කොළ හැලෙන ගසක් යට සිටිනවිට, සෘතුව අවසන් වුවත් ඒවා හිස මතට පතිත වීමේ චමත්කාරය ද, ගසින් උණන හෘද සංවේදී සිසිර ද දැනෙන්නට වෙයි. මාලන්ගේ නිමා වූ සෘතුවේ ශේෂ පත්‍ර ද අප මතට පතිත වී ඇත. ඒවා හිසට පමණක් නොව, මුළු සිරුරම වැසෙන සේ පතිත වී ඇති සෙයකි.
රොමෑන්ටික් සෞන්දර්යයෙන් උපන් චින්තන සම්ප්‍රදාය, 20වැනි සියවසට පෙර පරිසරය ප්‍රමුඛ සෞන්දර්යමය මිනිස් හැඟීම් පෙරැළීම ඉලක්ක කරගෙනතිබිණි. පසුව මෙය, ජීවන පරමාර්ථ පිළිඹිබු කරන දර්ශන සම්ප්‍රදායක් බවට පත්කෙරිණි. භෞතිකවාදී/ ව්‍යුහවාදී බටහිර සංස්කෘතිය, ආධ්‍යාත්මික පෙරදිග සංස්කෘතිය වෙත නැඹුරුවීමේ, එක් අංශයක් ලෙස එවැනි කවි නිපන් ආකාරයෙහි ඉතිහාසය මේ කරුණට අඩුවැඩිය සපයයි.
කෙසේවෙතත්, ධනවාදී අර්ථක්‍රමයක සහ පශ්චාද් යුදමය කාලයක වෙසෙන, කාර්යබහුල මිනිසුන්ට, පරිසරය මගහැරී ඇත. අපට ඒවා පෙනෙන්නේ කවියෙනි, ඡායාරූපයෙනි, සිනමාපටයෙනි. ලියැවෙන කවි රූපක වශයෙන්, එනම්, 'අර පරිසර අංගය සමානයි අසවල් දෙය', ලෙසින් හෝ මානව හිතවාදීමය මවාගත් අසමසම උත්තරීතර බවක් කවියෙන් ප්‍රකාශ කිරීම විය යුත්තකැයි මතයක් එක් එක් කවි මනස්වල ඇතිවෙමින් තිබේ. මෙයින් එපිටට පා තබන මාලන්, ඔහු ආනන්දනීයව ගිලී සිටින පරිසරයෙහි අපවත් බහලාන්නේ කවිය කියවන ඇසිල්ලකිනි.
මේවා පොතෙහිම ගිලී ගිලී කියවිය යුතු සෞන්ධර්ය අංශුය. මාලන් පද, පේළි බෙදනුයේ ආයාසායන් නොවේ, ඒවා කවිය තුළින්ම මතුවෙයි. එක් කවියක් කියැවූ පසු, හෘදයේ කුඩා පුංජයක් දැල්වෙන්නට ගනී.අනෙක් කවියට යන්නට ලොබ සිතෙයි. එබැවින් මේ පොත කියවා අවසන් කළ නොහැකි එකකි. ගෙවත්තටදිව ගොස් ගහක් කොළක් වැළඳගන්නට සිතේ. අතීත නටබුන් දෙස, වසර ගණනක් උගැන්වූ 'මහාවංසමය' ඉතිහාසය බිම තබා බලන්නට සිතේ.
සාමාන්‍යයෙන් මිනිස් හැඟීම් දැනීම් පළමුව ගෙන, ඊට උචිත අවස්ථා පරිසරයෙහි ලා ගැනීම පොදුවේ දැකිය හැකි වුවද, මාලන් පළමුව පාරිසරික සෞන්ධර්යයේ සිට, එහිදී වැඩෙන චින්තා අනුව කවිය ලියයි. මිනිස් සිතිවිලි, ක්‍රියාකාරකම්, ඉරියව්, පරිසරයෙන් ඔහු පෙරා ගනී. අඟුණමල් මෙන් සෘතුවේ ශේෂපත්‍ර ද අප සිරුරෙහි දැවටෙමින් ගසාගෙන යයි.
'මසෙක් දඟලයි
දිය කැලතෙයි'
මෙය කියවන කල, ජී.බී. සේනානායකගේ නිශ්ශබ්දතාවෙහි, 'මසෙකු හඬ නගා දැගලූයෙන් නොගැඹුරු දිය කැලතිණි..' පැදිය සිහිවිය. මෙය ඔහු හිතාමතා ගත්තක් නොව, ඔහු අනුදත් හයිකුමය කවි ලකුණු ඇසුරෙහි අංශු යළි මතුවීමකි. මේවා ආලිංගනය, හැරයාම්ය, අතීත ස්මරණය, ස්මාරකය, නාගරික සීඝ්‍රගාමී ධාවනයෙන් මිදෙන්නට කරන අනවරත ඉල්ලීම්ය. එබැවින් සීමිත පාඨක පිරිසකට නොව බහුතරටකට ඇමතීමේ හැකියාව ඇත. මාලන්ගේ පුහුණුකළ කවි බස ගැන මා වැනි සුබුලෙකුට කීමට යමක් නොමැත. අභ්‍යාස කරන කවි කිවිඳියනි, වහා මේ බසෙහි ගිලෙන්න!
නිමා වූ සෘතුවක ශේෂපත්‍ර කංචුකය මාලන්ගෙ කවි ස්වභාව හොඳින් කිරා මැන බැලූ අයෙකුගේ බව පෙනේ. විනිවිද පෙනෙන පත්‍ර කිහිපයක් එහි මුහුණතෙහි වෙයි. සාම්‍ය වර්ණයක ලා පැහැයේ සිට අඳුරු පැහැය දක්වා වූ විවිධ පරාස කාව්‍යයන්ගෙන් උනන ආත්මීය යමක් නොකියා කීමට සලස්වයි. වරුණ සාවින්දට එහි අගය යා යුතුය.
මාලන් වඩවාගත යුතු යැයි හඟින අදහසක් අවසානයේ දක්වමි. කවියෙන් කියවෙන අර්ථය දෙවනුව ගෙන, පළමුව ආකෘතිය, බස, රිද්මය ගැන සිතූ කව් කිහිපයක්ද හමුවිය. මේ ගැන යම් අවධානයක් යොමතොත් හොඳ යැයි සිතමි. මාලන්, නගරයේ ගහකොළ, කෘතිම පරිසරය ගැන,ගොඩනැගිලි ගැන කෙසේ ලියාවිදැයි කුහුලෙන් එබදු කවියක්ද කියවනු කැමැත්තෙන් සිටිමි.