රිදුම් නොම වූ සුවයකි, ‘‘රිදුම් පිරි පිරිමැදුම්’’ (472)

post-title

කිසියම් සාහිත්‍ය කෘතියක් කිසියම් සම්මානයකට පාත්‍ර වූවාට පසුව අදාළ කෘතිය පිළිබඳ විමංසනයක නොයෙදෙන්නේ යැයි මා අදහස් කළේ 2013 වසරේ ලද අත්දැකීමක් හේතුවෙනි. එතැන් සිට මේ දක්වා කුමන හෝ සම්මානයකින් පිදුම් ලැබූ කෘතියක් කෙතරම් මගේ සිත් ගත්ත ද අදාළ කෘති සම්බන්ධයෙන් මගේ විඳීම විමසුමට ලක් කර නැත. එසේ වුව ද 2020 වසරේ රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ, අනුරාධා නිල්මිණි කිවිඳියගේ ‘‘රිදුම් පිරි පිරිමැදුම්’’ කෘතිය පිළිබඳ මගේ විඳීම පිළිබ‍ඳ සටහනක් නොතබන්නේ නම් එය මවිසින් මට ම කරගන්නු ලබන අසාධාරණයක් මෙන් ම මෙතෙක් මෙම කෘතිය නොකියවූ පාඨක ප්‍රජාවට ද මවිසින් කරනු ලබන අසාධාරණයක් යැයි සිතුණු බැවින් මෙම අදහස් ගොනු කරන්නට සිත් විය.

මෙම කෘතියේ සමස්ත නිර්මාණ ප්‍රමාණය පනහකි. ඒ අතුරෙන් ‘‘කවි’’ ලෙස මා විඳි සමස්ත නිර්මාණ ප්‍රමාණය විසි හතකි. එම විසි හත අතුරෙන් අවම විඳීමක් ලද නිර්මාණ ප්‍රමාණය දෙකකි. මධ්‍යම ප්‍රමාණයේ විඳීමක් ලද නිර්මාණ ප්‍රමාණය එකොළහකි. උසස් ම වින්දනයක් ලද නිර්මාණ ප්‍රමාණය දාහතරකි. මතු දැක්වෙන්නේ එම නිර්මාණ දාහතර අතුරෙන් තෝරාගත් නිර්මාණ කිහිපයක් පිළිබද මගේ විඳීම ය.

උපමා, උපමේය, රූපක, සංකේත, ව්‍යගාර්ථ, වක්‍රෝක්ති හෝ වක් බිණුම් කිසිවක් නොමැති වචන සමුහයක එකතුවක් වුව ද විශිෂ්ට කවියක් ලෙස විඳිය හැකි නිර්මාණ තිබිණ. ඊට කදිම ම නිදසුන වන්නේ ලක්ශාන්ත අතුකෝරල විසින් රචිත

‘‘වැඩ ඇරී

වැඩට යති

ගැහැනු’’

නමැති කාව්‍ය නිර්මාණය යි. එසේ වුව ද කිසියම් කාව්‍ය නිර්මාණයක් ‘සාර්ථක කවියක්’ ලෙස නම් කිරීමේ දී යට සඳහන් කළ කාව්‍යාලංකාර නොතිබිය යුතු යැයි අදහස් නොකෙරේ. ‘‘රිදුම් පිරි පිරිමැදුම්’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත එබඳු කාව්‍යාලංකාර බහුල කාව්‍ය නිර්මාණයක් පිළිබඳ මගේ අවධානය ක්ෂණිකව ම යොමු විණි. මෙය කෘතියේ අන්තර්ගත දෙවන නිර්මාණය යි. අදාළ නිර්මාණය නම් කර ඇත්තේ ‘‘විවරණ දුන්නු, පර මල’’ යනුවෙනි. ප්‍රථමයෙන් අදාළ කවිය කියවමු.

කලකට ඉහත පරවුණ

මලකි, ඔවු! එය දැන, දැන 

අත නොහැර එහි ම ගැවසෙන

බමරෙකු හිඳී ළඟපාත උයනක

හිතන්නට බැරි තරම් ඉවසන

අතැ’ර ඒ, පරමල් දෙන

එන්නැයි දහස් ආයාචන

මැද මේ, බමර මුනිවර

අර, පරමල ම විමසන

එහි ම, දිවි ගිම් සනහන

දැන් පරවුණ ද පෙර කල

ලද සුවඳ හදවතෙහි සිර කර

බමර තුඩකට විවරණ

දුන් කෙනයි මේ, කියා තර කොට

සිඹියි ඒ මල් කොපුලත

කාව්‍යාලංකාර පාර්ශ්වයෙන් සලකා බලන විට මෙම නිර්මාණය පුරා ම දක්නට ලැබෙන්නේ රුපක ය; සංකේත ය; වක්‍රෝක්තිය; වක්බිණුම් ය; ව්‍යංගාර්ථ ය. 

‘පරමල’, ‘බමරා’ සහ ‘බමර තුඩ’ යනාදී රූපක ද, ‘කලකට ඉහත පරවුණ, ‘අත නොහැර එහි ම ගැවසෙන’,‘අතැ’ර ඒ, පරමල් දෙන’, ‘එන්නැයි දහස් ආයාචන’, ‘මැද මේ, බමර මුනිවර’, ‘අර, පරමල ම විමසන’, ‘එහි ම, දිවි ගිම් සනහන’, ‘දැන් පරවුණ ද පෙර කල’, ‘ලද සුවඳ හදවතෙහි සිර කර’, ‘බමර තුඩකට විවරණ’, ‘දුන් කෙනයි මේ, කියා තර කොට’ සහ ‘සිඹියි ඒ මල් කොපුලත’ යනාදි ව්‍යාගාර්ථ, වක්‍රෝක්ති සහ වක්බිණුම් සියල්ල උපස්තම්භක කරගනිමින් කිවිඳිය පවසන්නී කුමක් ද යන්න විමසා බලමු.

මෙම නිර්මාණයේ භාවිත කර ඇති ‘මල’ සහ ‘බමරා’ නමැති රුපකද්වයෙන් ගම්‍ය කෙරෙන්නේ ස්ත්‍රියක සහ පුරුෂයෙකු බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. ඒ අනුව කිවිදිය ව්‍යංගාර්ථයෙන් විද්‍යමාන කරන්නේ කථකයා (මෙම නිර්මාණයේ කථකයෙකු හෝ කථකාවක ඍජුවම ඉදිරිපත් කර නොමැති බව ද සිහිතබාගත යුතු ය) මීට කලකට ඉහත ආදරය කළ ස්ත්‍රිය කිසියම් පුරුෂයකුගේ බහට රැවටී, තරුණියක සතු වටිනාම වස්තුව යැයි සම්මත ‘කුමරි බඹසර’ හෙවත් ‘කුමරිච්ඡදය’ විනාශ කරගෙන ඇති බවයි. එසේ වුව ද මෙහි එන පුරුෂයා කලකට පෙර තමන් ආදරය කළ ‘තරුණිය’ මේ වන විට ‘ගැහැනියක’ වී සිටිය ද ඇය අත් හැර යන්නට තරම් පහත් තත්ත්වයට වැටී නොමැති බව යි. තවත් සරලව පවසන්නේ නම් වෙනත් පුරුෂයකු අතින් ‘සල්ලං’ වුව ද ඇය බාරගැනීමට ඔහු කැමති බවයි.

බැලූ බැල්මට මෙය සරල සිද්ධියකි. මෙවන් සිද්ධි අපි අනන්තවත් අසා හෝ දැක ඇත. එහෙත් එබඳු සිද්ධියක් හුදු සිද්ධියක් ලෙස ම හෝ වාර්තාමය ස්වරුපයෙන් ඉදිරිපත් නොකර නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම ම මෙය වෙසෙස් ‘‘කවියක්’’ ලෙස කියවිය හැකි ය; විඳිය හැකි ය.

දෙවනුව මගේ වින්දන පරාසය සුපිෂ්පිත කළේ මෙහි එන තෙවන නිර්මාණය වන ‘‘සිනුවක පරම යුතුකම’’ නමැති නිර්මාණය යි. 

සිනුවක පරම යුතුකම

හඬලන එක ම විතර ද

ලම්භකව මේස පළුවක, කොනක

දැලි දූලි මුහුණතින් පුස් බැඳුණ

පියා ඇස් ඉර්තු ගැන, ගැන හිතන

ලෝහිතංකුර සිහින රස කරන

තෙමෙන, වියැළෙන, සුලං හා වෙළෙන

බිඳෙන යළි බැඳෙන මෙවලම් අතර

හැඩය, ජන්මය තවත් යුගයකට

රැගෙන යන කෙනෙක් පමණක් පතන

සිනුවක පරම යුතුකම

හඩලන එකම විතර ද

වැහැරුණු, මැරුණු හඩකින්

වේදිකා පසුපස හිඳ

මගේ කියවීමට සාපේක්ෂව ගත් කල මෙම නිර්මාණය සපුරා ම දේශපාලනික නිර්මාණයකි. මා එය විවරණය කරන්නේ ද එවන් වටපිටාවක පිහිටුවා ය.

අටුවා ටිකා පසෙක ලා ඍජුවම පවසන්නේ නම් ‘‘සීනුව’’ යනු ම මෙරට වාමාංශික දේශපාලන පක්ෂයක සලකුණ ය. එකි සලකුණ රුපකයක් ලෙස ගෙන කිවිඳිය සමා ගතකරන්නී කුමක් ද යන්න ‘‘කවියක් කියවාගත හැකි’’ පාඨක ප්‍රජාවට වටහා ගැනිමට අසීරු නොවන බව මගේ පුද්ගලික හැඟීම ය.

සමස්ත නිර්මාණය ම විසංයෝජනය නොකළ ද මෙහි එන ඇතැම් වදන් මෙන් ම එක් එක් වදන් එකතුවෙන් සුසැදි පද පිටුපස සැගව තිබෙන්නේ ද එකි දේශපාලන පක්ෂයේ යථාර්ථය යි. මෙහි එන ‘‘ලෝහිතංකුර’’ යනු ප්‍රබල සංකේතයකි. එකී ‘‘ලොහිතංකුර’’වල ‘‘සිහින රස කරන’’ යනු ප්‍රබල ව්‍යංගාර්ථයකි. එමෙන් ම ‘‘බිඳෙන යළි බිඳෙන මෙවලම් අතර’’ යනු ද ප්‍රබල වක්‍රෝක්තියකි; වක් බිනුමෙකි. එමෙන් ම එලෙස ‘‘බිඳෙන යළි බිඳෙන මෙවලම් අතර’’ පවත්නා ‘‘හැඩය ජන්මය තවත් යුගයකට - රැගෙන යන කෙනෙක් පමණක් පතන’’ යනු ද සදය උපහාසය කැටි වූ ව්‍යංගාර්ථයකි. මෙම නිර්මාණය මතුපිටින් පමණක් නොකියවා එහි ගැඹුරට කිමිද, පත්ලේ සැඟව තිබෙන අනරඝ වස්තුව කුමක්ද යන්න හඳුනාගත හැකි නම් අදාළ පක්ෂයේ මතුපිට පෙනුම අභිභවමින් අභ්‍යන්තර පවත්නා ඛේදජනක තත්ත්වය ද වටහා ගැනීම අතැඹුලකි. ‘‘කවිය’’ යනු ම එය විය යුතු යැයි මගේ විශ්වාසය යි.

බුදුන් වහන්සේ දේශනා කර වදාලේ ‘‘ආගමක්’’ නොව ‘‘දහමකි.’’ එසේ නොවේ නම් ‘‘දර්ශනයකි.’’ එහෙත් උන්වහන්සේගේ පිරිනිවනින් ඉක්බිති එහි උරුමකරුවන් තමන් යැයි නම් කරගත් පිරිසි වෙතින් එකි ‘‘දහම’’ හෙවත් ‘‘දර්ශනය’’ කෙමෙන් කෙමෙන් වියුක්තව ගොස් එය හුදෙක් ‘‘ඇදහිල්ලකට ලඝු වූ ආගමක්’’ බවට පරිවර්තනය විය. සැබැවින් ම නම් ‘‘පරිවර්තනය විය’’ නොව පරිවර්තනය කළේ ය. වර්තමානයේ එය හුදු වෙළෙඳ ප්‍රචාරණ අයිකනයක් මෙන් ම භාණ්ඩයක් බවට පත්ව තිබේ. මෙකී ඛේදවාචකය මැනවින් ස්ඵුට කෙරෙන නිර්මාණයක් ‘‘රිදුම් පිරි පිරිමැදුම්’’ කෘතිය තුළ අන්තර්ගතව තිබේ. ඒ, ‘‘දුගී හදකයි බුදුන් ඇත්තේ’’ නමැති නිර්මාණය යි. 

මෙම නිර්මාණය සදහා පාදක වු පෙර නිමිත්තක් ද කිවිඳිය සටහන් කර ඇත. එසේ නොවුණ ද මෙම නිර්මාණය යට කී ඛේදවාචකය මැනවින් ස්ඵුට කර තිබේ. 

එකලස් නොවුණු සිත

දමනය කරවන්නට

හතලිස් රියනක්

බුදු පිලිමෙට පුළුවන් ද

දහදිය, කඳුළු විනිවිද

රුහිරු, ඇටමිදුලු ද

හුරා හැමිලි ඇදඇද 

බුදුන් වෙනුවෙනි දාහෙ කොළය ද

පිංකාට, සරා රට වට

දෙකෝටිය, රුපියලින් මිටි කොට

අසායාවෙම මුදුනට

තැනූ, හතලිස් රියන් පිළිමෙට

පන ඇවිත් හිටි හැටියේ

සලා ඇස් කිටි කිටියේ

‘‘දුගි පොළනුන්, ගිලනු ද

දුබලයින් තව කොතෙකු ද

පෙළා, පිංපොත් ඇද ඇද 

මා නමින් මොන පිළිම ද

පන්සලේ මහ වත්තේ

හන්දියේ වම් පැත්තේ

නැත, ගහක බෝ අත්තේ

ඇල් වතුර, ගල් පතුරු, වැලි කඳු

සමතලා කොට

නිවෙන,

නිවෙනට යන මගෙහි පියමනින

කිසිවෙක් වෙතොත් ඉතිරිව

ඒ හදෙහි

බුදු කෙනෙකු

මතු, වැඩ වෙසෙනු ඇත්තේ’’ 

මෙම නිර්මාණයේ පළමු පද හතර ම ‘‘ආගම’’ (සියලු ආගම්) නමැති සංකල්පය බරපතළ ලෙස ප්‍රශ්න කරයි. එමෙන් ම දෙවන කවියෙන් ‘‘ආගම’’ නමැති තිරයට මුවා වී බැතිමතුන් සහ බැතිමතියන් රවටා. ඔවුන්ගේ රුහිරු ඇටමිදුලු සුරාකන ආකාරය කදිමට ප්‍රකට කෙරේ. තෙවන කවියේ දී කිවිඳිය විද්‍යමාන කරන්නී ‘‘ආගම’’ නමැති ‘‘අබිං’’ කෑමට හුරු වූ පුද්ගලයන්ගේ: විකෘති මෙන් ම විපරීත මානසිකත්වය යි. සිවුවන කවියේ දී ඉස්මතු කෙරෙන්නේ ඔවුන්ගේ මිථ්‍යා සිතුවිලි සම්බාරය යි.

අනතුරුව කිවිඳිය ප්‍රවේශ වන්නී යට කී ආගම් භක්තික ප්‍රජාව දෙස සැබෑ බුදුන් වහන්සේ බලන ආකාරය සහ උන්වහන්සේ එවන් පුද්ගලයන් වෙත වදාරණ ප්‍රකාශය යි. ‘‘ආගම’’ සහ ‘‘දර්ශනය’’ වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නට රිසි යමෙක් සිටී නම් මෙම නිර්මාණයේ උධෘත කොමා තුළ ඇති කොටස: කියවා, විඳ අවබෝධ කරගත හැකි ය. එසේ නොවනතාක්කල් ‘‘ආගම’’ නමැති සංකල්පය අළෙවිකරන කූට වෙළෙඳුන්ගේ බැංකු ගිණුම් තර කරන්නට ‘‘ආගම් භක්තික’’ ප්‍රජාවගේ ‘රුහිරු ඇටමිදුලු’’ සුරාකෑම තව දුරටත් එලෙස ම පවතිනු ඇත.

ලංකාවේ මෙතෙක් මා කියවා ඇති වඩාත් අරුත්බර කෙටි කවියක් වේ නම් ඒ යට සඳහන් කල ලක්ශාන්ත අතුකොරලගේ කාව්‍ය නිර්මාණය යි. මේ වන විට කාව්‍ය ක්ෂේත්‍රය තුළ ‘‘කෙටි කවිය’’ විනාශ වෙමින් පවතී. එනම් ‘‘කෙටි කවි’’ යන මැයෙන් නොයෙක් විකාර සමාජ ගතකෙරේ. එවන් වාතාවරණයක් තුළ අනුරාධා කිවිඳිය විසින් රචිත විශිස්ට කෙටි කවියක් ද මෙම කෘතියේ අන්තර්ගත ය. මාතෘකිවක් නොමැති එම කවිය මෙය යි.

කළු පටි

පැලඳි

කළු අත් 

ලිපිය ආරම්භයේ සඳහන් කර ඇති ලක්ශාන්ත අතුකොරලගේ කෙටි කවියෙන් පසු මා කියවූ විශිෂ්ට ම කෙටි කවියක් ලෙස මෙම නිර්මාණය හැදිනිවිය හැකි ය. මෙරට දේශපාලන ක්ෂේත්‍ර යේ මතු නොව වෙනත් ඕනැම තැනෙක අනෙකාට හෝ අනෙක් බොහෝ දෑ හට විරුද්ධවන පිරිස් කෙතරම් දුරට ශුද්ධවන්තයෝ ද නැද්ද යන්න මෙම වදන් පහෙන් කදිමට ප්‍රකට කර ඇත. ‘‘කෙටි කවි’’ යැයි සිතා විකාර ලියන කවි කිවිදියන් මෙවන් නිර්මාණ කෙරෙහි වෙසෙස් අවධානය යොමු කරන්නේ නම් තමන් ‘‘කෙටි කවි’’ නමින් ලියා පළ කර ඇත්තේ කෙතරම් විකාර සහගත ලියවිලි ද යන්න ප්‍රත්‍යක්ෂ කරගනු ඇත.

යට විමංසනයට බඳුන් කළ නිර්මාණ සතරට අමතරව: ‘‘තීරුව තිබුණේ හිත්වල’’, ‘‘රමණ සාහිත සභා මැද දී’’, ‘‘තාම හිත කැමති’’, ‘‘පපුවෙන් සිංහල ගලනව’’, ‘‘වාරු නැති වීරයෙකු වෙනුවට’’, ‘‘ඉනාව ම, එක හිනාවකි’’, ‘‘නාලිකා කඩා පැන’’ සහ ‘‘සිරිය මං, මතකයි ද’’ යන නිර්මාණ අට ද, ‘‘තරුවක් වෙන්න බෑ මට’’, ‘‘නන්දිකඩාල් පසු කොට’’, ‘‘මට තිබුණ, නොලිය ඉන්නට’’, ‘‘එහෙම අවසානයක් වෙනකොට’’, ‘‘ගසක් නම් නිවන, නිවෙන තැන’’, ‘‘ඉතින් සමා ඉල්ලමි’’, ‘‘ඔක්සිජන් නැති මේ බිමේ’’, ‘‘හැමදාම තිස්අටක යනකොට’’, ‘‘ඔය ඇහෙන්නෙ කලා වැව’’ සහ ‘‘මේ තමයි, ‘‘ඉරණමක සරදම’’ නමැති නිර්මාණ එකොළස ද මගේ වින්දන පරාසය මැනවින් පුළුල් කළ නිර්මාණ ලෙස සඳහන් කළ යුතු ය.

ප.ලි. - කෘතියෙන් උපුටාගෙන ඇති කොටස්වල අක්ෂර වින්‍යාස කෘතියේ අන්තර්ගත පරිදි ම ය.

Top