උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’

post-title

විද්‍යුත් තැපෑලෙන් මා  ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා:   නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය  සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින් මතුවූ කවි පෙති රැසකින් සමන්විතය. ඉහල පරිකල්පන ශක්තියකින් මෙන්ම නිර්මාණශීලිත්වයකින් ද අනූන විද්වත් මනසකට දාව උපන් මේ කවි සමාජ විද්‍යාඥයෙකුගේ දැනුම් සම්භාරය හා විමසුම් ඇස සමාජයේ අස්සක් මුල්ලක් නෑරම සැරිසරන වගට තවත් එක ලකුණකි. ආර්ථික, සමාජයීය, සංස්කෘතික , ආගමික යන ඕනෑම පසුබිමක ඔහුට අහුලන්නට, එක්රැස් කරන්නට යමක් ඇත. ජීවක වෙදදුරා හට ගවු ගානක් ඇවිද්දද ඖෂධයකට ගත නොහැකි පැලෑටියක් සොයා ගැනීමට නොහැකි වූවා සේ, ඔහුට මෙලොව බැහැර කරන්නට හැකි යමක් සොයාගත නොහැකි වන්නේය.

සසංක පෙරේරා නම් වූ සමාජ විද්‍යාඥයා තුළ හැංගිමුත්තන් කරන කවියා ඔහුගේ විෂය පථය තුළ නිරායාසයෙන් සිදු කරන ලද පර්යේෂණ ව්‍යායාමයක  ප්‍රතිපල යම් ආකාරයක හෙළිදරව්වක් වශයෙන් කාව්‍යත්මක ප්‍රකාශනයක් ලෙස එලිදකින්නේ  මේ ලොව වෙලාගත් කොරෝනා වසංගතයට මුහුණ දෙමින් වයික්කාල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින විටය. කවි තිස් දෙකකින් සමන්විත ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’  කාව්‍ය සංග්‍රහය අදට ද මුද්‍රණය නොවූ ඩිජිටල් ප්‍රකාශනයකි.

මෙම කාව්‍යමය ප්‍රකාශනය තුළ දක්වා ඇති අනුභූතීන් කොරෝනා නිරෝධායන ‘අත්අඩංගුවට’ පත්ව සිටි කාලය තුළ කවියා විසින් ලියා ඇත්තේ විවිධ වූ සමාජ සන්දර්භයන් ඔස්සේ තම අදහස් හා නිරීක්ෂණ ව්‍යාප්ත කරමිනි. මෙම ග්‍රන්ථයේ දෙවන කවිය ‘මුඛාවරණය’ නමින් යුතුය . සැබෑවටම අපි මුඛාවරණයක් පළඳින්නේ නො කර බැරි කමට මිස කැමැත්තකින් නොවේ.  එහි අසීරුතාව අදට වඩා මීට මාස කීපයකට පෙර වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නට විය. අපි එදා ඊට කෝඩුකාරයන් වීමු. කෙසේ වුව ද මෙම කෘතියේ කන්චුකය සරසා ඇත්තේ ද මුඛ ආවරණයක් යෙදූ වෙස් මුහුණකිනි.

“එල්ලා මුඛාවරණය ගස් අත්තක,
හුරුවෙමු
හුස්ම නොගෙන සිටින්නට.  
සමුදෙමු කොරෝනාවට
ජීවිතයත් එක්කම”

ඒ නයින් බලන කළ, සසංක පෙරේරා සමස්ත ලෝකයාගේම හිතට නැගුනු ආවේගාත්මක, දරාගත නොහැකි වූ ‘මුඛ ආවරණයේ’ ආක්‍රමණය නිසා සිදු වූ ගැහැටකාරි බව අපූරුවට විග්‍රහ කර ඇත්තේ, මේ සියල්ලන්ම මිදෙන්නට හැකියාව ඇත්තේ  මියයාම තුළින් පමණක්ම බව පවසමිනි. මේ කෘතිය තුළ ඇති රූපමය ආකෘතිය දෙස බැලූ කළ, අපූරුවට කවියෙන් කවියට ගැලපෙන සිතුවම් එහි ඇතුළත් වේ. ඉහත කවියට අදාලව දක්වා ඇත්තේ, ගස් අත්තක එල්ලූ වර්ණවත් මල් මුද්‍රිත මුඛ ආවරණයකි.

මෙහි දැක්වෙන කවි අතර කොරෝනාව සමග පොර බැඳී ලෝක ප්‍රකට ජීවිතවලටද ඉන් ගැලවීමට නොහැකිව බැට කන බව කියන්නට ‘ඉර බස්නා හෝරාවේ කතාබහක්’ තුළින් දරා ඇති උත්සාහය අපූරුය. සැබෑවටම මිනිසුන්ට යමක් තේරුම් යන්නේ, මෙවන් ප්‍රකට පුද්ගල උදාහරණ සහිතව කී විටය. අප කාටත් වඩා සමාජ විද්‍යාඥයින්ට මේ පිළිබඳ අනන්ත අත්දැකීම් ඇතිබව නිසැකය.

“..................
අමිතාබ් බච්චන්ටත්
කොරෝනා ලු නේද?
බහින්නෙපා එලියට.
ගැටගහගන්න ඔය
මාස්ක් එක හරියට.”

හදවත් යුගලක් හා ඒවා යාකරමින් ඇඳි පරිමාණ  කෝදුවකි. ඒ අසළ ඇති කවිය ‘කොවිඩාවේ වැළඳ ගැනීම’ යි . කොරෝනාවෙන් ආරක්ෂාවීමට නියම කළ උපදෙස් හුවා දක්වමින්, මේ වසංගත තත්ත්වය හේතුවෙන් අසරණ වන මානව හැගීම් පිලිබඳ මෙන්ම, ඒ අසරණ සිතුවිලි සුඛිත මුදිත කළ හැකි පිළිවෙතක් පිළිබඳව මේ කවියේ සඳහන් වේ. සැබෑ බැදීමකට  භෞතික ස්පර්ශය අත්‍යවශ්‍ය නොවන වගත් , ඒ සියලු දේ මෙන්ම ජීවිත ආරක්ෂාව ප්‍රමුඛතම කාර්ය බවද මෙහි ව්‍යංගයෙන් පැවසේ:

“හොදින් මැන බලා උණ
සෙල්සියස්වලින්,
පැලද එන්. 95 මුඛාවරණයක්
මණරම්,
හිද මීටර්යක දුරින්,
වැලදගමු අපි අභිනයෙන්.”

සසංක පෙරේරාගේ කවි තුළ අපූරුවට උපහාසය යෙදී ඇති වාර ගණන මෙතෙකැයි කිව නොහැක. නිරන්තරයෙන් කතාබහට ලක්වන ‘රාවණා’ චරිතය පිළිබද වූ ඇතැම් විශ්වාශයන් මෙන්ම සමාජය තුළ පවතින ඇතැම් මුග්ධ දේශපාලන හැසිරීම් කෙරේ ඍජුවම මෙන්ම වක්රෝත්තියෙන්ද තම උපහාසාත්මක කවි පද ප්‍රහාරය පතිත කිරීමට ඔහු කිසිසේත්ම පසුබට වී නැත. ‘හෙලිකොප්ටර්’ යන කවිය මගින් එය මෙසේ දැක්වේ:

“..........
ගමුකො අපි ඉතින්

හෙලිකොප්ටර් හතරක්

මෙනෙහිකරමින් රාවණා නිරිදුන්ගේ

දඩු මොනරය

ඉසින්නට ලක්ෂවාරයක් මැතීරු පිරිත් පැන්

සිවු දිශාවේ

වඩම්මාගෙන යන්න පින්බර නිරිදුන්

රෑ කෑමට ගම්පොජ්ජට

අතුරුපසට

ආපහු කොළොම්පුරයට   ”

 

එසේම ‘රාවණා නිරිදුන්ගේ කෝපය’ යන කවිය තුලින් වත්මන් සමාජයේ  ‘රාවණා’ නම් වූ මිත්‍යා චරිතය පාදක කරගනිමින්   ඒ පිළිබද මැනැවින් නොදැන, එහෙත් ඊට ආරෝපණය කරන්නට වළිකන විවිධ මතිමතාන්තර, තර්ක විතර්ක දෙස උපහාසයෙන් මෙන්ම සානුකම්පිතව ද බලන කවියා, කවියට ගැලපෙන රුවක් ද සිය කෘතියෙහි දක්වා ඇත්තේය. ඒ ඔළුගෙඩි නවයකින් යුත් රුවක් විෂබීජහරණය කරමින් සිටින අයුරුය.

 

“බටුයේය මහ රෑ
පිටුපස තන බිස්සට
ඉතිහාසයෙන් අන්ඩ දැමූ
ගෑස් බැලුමකින්
රාවණා මහ නිරිදුන්.

ඉවත් කර මුඛාවරණය
විද සැනිටයිසර් සිව් දිශාවට
ගුගුලෝය එතුමෝ
කෝපයෙන් බොහෝ:

දෙන්නෑ මට මේ
මුග්ද හෙල යක්කු
පාඩුවේ  ඔහේ ඉන්න
පිටු අතර රාමායණේ.

කරන්න යනව මුන් මාව
ටෙලිවිෂන් පඩි රුවණක්,
විද්‍යුත් ඉන්ජිනේරුවෙක්,
පයිලට් මහත්තයෙක්,
කෝකටත් තයිලේ වෙදැදුරෙක්.
ඉවර වෙන්නෙම නෑ  මේ
පම්පෝරි කන්කරච්චලේ

………...”

සැබෑවටම අද වන විට සිදු වී ඇත්තේ ද මෙය නොවන්නේද? කවුරුන් කෙසේ කීව ද කවියා කියන ලෙසට, රාවණ ගොඩ බැස ඇත්තේ ඉතිහාසය නමැති නූලෙන් අණ්ඩ දැමූ ගෑස් බලුමකිනි. ඔය කියන වර්ගයේ රසදියෙන් දුවන දඩුමොනරයක් තිබුනා ද නැද්ද යන්න විද්‍යාවට නම් සොයා ගත නොහැක. මේ සියල්ල සිදුවන්නේ රාමායනයේ මිතාමතික කතා තුළය. මේ කියන තරම් ඔහුට මහා විශ්මකර්ම බලයකුදු නැති හැඩකි. රාවණාද මුඛ ආවරණ පැළද, විෂබීජ නාශක දියර ද භාවිත කරන්නේ, මේ වසංගතයෙන් ගැලවීමටය. මේ තරමටම ව්‍යක්ත ලෙස උපහාසය මුසුකරන්නට කවියා දක්වා ඇති සහජ දක්ෂතාව ඇගයීමට මිම්මක් නැතිවීම කණගාටුවකි.

දේවවාදී සංකල්පය සහ කොරෝනා වසංගතය එකට ගත විට, එහි ඉතුරු වී ඇති යමක් වේ නම් ඒ හිස්තැනක් පමණි. මහා තෙද ඇති දෙවියන්ට වුව ද මේ වෙනුවෙන් කල හැකි දෙයක් නොමැති වගත්, දෙවියන්ට වුව ද මේ ව්‍යසනයෙන් බේරෙන්නට මගක් නැති වග ද කදිමට උපකල්පනය කරන කවියා, මේ තත්ත්වය  ‘නාදුනන දෙවිදුන්’ යන කවිය තුලින් හාස්‍යයට ලක් කරන්නේ මෙසේය:

“එකලු වූ බැවින් හිමිදිරියේ
ශඩ්වර්නයෙන්
කව්ලුවෙන් එහා අඩවිය,
මෑත්කර බැලූ විට තිරය
සිටියෝය විල්ලුද මුඛාවරනයක්
හැද නලලේ,
රදවාගෙන රන්මුවා උන කටුවක්
මුඛයේ,
නාදුනන දෙවි කෙනෙක්
නිරෝධායන බැල්කනියේ
කොනක
දෝවනය කරමින් එතුමන්ගේ
අත් දහසයම
සැනිටයිසර් බාල්දියකින්.

මේ කවියේ ප්‍රභල යෙදුම් ගණනාවකි . ඒ දෙවියන්ගේ ආනුභාව දැක්වීම උදෙසාය.  දේවවාදයට සියුම් පහරක් එල්ලකරන කවියා, ‘අඩවිය’ , ‘විල්ලුද මුඛ ආවරණ’, ‘රන් මුවා උණ කටුව’, ‘දෝවනය කිරීම’ යන දේව සංකල්ප සමග බැදී පවත්නා යෙදුම් මගින් මිනිසුන් දෙවියන් කෙරේ දක්වන අන්ධ භක්තියට ටොක්කක් අනින්නේ, කොරෝනාව උදාහරණකොට ගෙනය.

සමාජය, විද්‍යාව, ඉතිහාසය ඔස්සේ ගමන් ගන්නා කවියාට දේවපුරාණයේ එන ශක්‍ර දේවේන්ද්‍රයාවද අත්හරින්නට සිතෙන්නේම නැති හැඩකි. සක් දෙවියා නම් වූ සංකල්පය සමග කොරෝනාවේ භායනක බව හා ව්‍යසනකාරී බව අපූර්වත්වයකින් මෙන්ම දැඩි ලෙස කියන්නට ‘පඩුපුල් අස්න’ නම් කවිය මගින් ගත් උත්සාහය කවියාගේ අරමුණ සාක්ෂාත් කරන්නක් වග කිව යුතුමය:

“දැරිය නොහැකි විලසින්
උණුසුම් වූ බැවින් පඩුපුල් අස්න
සදාතනිකවම,
ලොව වෙලාගන්නා විට
වසංගතය,
ගලවා දැමුවේය සක් දෙවිදුන්
පඩුපුල් අස්නේ ප්ලග් එක.”

ලෝකයේ දුක් දෝමනස්සයන් හමුවේ උණුවෙන පඩුපුල් අසුනට දැනෙන රස්නය උහුලාගත් නොහැකි තරම කොපමණ ප්‍රශ්නයක්ද යත්, ශක්‍ර දෙවියන් පඩුපුල් අසුනේ ප්ලග් එක ගලවා ඇත. ඒ යෙදුම තුළ ව්‍යන්ගාර්ථයේ සෙවනැළි දර්ශන පිලිබඳ හෙලිකරනා පණිවුඩ රාශියකි.

කෙසේ  වුවද සසංක පෙරේරාගේ ‘උබේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා’  කාව්‍ය සංග්‍රහය  යුද්ධයකින් පසු යුද සාහිත්‍යයක් ඇති වන්නා සේම, වසංගත  අවධානමත් සමගම ඒ අවධානම කේන්ද්‍රකරගත්  සාහිත්‍යයකට කරන ලද අත්පොත් තැබීමක් බඳුය. එමෙන්ම, සමාජ විද්‍යාඥයා නිලය බලා  පහර දෙන්නාක් මෙන්, ඔහුගේ කවිවලින් අපිට පැන දුවන්නට ඉඩක් නොදෙන්නේය. ඔහු අපේ හදවතට කවිය තුලින්  එබිකම් කරන්නේ, ආලෝකය මෙන්ම අදුර ද එක මිටකට ගෙනය. ඩිජිටල් ආකෘතියකින් හෙබි මෙම කවි පොත  වසංගතය අවසන ඉතිරිවන මතකයන්ගේ දොරකඩ නතර වී දිගු කාලයක් රැදී හිදිනු ඇත. තවත් පරම්පරා ගණනකට කවිය අස්සේ සැගවවී ඇති ඉතිහාසයේ කඳුළු බිදක් ගැන කියා දෙනු ඇත. මේ කවි එකතුව කියවන්න ලැදි පිරිසට මේ යොමුව ඔස්සේ එය කියවිය හැක:

http://www.patitha.lk/covid-poem/?fbclid=IwAR2xFEzuBZJYttS5j3OEbkGqXQkmlbmjEnCxSR182GTQb9NwBEGf7KK5QhU

Top