මෙලොව ඇති සුන්දරම සහ ආශ්චර්‍යම නිමැවුම කුමක්දැයි යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙවරක් නොසිතාම මෙසේ පිළිතුරු දෙනු ඇත. ‘ලොව වඩාත්ම ආශ්චර්‍යවත්ම නිමැවුම වන්නේ අන් කිසිවක් නොව ගැහැනිය‘යි යනුවෙන්. ඇය තුළ ලොව සියලු සුන්දරත්වයන් කැටිවී ඇති අතර වරෙක සියුමැලි අවිහිංසකාවියක් වන ඇය ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ කඳුළින් සිය හදවත දිය කර හරින්නීය. තවත් වරෙක තමා පෙළන පීඩාවන් හමුවේ යදණ්ඩක් සේ දැඩිවන ඇය එම පීඩාවන් තුළින්ම පන්නරය ලබමින් යළි නැගී සිට ජීවිතය ගොඩනගා ගන්නීය.
ස්ත්‍රීත්වය කොතරම් ආශ්චර්‍යවත් වුව ද ස්ත්‍රියක වී උපන් නිසාවෙන්ම ඇයට සමාජය තුළ විවිධාකාර ගැටලු සහ පීඩනයන් රැසකට මුහුණදීමට සිදුවන අවස්තාත් බොහෝමයක් ඇත. දරිද්‍රතාවය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. කෘෂිකාර්මික, සාම්ප්‍රදායික ග්‍රාමීය ප්‍රදේශයක දරිද්‍රතාවය හේතුවෙන් අනේකවිධ දුක් ගැහැටයන්ට මුහුණදෙන දැරියකගේ චරිතය මහලුවිය දක්වා විකාශනය වන ආකාරය ඊවා රණවීර මහත්මිය විසින් රචිත "සෙදෝනා" නම් නවකතාවෙන් නිරූපිත ය.
අකාලයේ දෙමව්පියන් මියයෑම නිසා සිය කුඩා සොහොයුරා සමඟ තනිවන අවිහිංසක සෙදෝනා හට ජීවත්වීම උදෙසා ගමේ සෑම සමාජ ස්ථරයකටම අයත් ගැමියන්ට මෙහෙකාරියක් වීමට සිදුවේ. සිය කුඩා සොහොයුරා ඇති දැඩි කිරීමට නොනිමි ජීවන අරගලයකට මුහුණදෙන ඇයට ඇයගේ ජීවිතය කරා එන යොවුන්විය නම් මල්බර සමය මිහිරියාව දැනවූ ආශිර්වාදයක් නොවන්නේ ඈ පීඩනයට පත් කළ දරිද්‍රතාවය නිසාවෙන්මය. සැබැවින්ම යෞවනය මල්බර ආශිර්වාද සමයක් වන්නේ පොහොසතුන්ට මිස සෙදෝනා වැනි දරිද්‍රතාවයෙන් බැට කන දැරියන්ට නොවේ. එය අප මුහුණදෙන කුරිරු සමාජ යථාර්ථයයි.
විවාහය, තමා උදෙසා තමන්ගේම කුටුම්භයක් තනාගැනීම වැනි සුබ සිහිනයන් සෙදෝනාගේ දිවියේ පෑළ දොරින් පළා යන්නේ ඉදිරි දොරකඩින් ඇගේ ජීවිතයට ඇතුළුවන දුප්පත්කමේ කුරිරු සරදමට හසුවීමෙනි. අනුන්ගේ බැල මෙහෙවරකම් කරමින්, අනුන්ගේ දරුවන් හදාවඩා ගැනීම ඇයගේ දෛවය විසින් ඇයට උරුමකරන ලද ඉරණම විය. පසු කාලයක ඇය බැල මෙහෙවර සඳහා ගිය වෙලේ ගෙදර දියෝනිස් සහ ඇය අතර ප්‍රේම සම්බන්ධයක් හටගනී. නමුත් එය හුදු කායික ආශාවන් සන්තර්පණය කරගැනීම අරමුණු කොටගෙන ගොඩනගා ගන්නා ලද සබඳතාවයක් නොව වියළී ගිය ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය සිසිලස සම්පාදනය කර දුන් සෙනෙහසකි. නමුදු ප්‍රේමයේ විචිත්‍රවත් හැඟුම් සෙදෝනා වැන්නියන් හට උරුම නැත. සමාජ සදාචාරයන්ට පිටුපා පළායාමට නොහැකි වූ සෙදෝනාගේ හා දියෝනිස්ගේ ප්‍රේමය අවසාන වූයේ මහා ඛේදවාචකයකිනි. ඒ සමාජයෙන් එල්ල වූ ගර්හාවන් දරාගත නොහැකිවූ දියෝනිස් සිය දිවි තොරකර ගැනීමෙනි. අවසානයේ එයට ද වැරදිකරු වන්නේ අසරණ සෙදෝනා ය.
ඇය වටා ගමේ පුරුෂයන් රොක්වන්නේ ඇයට අනුකම්පාව දැක්වීමේ අරමුණින් නොව ඇයව සිය කෙළි බඩුවක් කරගැනීමේ අරමුණිනි. අනුන්ගේ කුණු මිස තමාගේ රෙද්දෙහි ඇලුණු තුත්තිරි නොදකින ගැමි ගැහැනු දුරාචාරයේ හැසිරෙන්නියකය යන හංවඩුව අසරණ සෙදෝනා මත තැබීමට දෙවරක් සිතා නොබැලූහ. එම නිග්‍රහයට ඇය බඳුන් වන්නේ, එතරම් දුක්ගැහැටවලට ඇයට මුහුණදීමට සිදුවන්නේ ඇය සමාජයේ හඬක් නැගිය නොහැකි පීඩිත පන්තියකට අයත් වූ දිළින්දියක නිසාවෙන් පමණක්ම නොව ඇය ගැහැනියක ලෙස උපත ලැබූ නිසාවෙන් ය. මූල්‍යමය හැකියාව ඇය සතුව ද පැවතියේ නම් සමාජ සම්මතය සහ කුල සිරිත් අවැසි නම් අලුතින් නිර්මාණය කරගැනීමට ද හැකියාව පැවති බව කතුවරිය පෙන්වාදෙන්නේ සමාජ ක්‍රමය දෙස සෝපහාසාත්මක දෘෂ්ටියක් එල්ල කරමිනි.
"සෙදෝනාට විතරයි අතීතයක් දීල අයින් කරල ඉන්නෙ. අනිත් උන්ට නැද්ද අතීත. අනිත් උන් රජ පවුල්වල වගේ නේදැයි සෙදෝනාට හිතුණා.......පිට පාත් කරගෙන කොරවක්කා වගේ වචනයක් නැතුව ඉන්නවා. මිටි තැනින් වතුර ගලන්නෙ"
නමුත් මේ සියලු පීඩාවන් හමුවේ සෙදෝනා ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී නැගී සිටින්නී. මහලුවියට පත්වන තුරුම ගැමියන්ගේ නොයෙක් ගැරහුම්වලට ලක්වන සෙදෝනා වෙත වියපත් වෙත්ම මෙතෙක් වැසී තිබූ ගැමි ගෙවල්වල දොරටු විවර වන්නේ යළිත් සුපුරුදු මෙහෙකාර වෘත්තියෙහිම ඇයව යොදවාගනු පිණිස ය. දිනක් ඇයට ගැමි නිවසක කිරිඅම්මාවරුන්ගේ දානයක් සඳහා ආරාධනාවක් ලැබේ. තමා උදෙසා කුටුම්භයක් නිර්මාණය කර නොගත්, තම කුසින් දරුවන් නොවැදූ, එහෙත් තම දෑතින් ඇති තරම් අනුන්ගේ දරුවන් ඇති දැඩි කළ සෙදෝනා "කිරි අම්මා" යන නාමය ලැබ ගැමි සමාජය තුළ යම් ගෞරවනීය තත්වයකට පත්වන්නී ය. ඇයට එම තත්වය ලබාදෙන්නේ ද ඇයව ගර්හාවට ලක් කරන ලද සමාජය විසින්මය. එහිදී සෙදෝනා තුළ ඇතිවන සිතුවිලි ඇය පිළිබඳව දයානුකම්පාවෙන් පාඨක මනස පුරවාලන්නේ නෙතඟට කඳුළක් ද එක් කරමිනි.
"......මින් පස්සෙ කවුරුවත් කොන් කරන්නේ නෑ. පාන්දරට දකින්ඩ නොදෝකින් කියන්නෙ නෑ. ගමනක් බිමනක් යනකොට ඉස්සරහට මුලිච්චි වෙයි කියලා බයේ ගැහෙන්ඩ ඕනෑ නෑ. කිරි අම්මා කෙනෙක් වෙන්ඩ වාසනාවන්."
කතා සන්දර්භයට මනා සේ උචිත වන රසවත් භාෂා ශෛලියක් යොදාගනිමින් සමාජයේ දැඩි ලෙස අවධානයට ලක්විය යුතු සමාජීය ගැටලුවක පැතිකඩක් සියුම් සැතකින් මෙන් විනිවිද යන්නට "සෙදෝනා" නම් සිය නිර්මාණය හරහා කතුවරිය සමත් වී ඇත. ඇයගේ එම ප්‍රයත්නය සැබවින්ම අතිශයින් සාර්ථක වී ඇති ආකාරය සෙදෝනා නවකතාවේ පිටු අතර සැරිසරද්දී ඔබට හැඟී යනු නොඅනුමානය. අවශේෂ චරිතයන්ගෙන් සෙදෝනාගේ චරිතයට ආලෝකයක් ලබාදෙමින් ඇයගේ චරිතය කේන්ද්‍රකොටගෙන කතුවරිය ඉතා සියුම් ලෙස කතාව ගෙත්තම් කරන්නේ තමා සතු විශිෂ්ට හැකියාව මොනවට ප්‍රකට කරවමිනි.
ස්ත්‍රිය නිර්මාණය කිරීමේ කාර්‍යයේ නියුතුවූ දෙවියන්වහන්සේ හට ගේබ්‍රියල් නම් දේවදූතයා වරක් පැවසුවේ ඉතා සුන්දර නිර්මාණයක් වන එහි කිසිදු අඩුපාඩුවක් දැකිය නොහැකි බවයි. නමුත් මඳක් සිනාසුණු දෙවියන්වහන්සේ ගේබ්‍රියල්ට පිළිතුරු දෙමින් පැවසුවේ තමාගේ මෙම විශිෂ්ට නිර්මාණයේ අඩුවක් පවතින බවයි. එනම් තමා කොපමණ වටිනා කෙනෙකුද යන කරුණ නිතරම පාහේ ඇයට අමතක වී යන බවයි. දෙවියන්වහන්සේගේ කීම සැබෑවක් බවට පත්කරමින් කුමක්දෝ හේතුවකට තමා කොපමණ වටිනා පුද්ගලයෙකුද යන කරුණ සෙදෝනාට අමතක විය. නැතිනම් උක් දණ්ඩක් මිරිකා පැණිගෙන එය ඉවත දමන්නාක් මෙන් තමාගේ ශ්‍රමය සූරාගෙන වදනින් පවා ඇය පෙළූ මිනිසුන් ඉදිරියේ කොරවක්කෙකු මෙන් නිහඬව කරබාගෙන සිටින්නේ නැත. එක්කෝ ඇය එය අවබෝධකර ගැනීමට ප්‍රයත්නයක් නොදරන්නට ඇත. එසේත් නැතිනම් ඇය කරා පැමිණි දරිද්‍රතාවය ඇතුළු අනේකවිධ ගැහැට සහ ඇයව පීඩනයට පත් කළ සමාජය එය අවබෝධ කරගැනීමට ඇයට අවකාශයක් ලබානොදෙන්නට ඇත. නමුත් ස්ත්‍රීත්වය විසින් ඇයට තිළිණ කරන ලද සහජ ඉව සහ ශක්තිය ගැහැට පරයා ජීවත්වීමට ඇයට උපකාරී විය. තමා කොතරම් වටිනා පුද්ගලයෙකුද යන කරුණ ඈ හරිහැටි අවබෝධකරගත්තේ වියපත්ව "කිරි අම්මා" කෙනෙකු බවට පත්වීමෙන් අනතුරුවය.
නමුත් කොතරම් දුක්ගැහැටයන්ට මුහුණදුන්න ද, සමාජය තමා පිළිබඳව කුමන ආකල්පයක් දැරුව ද තමා කොතරම් වටිනා කෙනෙකු ද යන්න පිළිබඳව අප සෑමදෙනා තුළම අවබෝධයක් තිබිය යුතුය. අවම වශයෙන් අන් අයට කෙසේ වුවත් තමාට තමා කොතරම් වටිනා කෙනෙකු ද යන්න පිළිබඳව සෑම අයෙකුටම අවබෝධයක් තිබිය යුතුය. දුක් ගැහැට ඉදිරියේ ජීවිතය ඉදිරියට ගෙනයාමට අපට ශක්තිය සපයන්නේ එවන් උත්තේජනයන් ය.
මේ සෙදෝනාගේ කතාව පමණක් නොවේ. දරිද්‍රතාවයෙන් පමණක් නොව සමාජයෙන් එල්ලවන ගර්හාවන් හා අනේකවිධ දුක්ගැහැට හමුවේ පීඩා විඳින, ඒවා තුළින් ජීවිතය යළි ගොඩනැගීමට යත්න දරන කාගේ හෝ දියණියකගේ, නැගණියකගේ, බිරිඳකගේ හෝ මවකගේ කතාවකි. කෙටියෙන් කියතොත් කවුරුන් හෝ "අපේ කෙනෙකු"ගේ කතාවකි. ඊයේ පමණක් නොව අදත් සෙදෝනලා අප අතරම සිටිති. හෙටත් තව සෙදෝනලා බිහිවනු ඇත. දෙවොලක් තුළ ස්ත්‍රීත්වය පඬුරු පාක්කුඩම් පුදා දේවත්වයෙන් අදහන නමුත් එකී දේවත්වයෙන් පිදුම් ලබන ස්ත්‍රීත්වය දෙවොලෙන් පිටත ලෝකයේදී නොයෙක් අන්දමින් කෙළෙසීමට ලක් කරන සමාජයක් පවතින තාක් තවත් සෙදෝනලා අප අතරින් බිහිවීම වැළැක්වීමට අපට නොහැකි වනු ඇත.