ තියෙන දේව භක්තිය ඉරේෂා උපහාසයට ලක් කරනවා. දරුවෙක් නැති ගැහැණියක් ට දරුවෙක් පතාගෙන කතරගම දෙවියන් යැද්ද පිරිමියෙක් බිරිදට කතරගම දෙයියො දරුවෙක් දුන්නාට පස්සෙ දරුවාට නමක් තියන්න යන ස්වරූපය කියවද්දි සහෘදයා තුළ රස භාවයට වඩා ප්‍රඥාගෝචර භාවයක් ජනනය කරනවා. ඒක හරි ප්‍රභලයි

‘‘ඔබ වහන්සේ ළග බාරයක් වූ වගයි

වැඩේ හරි ගිහිල්ලා ගෑණි මගෙ ගැබ්බරයි

වද පීදිලා තිබුණු රඹ පදුර සිනාසෙයි

දෙයියනේ නුඹට නම් බැරි දෙයක් නෑ වගෙයි

ලියන්නේ මේ ලියුම මගේ යුතුකම නිසයි

උපදින්නෙ එන පෝය ලබද්දී නිසාමයි

ඉස්සරහ නමක් නම් වසන්තී හොයාගයි

දෙයියන්ගේ වාසගම අගට නම් ඕනෙමයි‘‘

හමාර බණවරේ මෙහෙම විදින්න පුලුවන් තවත් කවි කිහිපයක් ම තියෙනවා. හැබැයි සමහර තේමානුභූති ඉතා ශක්තිමත් උනත් ඒවා පරිකල්පනයේ දි සහ ඒවා රචනයේදී භාවිත කරන සමහර භාෂාත්මක යෙදුම්වල තියෙන අනුචිත භාවය හින්දා රසය හීන වෙලා ගිහින් කියලා දැනෙනවා. ඒ වගේ ම හමාර බණවර කවිය දෙතැනක යෙදීම ඉරේෂා ගේ පොතේ තියෙන තවත් අඩුපාඩුවක් කියලා මට හිතෙනවා. විශේෂයෙන් ම දෙවැනි වතායට ඉරේෂා ලියන හමාර බණවර දිගුවේ වාර්ථානුසාරි ගතියක් දැනෙන එක නිසා පළමු එකෙන් දැනුණ රසය දෙවැනි අවස්ථාවෙ දැනෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා

ඉරේෂා හේමමාලි ගේ හමාර බණවර කියවලා හමාර වෙද්දි අර මං මේ ලියැවිල්ල පටන් ගන්න කොටම කියුව වගේ ඉරේෂාත් ස්ත්‍රිය මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු ගැන වැඩි රුචිකත්වයක් දක්වන බව පේන කවි කිහිපයක් අදුනා ගන්න ලැබෙනවා. ‘‘ඔහු සමඟ සැඳෑවක්‘‘, ‘‘ස්ත්‍රී ඉරණමක්‘‘, ‘‘ඇය සමඟ රැයක්‘‘, ‘‘ඉතිං රත්නේ තරහද?‘‘, ‘‘නොකෙරෙන දීගය‘‘ වගේ කවි ඊට සාක්ෂි සපයනවා. 

හමාර බණවර කියවලා හමාර වෙද්දි මේ දැනුණ හැගුම් අද ‘ඉතින්‘ එක්ක රහ කරන්න හිතුවෙ ඔබටත් ඒ රහ ගැන ඉගියක් දෙන්නයි. එහෙනම් නොකියූ බොහෝ දෙනාට ඉරේෂා හේමමාලිගෙ හමාර බණවර කියවා රහ කරන්න ආරාධනා කරන්නෙ තවත් රහ කවි කිහිපයක් ම මේ එකතුවෙන් හොයා ගන්න හැකි නිසයි.

Top