වසංගතයේ නොනිමි ශේෂ තුරුණු ජීවිත - වසංගතයේ ආ ප්‍රේමිය (337)

post-title

මේ මොහොත වනවිට, අප ගෙවමින් සිටින්නේ කොරෝනා තුන්වන රැල්ල නැගෙමින් පවතින කාල වකවානුවයි. කේවලව, හුදෙකලාව, ඒත් ළං ළංව, පණ සුන්ව, බුන්බුන්ව, ගිනිබත්ව, අළුව යන මිනිස් ජීවිත පොදි දර සෑයේ දවාලන ඉන්දියාව පසෙකය. යුද පීඩනයෙන් අනතුරුව එළඹෙන පශ්චාද් යුද කාල වකවානුවේ ලකුණු තවදුරටත් මතුවෙන සමාජය තවත් පසෙකය. චීනකරණයට නතු වූ බිම් අඟල්, සමාජ පදනම්, දේශපාලන ප්‍රපංච, ඉහළට නැගෙන කුළුණු සහ බඩු මිල තවත් පසෙකිනි. මේ සියල්ල අප වටා ගොඩනැගෙමින් බැරියර් පිරි ඉදිරි දිවියක් මවමින් සිටී.

කේ.සංජීව ලියූ 'වසංගතයේ ආ ප්‍රේමිය' නම් වූ කෙටිකතා සංග්‍රහය, රචනා වන, ඊට වස්තුවිෂය සැකසෙන පරිසරය සාකච්ඡා කළහැක්කේ ඉහත පසුබිම අනුව යමිනි. 

මෙම කෘතියේ බොහෝ කථාවල කථකයා නොහොත්, ප්‍රධාන කතා නායක භූමිකාව හොඹවනුයේ කතුවරයා ම බව පුද්ගල ස්වභා ලකුණු නිරීක්ෂණයේදී පැහැදිලි වේ. කෙසේවෙතත්, සංජීවගේ කතාවල එන චරිතවල ලක්ෂණ එක් කුලකයක් ලෙස ගතහොත්, ඔවුන් ඔල්මාදකාර, ගමෙන් කොළඹට අවුත් රැකියාවල නිරතවන, නිදහස් චින්තනකාමී, කාමභෝගී, මත්ලෝලී, ස්වායත්ත සිහිනවල වෙසෙන, අහිමි පරපුරක ශේෂ තරුණ චරිත වශයෙන් හඳුනා ගත හැකිය. 

මේ කතා සංග්‍රහයෙහි කෙටිකතා 7ක් වෙයි. කෙටිකතා යනුවෙන් නම් කළ ද, මේ කතා මගින් සාම්ප්‍රදායික කෙටිකතා ලක්ෂණ අපේක්ෂා කිරීම සාධාරණ නොවේ. මේ කතා කේ. සංජීවටම අනන්‍ය කතා ආකාරයකි. එහෙත්, කෙටිකතාවක හර ලකුණු, නව ලකුණු ද මේවායේ වෙයි. මේ කොරෝනා සමයේ කෙටිකතා ප්‍රවර්ගයකි. සාධනීය ලක්ෂණය නම්, කතුවරයා තමාට වුවමනා පරිද්දෙන්, පාඨකයාව ද මත්බවක ගිල්වමින්, භාෂාව ස්වාධීනව භාවිත කරමින්, සිනමාරූපී දසුන් මවමින්, කතාව ඉබේ ගලායන්නට සලස්වන ස්වභාවයයි. 

'සන්නි යකුම' කතාව ග්‍රාමීය ජීවිතය වින්දනය කරන තරුණ ජීවිත ඇසුරින් ලියන ලද්දකි. භාෂා ගලායාම වේගවත්ය. එක් සිදුවීමකින් වහා අනෙකට පනී. එහි එන පහත වැකිය, බුත්සරණේ නාලාගිරි දමනයේ, ඈත-මෑත ලෙසින් අවස්ථා විස්තර කිරීම සිහිකරවයි.

'ඈතින් බෙරහඬ ඇහෙනවා. මෑතින් අසෝක වීදුරුව ගලේ කෙටෙනවා. හිනාව පැලෙනවා'

ඇත්ත ජීවිතයක් පෙන්වන, සජීවී පසුතලයක් මවන කෙටිකතාවේ පසුබිම විචිත්‍රය. මේ තරුණයන් පිරිස අතර, කේ.සංජීව ද සිටී. 

'මේක අහන්න' කතාවේ දී, රෝයල් පාර්ක් මිනීමැරුම පිළිබඳව වන මතක යළි පාඨක මනසට කැඳවමින්, එහි අවශේෂ කරුණු ඇසුරින් නිර්මාණාත්මක වෙන ම කතාවක් කතුවරයා ගොඩනගයි. කතාව අනු කොටස් හතරකට ඛණ්ඩනය කරන ඔහු, කතාව නිශ්චිතව අවසන් නොකරයි. නඩුවේදී චූදිතයාව නීතීඥයකු ප්‍රශ්න කරන අතරතුර තැනකදී කතුවරයා කතාව මගින් නවතයි. මිනීමැරුම් සම්බන්ධ නඩු අවසන් නොවී තවමත් ගොඩගැසී, ඇදි ඇදී, යුක්තියක් ඉටු නොවී මතුසම්බන්ධව පවතින්නාක් මෙනි.

'බොර දිය පොකුණ' සිනමාපටය සිහිකරවන 'සාමා අමර' කෙටිකතාව, යුද සෙබළෙකු සහ ඇගලුම් කම්හලකට යන කාන්තාවක අතර වන කායික-මානසික බන්ධනය විෂය කරගත්තකි. සාමා, අමර චරිත අප දන්නේ, පාසල් පෙළපොත්වල සිටි අය ලෙසිනි. කොරෝනා කාලයේදී පෙළපොතින් මිදී ආ ඔවුහු රජය පැනවූ නිරෝධායන නීති, ඇඳිරි නීති අනුව ලැගුම්හල්වල සිරව සිටිති. තමතමන්ගේ පවුල් සංස්ථාවලින් මිදී, හුදෙකලාව ආගන්තුකයන් දෙදෙනෙකු ලෙස එකට ජීවත්වීමට ඔවුන්ට කොරෝනා වයිරසය ඉඩ සලසා ඇත.

කතුවරයාගේ කාව්‍යමය භාෂා භාවිතය නැතිනම් මත්කරවනසුලු භාෂා නැමියාව වඩාලා ම ඉස්මතු වන්නේ, 'ලෝකාන්තයට ගමනක්' කෙටිකතාවේදීය. 

'ගීතාරුව ඈත ඉඳගෙන ඉවසාගෙන බලාගෙන හිටියා'

'මහා රත් මල් පෙති හකුළගත්තා'

'ලෝකාන්ත ප්‍රපාත බෑවුමේ එල්ලිලා ඉන්න පෙඳ පාසි උනත් දෑස් උඩට හරෝගෙනයි හිටියේ'

කාව්‍යාත්මකව, අජීවි වස්තූන් සජීවයෙහි පිහිටුවීමටත්, ආලිංගනය ව්‍යංග්‍යාර්ථව පැවසීමටත් කතුවරයා දරන හැකියාව මේ වැකි කිහිපයෙන් වුවද වැටහේ.

මෙහි, කෝරෙක්ස් ඩී බී මත්වූ මාලන්, ගිටාරය, රොක් සංගීතය, කනාමැදිරි එළි, ලෝකාන්තය, රත්මල්ගස් ආදිය පාරාදීස ලොවක් මවයි. මංජුල වෙඩිවර්ධනගේ 'ගිමන් හරින්නා' කෙටිකතාවේ ඉසුරුමුණිය ප්‍රධාන භූමි ප්‍රදේශය කරගන්නා සේ, මේ කතාව දිවයන්නේ දියවන්නාව සහ ලෝකාන්තය යන භූමි පසුතලයේ තබමිනි. එය කතාවේ යටි වියමනක් ලෙස පැතිරී සිටිමින් කතාවට ආලෝකයක් සපයයි. 'අයේෂා ඇවිදින් ගියා' කතාව ද, නිදහස් බන්ධනයක්, ලිංගිකත්වයක් සොයන තරුණ ජීවිත ඇසුරින් නිමවූවකි. 'වසංගතයේ ආ ප්‍රේමිය' ද කෙටි, විජ්ජාමය, සිහිනමය ප්‍රේමයක් පිළිබඳව ඉඟි දල්වන්නකි. 

'මම ඇයව ඉන්ටනෙට් විශ්වයේ හෙව්වා. කෝ කොහෙවත් නෑ. ඒ අස්සෙ වසංගතය එයාට ම හුරුවුණ ක්‍රමයකට අපි හැමෝගෙ ම ගෙවල්වලට තට්ටු කරමින් හිටියා'

'ක්ලියෝපැට්‍රා' කතාව කේ.සංජීව අනුදත් මාධ්‍ය ලෝකයෙන් ලැබූ විමසුම් නිරීක්ෂණ ඇසුරින් ලියූ සාර සංකේෂපයක් වැන්න. සොක්කන් ලොක්කන් වන සැටි මෙහි කියවෙන තේමාවයි. කතුවරයා තම උපරිමය මේ කෙටිකතාවේදී භාවිතයට ගෙන ඇති බව පෙනේ.

මාධ්‍යවේදියකු වශයෙන් විවිධ සමාජ තරාතිරම්වල, විවිධ පන්තිවල මිනිසුන් ඇසුරුකරමින් දීර්ඝ සංචාරවල යෙදෙමින් තතු ගවේෂණය කිරීමෙන් ලැබූ අත්දැකීම් එකඑල්ලේ ගෙඩි පිටින් දත්ත පද්ධති ලෙස ඉදිරිපත් කරමින්, තම හැකියාව ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක් කතුවරයාට නැති. ඔහුට වුවමනා කතාව කීමටයි. ඒ තමාගේ ම භාෂාවෙනුයි. තමාගේ ම ක්‍රමයකටයි. එබැවින්, එදිනෙදා ව්‍යවහාරයේ භාවිත වන වදන්, කුනුහරුප, බොළඳ වදන්, කටවහර චකිතයකින් තොරව මේවායේ එබ්බවීමට සංජීව නිර්භය වෙයි. 

Top