2003 වර්ෂයේ “සංසාර මාවත” නම් කාව්‍ය සංග්‍රහය පාඨකයා වෙත තිළිණ කරන සමිත බී. අටුවබැන්දෑල කවියා වසර එකොළහක නිහැඬියාවකට පසු තම දෙවන කවි සරණිය ලෙස “කඳු මුදුන” පද්‍ය කෘතිය ජනගත කරයි. විවිධ විෂය ඉම්පෙත් ස්පර්ශ කළ පද්‍ය නිර්මාණ 36ක් මෙහි අන්තර්ගත ය. වසර ගණනක දිගු කාව්‍ය අභ්‍යාසය නිසා ම ඉන් බහුතරයක් නිර්මාණ සාර්ථක නිමැවුම් ලෙස සැළකිය හැකි ය. සමාජ ආර්ථික දරිද්‍රතාවය අරමුණු කරගනිමින් “විනිෆ්‍රීඩාගේ උදානය” නම් කවි පෙළ රචිත ය. ධීවර බිරිදක විසින් තම සැමියාගෙන් කරන ආයාචනයක් මෙහි දී කවියා තම වස්තු විෂය කරගනී.
“විනිෆීඩා
මං යනවා අද රෑ
සංසාර සාගරේ ඈතට
දියඹට
කවදාහරි
රන් මාළුවෙක් ඇරං එන්න”
ධීවර කර්මාන්තයේ යෙදෙන සැමියා තම බලාපොරොත්තු කථකාවට පවසන්නේ එලෙසිනි. සාමාන්‍ය මසුන් රැගෙන ඒමට එහා ගිය තෘෂ්ණාවක් ඔහු සිත් වේ. ඉක්මනින් දියුණුවීම පිණිස ඔහු ‘රන් මාළුවෙක්’ සොයා ගැන්මට වෙහෙසෙයි. මුහුදු මසෙකුට වඩා රන් මත්ස්‍යයකු වටිනාකමින් ඉහළ ය. සමිත භාවිත කරන රූපකය සාර්ථක අතර ම කෙටි මාවත් ඔස්සේ දියුණුවීමට උත්සහ දරන නිර්ධන පංතියේ කොටසක් පිළිබඳව ද මින් මනාවට රූපණය වේ. නමුදු කථකාව තම සැමියාගේ අරමුණ හොඳින් දන්නී ය. ඔහු රන් මසුන් ගෙන එන මාර්ගය කවියා පබඳන්නේ මෙලෙසිනි.
“බොරු කියන්න එපා ඇන්ටන්.
මං රවට්ටලා
ඔයා යන්නේ ඉතාලි
මුහුද යටින් හොර පාරෙන්.
කී දෙනෙක් මළා ද ඇන්ටන්
ඔය කරදිය පෙවිලා
ගිලිලා.”
දශක කිහිපයක ම සිට මුහුදු මාර්ගය ඔස්සේ ව්‍යාජ ව යුරෝපා රටවලට යෑමට ලාංකිකයෝ පුරුදු වී සිටියහ. මේ හේතුවෙන් තම දිවි අහිමි වූවන් අතර ම සීඝ්‍රයෙන් දියුණු වූවෝ ද වෙත්. කථකාවගේ සැමියා ද එසේ යෑමට උත්සහ දරන මුත් බිරිද නොයෙකුත් හඬා වැළපුම් මධ්‍යයේ ඔහු නවතා ගැන්මට උත්සුක වන්නී ය. එසේ කරන්නේ ද ස්ව උත්සාහයෙන් තම දිවි නංවා ගැනීමේ අපේක්ෂාවෙනි. සංවාදාත්මක ස්වරූපයෙන් ගලා යන මෙහි පාඨක හදෙහි සංවේගාත්මක සිතුවමක් මතු කරන්නේ කවියාගේ සරල බස්වහරින් නැඟෙන අරුතෙනි.
“එළිවෙනකං
පරණ මැසිම පාග පාග
මාදැලක් වගේ
මහලා මහලා මහලා මහලා
වැල්ලෙහි අයිනක
මං හදන්නම් ඇත්ත ම මාලිගාව”
නිර්ධන පාන්තිකයකු මුහුණපාන තවත් සමාජ ඛේදවාචකයක් අරමුණු කරගනිමින් “මූසිලගේ අන්තිම ඉල්ලීම” පද්‍ය පංතිය නිර්මිත ය. සමිත ඒ සඳහා ඉපැරණි ගුත්තිල - මූසිල කතා වස්තුව පාදක කරගන්නා නමුදු එයට නව අර්ථ කථනයක් ලබා දෙයි. වීණා වාදන තරගයෙන් පරාජයට පත් වන වත්මන් මූසිල මේ හේතුවෙන් තම කුටුම්බ ජීවිතයෙන් ද පරාජ මුඛයට ඉබේ ම තල්ලු වේ. ගුත්තිල කාව්‍යයේ අන්තර්ගත පරිදි ම කවියා මේ සඳහා සිවු පද ආකෘතිය භාවිත කරයි.
“ගුත්තිල පඬිඉඳුන්
නුඹ මගෙ ඇදුරුපාණන්
වෙණ තත් නොවේ දැන්
මගේ දිවියයි සිඳුෙණ මෙ බලන්”
ගුත්තිලගේ ජයග්‍රහණයත් සමඟින් ම කථකයාට තම රැකියාව අහිමි වේ. මේ නිසා ඔහු බොහෝ දුෂ්කරතාවන්ට මුහුණපායි. බිරිද සහ දරුවන් රැකබලා ගැනීමට, නිවසේ කුලී මුදල් ගෙවීමට, කන්නට, අඳින්නට, දරුවන් පාසැල් යවන්නට, බිල්පත් ගෙවන්නට තරම් ඔහු සතු ආදායමක් නොමැත. ඔහු දන්නා එකම කර්තව්‍යය වීණා වාදනය වුව ද එයිනුත් ඔහු අවාසනාවන්ත ලෙස පරාජයට පත් වෙයි. වත්මන් සමාජය තුළ ද එකම තනතුරේ සිටිමින් තවකෙකු අබිබවා යෑමට උත්සහ කරන ගුත්තිලයන් අප සම්මුඛ වේ. එවැන්නන්ට ජයගැන්මට උදව් ලබා දෙන්නේ ද ඉහළ පංතියේ මිනිසුන් වීමම ඛේදයකි. කවියා එය ඉතා සියුම් ලෙස උපහාසාත්මක ව කවියට නගන්නේ මෙලෙසිනි.
“ආ දෙව් රජානෝ
නුඹ හට ගුලිත් දුන්නෝ
මම මූසිලාණෝ
වෙමි ය කවරෙක් පිහිට වන්නෝ”
අතීත පුරාවෘත්තාන්ත දෙස නව මානයකින් බැලීමට කවියා බොහෝ විට උත්සහ දරා ඇති බව මෙහි අන්තර්ගත බහුතරයක් නිර්මාණ ඇසුරෙන් මනාවට විද්‍යමාන වේ. “පටාචාරා” නම් පැදි පෙළ ඊට තවත් නිදසුනකි. පුරාණ පටචාරාව මෙන් ම කථකාව පුරුෂයකු සමඟ පැන යන්නී ය. ඔහුගේ බාහිර ස්වරූපය ළඟන්නා සුළු ලෙස කවියා පබදින්නේ පාඨක හදවතෙහි අපූරු චිත්ත රූපයක් රූපණය කරමිනි.
“වසවර්තියා වගෙ
කළු වුණාට
ඇස් ගෙඩි ලොවි ගෙඩි වුණාට
පුංචි එවුන් බය වුණාට
ඇටකටු දරමිටි මැද බබළන
දාසගෙ හදවත පතුලේ
සෙනෙහස
වෙලාවකට
නුවර වැව වගේ උතුරන,
දහසක් තරු මැද
එක පුං සඳ ! ”
‘කළු’, ‘ලොවි ගෙඩි’, ‘ඇටකටු’, ‘නුවර වැව’ හා ‘එක පුං සඳ’ යන රූපකාර්ථවත් පද භාවිතය සමිත සතු කාව්‍ය ප්‍රතිභාව යි. කථකාවගේ සැමියාගේ රූපකාය ඉන් මනාව උපස්තම්භක වේ. පටාචාරා වැහැන්දා කතා වස්තුවේ මෙන් මැයට දරුවන් නොමැත. ජීවිතයේ යම් ස්ථාවර මට්ටමකට ළඟා වනතුරු ඔවුහු දරුවන් පිළිබඳ නොසිතති. මනරම් ව, කාව්‍යාත්මක ව කවියා එය නිරූපණය කරන්නේ මේ පරිදිනි.
“කල් දැම්මා ජීවිතය
මැයි ගහේ මල් පිපෙන තුරු”
කථකාවගේ සැමියා වන දාස මේ සමාජ ක්‍රමයට විරුද්ධ ව යුක්තිය උදෙසා විප්ලවයක නිරතවීම නිසා ඔහු අවාසනාවන්ත ඛේදවාචකයකට මුහුණ දෙයි.
“ඉතිහාසේ කඳුළුවලින් උතුරාගිය
අචිරවතියෙ පාවි පාවි
තිබුණා දාසගෙ පරමල”
‘පරමල’ යන්නෙන් සැමියා මිය ගිය බව මැනවින් විශද වේ. කවියාගේ රූපක භාවිතය සාර්ථක ය. අවසානයේ කථකාව නොහොත් නූතන පටාචාරා වත්මන් සමාජයේ ම පුරුෂයන්ගේ ගොඳුරක් බවට පත් වන්නී ය.
ගේහසිත ප්‍රේමයේ විප්‍රයෝගය අරමුණු කරගනිමින් “ඔබ සහ මම” කාව්‍ය නිර්මාණය විරචිත ය. සැමියා අහිමි වූ බිරිදක විසින් තම අතීතය පිළිබඳ යළි ස්මරණය කිරීම නිර්මාණය පුරාවට අපූරුවට රූපණය වන්නේ කවියා භාවිත කරන සරල බස්වහර නිසාවෙනි. කථකාවගේ සැමියා මිය යාමට ආසන්න ව තමා ආමන්ත්‍රණය කළා’යුරු ඇයට සිහි වන්නී ය.
“ඔ
යා
දැන්
ගෙද
ර
යන්
ට
මට ආයේ
ගෙදර එන්ට බැරිවෙයි
ඔබේ අත අල්ලා ගැනුමට”
ඉහත ආමන්ත්‍රණය ම පාඨකයා සංවේගයට පත් කරනුයේ නිරායාසයෙනි. තම සැමියා දුගී කවියකු වුව ද ඔහුගේ අවසාන පැතුමන් ඉෂ්ට කිරීමට කථකාව අධිෂ්ටාන කර ගන්නී ය. කාලයකට පසුව ඇය සැමියා සමඟ මනසින් නැවත දොඩමළු වන්නේ මෙලෙසිනි.
“පුතා දැන්
හොඳට ඉගෙනගෙන
ඔයා විතර ඇති
සිරීපාද කන්ද වගෙයි.
දුව දැන්
ලොකු ළමයෙක්
මටත් වඩා උසයි
ඔයා හදපු පිච්ච වැල ම තමයි”
සැමියාහට ඇය පොරොන්දු ඉටුකරන්නේ අවසානයේ ඔහු පමණක් නොව පාඨකයා ද පහර්ෂයකට ලක් කරමිනි. කවියා සතු නිර්මාණකරණයේ නිපුණතාව ද මෙයම ය.
“දන්නවද
ඔයා දැන් සීයෙක් !”
සමිතගේ බොහෝ නිර්මාණ දීර්ග ආඛ්‍යාන ස්වරූපයකින් යුක්ත ය. මේ නිසා ම ඔහු ඉතා නිදහස් ලෙස ඒවා නිරූපණය කරයි. සමාජයේ පවත්නා සාරධර්ම පිරිහීයාම පාදක කරගනිමින් “(නො) දැකීම” පද්‍ය පංතිය රචිත ය. සමාජයේ ම වෙසෙන අයකු සමාජයේ ම වෙසෙන විවිධ චරිත හා ගනුදෙනු කිරීම බුද්ධ කාලීන චරිත සමඟ කවියා මෙහි දී සමපාත කරන්නේ ඉතා අපූරුවට ය.
“අද උදේ
මුඩු වීදිය ළඟදි