ලෝකයෙන් උතුම්ම යැයි පවසන ලංකාවේ දේශපාලකයන්ගේ පමණක් නොව ප්‍රභූවරුන්ට එරෙහිව පවතින නඩු ඉවත ලන්නේ ද, දඩුවම් තීන්දු කළ පසු අභියාචනාධිකරණයේ දී විත්තිකරුවා හෝ විත්තිකාරිය නිදොස් කර නිදහස් කරන්නේ ද ඉතා ම සුළු අත්වැරදීමක් (වුවමනාවෙන් සිදු කරන) හේතුවෙනි. මේ එයට කදිම නිදසුනකි.
‘‘අපේ රටේ අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරන්නේ එක්කෝ ජාතික විමර්ශන කාර්යාංශය ඒ කියන්නෙ එන්අයිබී එක. එහෙම නැත්නම් රජයේ නඩු අධ්‍යක්ෂ කාර්යාලය. ඒගොල්ලො වැරදි වගන්තියක් යටතෙ නඩු පැවරුවොත් නඩුව විසි වෙනවා. පහළ උසාවියේ දී තීන්දුවක් ලැබුණත් ඉහළ උසාවිවල දී නිදොස් කොට නිදහස් කෙරෙනවා. ආණ්ඩුවේ ඉහළ නිලධාරි, මැති ඇමතිවරු වැනි අයගේ වංචා දූෂණ නඩු අවසන් වන්නේ ඒ විදියටයි.’’
මෙසේ සඳහන්ව ඇත්තේ පුවත්පත වාර්තාවක නොව එස්. නන්නදලාල් විසින් රචිත අභිනව ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය වන ‘‘අල්තිනායි රුවන්මලී සහ රුත්’’ නමැති කෘතියේ ය. එය හෙළිදරවු කරන්නේ ද එම කෘතියේ අන්තර්ගත ‘රුත්’ නමැති කෙටිකතාවේ චරිතයක් වන එක්තරා රටක අගවිනිසුරුවරයා ය.
අගවිනිසුරුවරයා එසේ පැවසීමෙන් අනතුරුව රුත් ඔහුගෙන් මෙවන් පැනයක් විමසන්නී ය.
‘‘කවුරුවත් විරුද්ධව කතා කරන්නේ නෑ?’’
එවිට අගවිනිසුරුවරයාගේ පිළිතුර වන්නේ ‘‘නෑ. දෙපැත්තම කතාවෙලා තමා අධිකරණයේ පෙනී සිටින්නේ. ඩීල් කියන්නේ ඒවට තමා.’’ යනුවෙනි.
පාඨක ප්‍රජාවනි...,
මේ සිදුවීම ලෝකෙන් උතුම් රට වන අප රටේ සිදුවූවක් නොව ලේඛකයාගේ පරිකල්පනීය ලෝකය තුළ මවාගත් රටක අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ නිදසුනක් බව පළමුවෙන් ම අවබෝධ කරගන්න. නමුත් මෙම කෙටිකතාව කියවන තත්පරයක් තත්පරයක් පාසා මට නම් සිහිපත් වූයේ ශ්‍රී ලංකාද්වීපයේ අධිකරණයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සහ විත්තිකරුවකුගේ මෙන් ම වින්දිතාවෝ කිහිප දෙනෙකුට අදාළ සිදුවීම් දාමයකි. නමුත් ඒ සඳහා ලේඛකයා වගකිව යුතු නොවන බව ද මෙහිදී අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. මන්ද ලෝකයේ බොහෝ ස්ථානවල එක ම සිදුවීම එක ම අකාරයට හෝ වෙනත් ආකාරයකට සිදුවිය හැකි ය. එය තම තමන්ගේ කෝවට දමා ඊට අනුරූපව උපකල්පනය කරගත හැකිය; එය පාඨක ප්‍රජාවගේ අයිතියකි.
එස්. නන්දලාල් සිය අභිනව කෙටිකතා සංග්‍රහය තුළින් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ සමාජයේ වෙසෙනවා යැයි උපකල්පනය කළ හැකි ස්ත්‍රී චරිත හතක් සහ ලංකාවේ බොහෝ පාඨක පිරිසක් ඇසුරු කර ඇති චරිත ද්වයක් වන දුයිශෙන් සහ අල්තිනායිගේ ජීවිතයේ පශ්චාත් සිද්ධියක් යැයි උපකල්පනය කළ හැකි කතාන්දරයකි.
කෘතියේ අන්තර්ගත කෙටිකතා අට අතුරෙන් තිමානි, තනුජා සහ ප්‍රියාංජලී යන කතා ත්‍රිත්වය තේමාත්මක අතින් හුදු කතාන්දර ස්වරූපය අභිභවන්නට අසමත් වී තිබේ. තිමානි නමැති කතාවට ප්‍රස්තුත වන අනුභූතිය එච්. බී. ගුණතිලකගේ ‘හිතුවක්කාරී’ නවකතාවේ අන්තර්ගත කොටසක මෙන් ම මනෝජ් ප්‍රසන්නගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය වන ‘ඒ ඇස්’ කෘතියේ එන ‘වරද’ නමැති කෙටිකතාවට නෑකම් කියන බවක් හැඟුණි. ඒ අතුරෙන් තනුජා වෙනස් වන්නේ කතුවරයා අදාළ අනුභූතිය පාඨකයා වෙත ඉදිරිපත් කරනේ නවමු ආකෘතියක් තුළින් වන බැවිනි. එය සාම්ප්‍රදායික කෙටිකතා කලාවේ ආකෘතික රටාවෙන් මුළුමනින් ම පාහේ වියුක්ත වූවකි. නිරන්තරයෙන් ම කෙටිකතාවේ නව රසභාව සොයා යන මගේ රස වින්දනය නව ඉසව්වක් කරා රැගෙන යන්නට එකී නිර්මාණය සමත් විය.
කිසියම් කාන්තාවක් කිසියම් පුරුෂයකු මිතුරකු සේ ඇසුරු කරන විට ඇය නිරන්තරයෙන් ම සිය මිතුරා පිළිබඳ ඔහු සමග ප්‍රකාශ කරන විශේෂිත ප්‍රකාශයක් වන්නේ ‘‘මට ඔයා විශ්වාසයි’’ යන්න ය. අදාළ කාන්තාව කෙරෙහි ඔහුගේ යටි සිත කුමක් අදහස් කළ ද එය පරාජය කරන්නට කාන්තාව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන යට කී ප්‍රකාශය සමත් වන්නේ ය. ඒ, අදාළ පුරුෂයා කාන්තාව කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කරගැනීමට ඇති නොකැමැත්ත ය. බොහෝ විට කාන්තාව එසේ පවසන්නේ ම සිය මිතුරා ඇය කෙරෙහි වෙනත් බලාපොරොත්තුවක් තබා සිටින්නේ නම් එය යටපත් කිරීම උදෙසා ම විය හැකි ය. එවන් කාන්තාවෝ මෙන් ම පුරුෂයෝ ද මේ සමාජය තුළ මට මෙන් ම ඔබට ද අනන්තවත් මුණ ගැසී ඇතුවාට සැක නැත. එවන් පුරුෂයකු හෝ කිහිපදෙනෙක් වුව ද ඔබ සමග ‘‘මගේ හිතේ ඒකි ගැන අසාවක් තිබුණත් ඒකි මං ගැන විශ්වාසය තියාගෙන ඉන්න විදිය දැක්කම එහෙම දෙයක් කරන්න තියා අහන්නවත් හිතෙන්නෙ නෑ බං’’ යනුවෙන් පවසා තිබෙන්නට පිළිවන.
මෙම කෘතියේ එන ‘‘නයනි’’ නමැති කෙටිකතාව ද එවැනි කාන්තාවක් සහ පුරුෂයකු වටා ගෙතී ඇති කතාවකි. නයනි නිරන්තරයෙන් ම තමාට වඩා අවුරුදු විස්සකින් පමණ වැඩිමහල් මිතුරාට පවසන්නේ ‘‘ඒත් මං දන්නව ඔයා මට කවදාවත් ම එහෙම යෝජනාවක් ගේන්නෙ නැති බව’’ යනුවෙනි. එය වඩාත් තීව්‍ර කරන ඇය ‘‘ඔයාගෙ ආත්ම ශක්තිය මං දන්නවා. මං අහල තියෙනවා. නෑ. එහෙම නෙවෙයි ඔයා එහෙම කරන්නෙ නෑ. විශේෂයෙන් මට එහෙම කරන්නේ නෑ.’’ යනුවෙන් ද පවසන්නී ය.
සැබැවින් ම මේ පුරුෂයා ආත්ම ශක්තියක් ඇති අයෙක් ද...? නැත... මේ පුරුෂයා යනු ඇය කෙරෙහි ආසක්තභාවයක් දැක්වුව ද එය ප්‍රකාශ කරන්නට තරම් ආත්ම ශක්තියක් නැති පුද්ගලයෙකි. තමා ද නොදැනුවත්ව ම තමාගේ ආත්ම ශක්තිය හීන කර ඇත්තේ සිය මිතුරිය ම නොවේදැයි ඔහු කවදා වටහා ගනු ඇති ද...? මිතුරිය ද නිරන්තරයෙන් එසේ පැවසීමේ යථාර්ථය කුමක් ද...? එනම් සිය මිතුරා කෙරෙහි ඇය තුළ පවත්නා සැකය ම නොවන්නේ ද...?
භික්ෂුව යනු කෙලෙස් තැවූවෙකි. එහෙත් මගේ ජීවිත කාලයේ දී හමු වූ සහ ඇසුර කළ බොහෝ භික්ෂුහු කෙලෙස් නොතැවූවෝ වෙති; සියලු කම් සැප විඳින්නෝ වෙති. ‘‘කමලානි’’ නමැති කෙටිකතාවේ සහ ‘රුවන්මලී’’ නමැති කෙටිකතා ද්වයෙහි ද අපිට එවන් භික්ෂුහු තිදෙනෙක් සම්මුඛ වෙති. ඒ අතුරෙන් ‘‘කමලානි’’ කතාවේ දී හමුවන භික්ෂුව යනු හුදු ශාරීරික සන්තර්පණය උදෙසා ම පමණක් කාන්තාවක් ඇසුරු කරන භික්ෂුවකි. ‘ශාරීරික සන්තර්පණය උදෙසා ම පමණක්’ යනුවෙන් යෙදුවේ ද ශාන්ත නමැති භික්ෂුව පිළිබඳ කතුවරයා ඉදිරිපත් කරන චිත්‍රයෙහි විශේෂත්වයක් ඇති බැවිනි. ඔහු කමලානි කෙරෙහි කිසිදු ආදරයක් නොදක්වන බව හෙතෙම කමලානි අමතන ආකාරයෙන් ම කතුවරයා සාක්ෂාත් කරයි. එහෙත් කමලානි ඔහු කෙරෙහි ම ආසක්ත වන්නේ කුමන හේතුවක් මත ද යන්න අපැහැදිලි අතර එය ‘‘ගැනු ගතිය’’ යැයි පැවසීමට මම ඉදිරිපත් නොවෙමි. කෙසේ වුව ද කමලානිගේ සැමියා, ශාන්ත නමැති කාමලෝලී භික්ෂුව සහ ඇය ඇසුරු කළ කමල් නමැති පුරුෂයා වටා ගෙතී ඇති මෙම කතාවේ දී කමල් කෙරෙහි කිසියම් පහන් හැඟීමක් ද ශාන්ත නමැති භික්ෂුව කෙරෙහි ද්වේශ සහගත හැඟීමක් ද කමලානිගේ සැමියා වන ගුණේන්ද්‍ර පිළිබඳ සානුකමපිත හැඟීමක් ද ඇතිකරවන්නට කතුවරයා සමත්ව ඇත.
මෙම නිර්මාණයේ මා දුටු එක් විශේෂත්වයක් වන්නේ පාඨකයා නිර්මාණය සමග ගමන් කරන විට එකී ගමන ඒකාකාරි රිද්මයකට කැඳවාගෙන නොයාම ය. එනම් සිනමා නිර්මාණයක රූප ඛණ්ඩ විටින් විට වෙනස්වනවා සේ මෙම කතාවේ දී කතුවරයා පාඨක ප්‍රජාව විටින් විට විවිධ ස්ථාන කරා රැගෙන යන බැවිනි. එය සාර්ථක සංස්කරණයක් සහිත සිනමා සිත්තමක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එය කතුවරයාගේ නවමු අත්හදා බැලීමක් විය හැකි ය. පුහුණු පාඨක ප්‍රජාවට මෙය ග්‍රහණය කරගැනීම පහසු වුව ද එසේ නොවන පාඨක ප්‍රජාව කිසියම් ව්‍යාකුලත්වයකට පත් විය හැකි ය. එසේ වුවා යැයි නිර්මාණකරුවාට දොස් පැවරීමට ද නොහැකි ය. මන්ද කතුවරයා යත්න දරන්නේ ඔහු පසුපස පාඨකයා කැඳවාගෙන ඒමට මිස පාඨකයා පසුපස ඔහු ගමන් කිරීමට නොවේ. එය සාහිත්‍යකරණයේ දී ගතයුතු සාධනීය පියවරක් ලෙස මම දකිමි.
ඇතැම් පුරුෂයෝ මතු නොව කාන්තාවෝ ද තමා සිත්ගත් කාන්තාව හෝ පුරුෂයා සමග මනසින් සංසර්ගයේ යෙදෙන බව යථාර්ථයකි. එය ඔවුන්ගේ ෆැන්ටසිය යැයි මනෝවිහ්ලේෂනාත්මකව පැවසිය හැකි ය. ගිහියන් මතු නොව භික්ෂු වෙසින් සිටින චිවරධාරියෝ ද මෙසේ කරති. තමා සිත්ගත් කාන්තාව සමග මනසින් සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව ඇය සැබැවින් ම තමා සමග සබඳතාවක් පවත්වනවාය යන්න බාහිර ලෝකයට හැඟෙන සේ කටයුතු කරයි. එය ෆැන්ටසිකරණයේ බියකරු ම තත්ත්වය යි.
‘‘රුවන්මලී’’ නිර්මාණයට පාදක වන්නේ එවන් භික්ෂුවක්, එකී භික්ෂුව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙන තවත් භික්ෂුවක් සහ මෙකී භික්ෂු දෙනමගේ ම මානසික අතවරයට පත්වන කාන්තාවක් වටා ගෙතුණු කතාවකි. මා මෙහි විශේෂත්වයක් ලෙස දකින්නේ ‘‘කමලානි’’ නිර්මාණයේ වෙසෙන භික්ෂුව භෞතික වශයෙන් කාන්තාවක් සිය ග්‍රහණයට නතු කරගන්නා ආකාරය සහ ‘‘රුවන්මලී’’ නිර්මාණයේ දී භික්ෂුවක් මානසික වශයෙන් කාන්තාවක් සිය ග්‍රහණයට නතු කරගන්නා ආකාරය පිළිබිඹු කරන්නට කතුවරයා දක්වා ඇති සමත්කමයි. එමෙන් ම ‘‘රුවන්මලී’’ නිර්මාණයෙ දී භාවිත කරන ආකෘතිය ද හුදු කතාන්දර ආකෘතිය අභිභවන්නට සමත්වී තිබීම ය.
‘‘November 17
මධූ (Madhubhashini Disanayaka Ratnayake) දැන් ටිකකට ඉස්සෙල්ලා කෝල් එකක් දීලා මාර ප්රශ්නයක් ඇහුවා.
"කලින් ලියවිචච ෆික්ෂන් එකක් වෙනස් දෘෂ්ටිකෝණෙකින් වෙන රයිටර් කෙනෙක් ලියපු සිංහල නවකතා ගැන ඔයා දන්නවද? උදාහරණයක් විදියට ගම්පෙරළිය නවකතාව පියල්ගේ දෘෂ්ටිකෝණයෙන් වෙන රයිටර් කෙනෙක් වෙනම නවකතාවක් විදියට ලිව්වා වගේ..."
"මගේ මතකයෙනං නෑ එහෙම එකක්...හැබැයි මරු වැඩක් එහෙම ඒවා ලියන්න පුළුවන්නම්..."
"Wide Sargasso Sea කියලා Jean Rhys කියල කෙනෙක් ලියපු නවල් එකක් තියෙනවා. ඒක කියවං යද්දි මචං නිකමටවත් හිතෙන්නෙ නෑ චාලට් බ්රොන්ටේගෙ 'ජේන් අයර්' නවකතාවෙ අවසානයෙ අර ඇටික් එකේ ඉන්න ගෑණු කෙනාගෙ දෘෂ්ටිකෝණයෙන් ලියපු වෙනම නවකතාවක් කියලා. සුපර් නවල් එකක්. ඒ වගේ ඒවා බටහිර නවකතා තුළ තියෙනවා. අපේ එහෙම එකක් ලියවුණාද කියලයි මං හොයන්නෙ..."
"තියෙයි කියලා හිතන්න අමාරුයි...මං මේක ෆේස්බුක් එකේ ලියලා බලන්නම්...දන්න කෙනෙක් ඉන්නවද බලමු."’’
උපුටාගැනීම: ජනක ඉනිමංකඩගේ Facebook පිටුවෙනි.
මා දැන් ලියන්නට සැරසෙන්නේ යට ප්‍රකාශයට ඍජුවම සබඳතාවක් නොදැක්වුව ද ඊට සමගාමි ලෙසින් නිර්මිත කෙටිකතාවක් සම්බන්ධයෙනි. ඒ, මෙම කෘතියේ අන්තර්ගත ‘‘අල්තිනායි’’ නමැති නිර්මාණය සම්බන්ධයෙනි. මෙය සපුරා ම චිංගිස් අයිත්මාතව් විසින් රචිත ‘‘පළමු ගුරුවරයා’’ හෙවත් ‘‘ගුරු ගීතය’’ කෘතියේ ප්‍රධාන චරිත ද්වය වන අල්තිනායි සහ දුයිශෙන් තව දුරටත් පාඨක ප්‍රජාව වෙත සම්මුඛ කරවීමකි.
මෙම නිර්මාණයේ දී කතුවරයා සිය කතාව ඉදිරිපත් කර ඇති ආකෘතිය (උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය) මීට පෙර අප කොතෙක් අත්විඳ තිබුණ ද මෙය ඉතාමත් රසවත් ය; සිත්ගන්නාසුලු ය. සැබැවින් ම මෙම නිර්මාණය කතුවරයාගේ නිර්මාණයක් නොව චිංගිස් අයිමාතව්ගේ ම නිර්මාණයක් යැයි හැඟෙන තරමට ම ඉදිරිගාමි ය. මෙම කෙටිකතා සමුච්චය තුළ මා වඩාත් ම ප්‍රිය කරන නිර්මාණය ද මෙය යි. මා මෙම නිර්මාණයට කෙතරම් ආසක්ත වුවා ද යත් එය ‘‘ගුරු ගීතය’’ කෘතියේ ම දිගුවක් යැයි සිතුණි. එය එතරම් ම මනරම් ය. නමුදු මෙම නිර්මාණය කෘතියේ පළමු නිර්මාණය ලෙස ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කතුවරයාට මගේ විරෝධය පළ කළ යුතු ය. මන් ද කාව්‍ය කෘතියක් හෝ කෙටිකතා සංග්‍රහයක් රසවිඳිමේ දී එය උක් දණ්ඩක අග සිට මුල දක්වා රසවිඳිය හැකි ලෙස සැකසිය යුතු ය. මෙම කෘතියේ ‘‘අල්තිනායි’’ පළමුවෙන් ම කියවා අවසන් කළ පසු දැනෙන්නේ උක් දණ්ඩක් මුල සිට අගට රස වින්දා සේ ය. කෙසේ වෙතත් එය යම් තරමකට හෝ යටපත් වූයේ අවසාන නිර්මාණය වන ‘‘රුත්’’ මගේ සිත්ගත් දෙවන නිර්මාණය වීම හේතුවෙනි.