මැරෙන්න කලින් මිය යන්න එපා (407)

post-title

යහපත් මානසික සෞඛ්‍ය තත්වයක් සහිතව අපි ගත කරන හැම මොහොතක්ම, දවසක්ම ගත කරන්න අපි හරිම කැමතියි. කොටින්ම කිව්වොත් අපි හැමෝගෙ ම එකම බලාපොරොත්තුව වෙන්නේත් හිතේ සතුටින් සැනසීමෙන් මරණය වන තෙක් ම අපේ ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කරන එකයි. ඉතින් ඒ අපි බලාපොරොත්තු වන, අපි අපේක්ෂා කරන යහපත් මානසික සෞඛ්‍ය වුණාට හැමදාම හැමවෙලාවක ම අපිට ඒ වගේ යහපත් තත්වයකින් ජීවත් වෙන්න, ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ද? ඇත්තෙන්ම බැහැ. ඒක ප්‍රායෝගිකව ඇත්තෙන්ම කරන්න බැරි දෙයක් කිව්වොත් මා නිවැරදියි. ඊට හේතුව ඔබට දිගින් දිගටම පැහැදිලි කරන්නට අවශ්‍ය නොවන්නේ මේ වන විටත්, ඔබ මේ ලිපිය කියවන විටත් සමහරවිට ජීවිතයේ වැටෙන්න පුළුවන් උපරිම ආගාධයකටත් වැටිලා, ඔබ ජීවිතයේ යම් තාක් දුරකට දැන් ගොඩදාපු කෙනෙක් වෙන්න පුළුවන් නිසා.

ඒත් කෙටියෙන් මෙහෙම කියන්නම්. ජීවිතයේ හැමදාම අපිට හිනාවෙලා ඉන්නත් බැහැ. ඒ වගේමයි ජීවිතයේ හැමදාම අපිට අඬන්න සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් අවශ්‍ය වන්නේ ඒ ඒ කාලවලදී ඒ ඒ කාලවලට අදාළ වන මානසික තත්වයට අපිට හුරු වෙන්න වෙන එකයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට යම් යම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ගෙන් අසන්නට ලැබෙන (දැන් නම් ජීවිතය එපා වෙලා වගේ, පුදුම කලකිරීමක් දැනෙන්නේ, කවදාවත් හිතේ සතුටින් සැනසීමෙන් නම් ඉන්න ලැබෙන්නේ නෑ) වගේ දේවල් ඔබට මට අපිට නිතර දෙවේලේ අසන්නට ලැබෙන්නේ මං අර පෙර සඳහන් කළ කාලානුරූපී මානසික තත්වයන් නිසියාකාරව හරි විදිහට කළමනාකරණය කර ගත නොහැකි වූ තැනදීයි. 

ඇත්තෙන්ම පුද්ගලයෙක් යම්කිසි අසමතුලිත මානසික තත්වයකට ලක් වෙන්නට හේතුකාරණා කිහිපයක් බලපාන්නට පුළුවන්. 

උදාහරණයක් විදිහට නොසිතූ අවස්ථාවක යමෙකුට මුහුණ දෙන්නට සිදු වූ යම් කිසි කම්පනීය අත්දැකීමක් හේතුවෙන්, ඉතාමත් බැඳීමකින් පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටීමෙන්, යම් කිසි ඇබ්බැහිවීමකට (මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර, වීඩියෝ ගේම්ස්, ලිංගික ඇබ්බැහිවීම්) ලක් වූ අයෙකුට ඔවුන්ගේ එම සුපුරුදු චර්යාව වෙනස්වීම හේතුවෙන්. මේ ආදී බොහෝ කරුණු කාරණා නිසා කෙනෙකුට මානසික තත්වයේ යම් යම් ගැටළුකාරී තත්වයන් පැන නඟින්නට පුළුවන්. 

ඉතින් එවන් අවස්ථාවලදී ඕනෑම කෙනෙකුට එක්වරම, ක්ෂණිකවම ඔවුන්ගේ මනසට ගලාගෙන එන්නේ ජීවිතය ගැන කලකිරීමක්, එපා වීමක් සහ අන් අය සහ තමා සමග සසඳා බලා තමන් පිළිබඳ අවතක්සේරු කිරීමක් වැනි හැඟීම් සමුදායක්. ඒ හේතුවෙන් වර්තමානයේදී දිනෙන් දින ඉහළ අනුපාතයක් වෙතට සිඝ්‍රයෙන් නැග යන සියදිවි නසා ගැනීම් සහ සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් ආදී බොහෝ අවසනාවන්ත සිදුවීම් දිනපතාම වාගේ අසන්නට දකින්නට හැකි තත්වයක් වර්තමානයේ උදා වී ඇති බව ඔබ අප කාටත් වැටහෙන කරුණක්. ඉතින් ඇත්තටම තමන්ගේ ජීවිතයට එන මානසික ප්‍රශ්නයක් හේතුවෙන් තමන්ගේ සුපුරුදු චර්යා රටාව විවිධාකාරයෙන් බොහෝ දුරට වෙනස් වෙන්නට පුළුවන්. මේ දේ ඔබේ ජීවිතයේ බොහොම සරල තැන පටන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදිහට ඔබ උදේට අවදි වන වෙලාවේ පටන් පෙර දිනයන්හිදී ඔබේ වේලාසන අවදි වූ අයෙක් නම් යම් මානසික අසමතුලිතතාවයක් ඔබේ මනසට පැන නැගි මොහොතේ පටන් ඔබේ මෙම සුපුරුදු චර්යාව වෙනස් වෙන්නට පුළුවන්. ඒත් එක්කම ඔබ පෙරදී ඉතාමත් කැමැත්තෙන් ආශාවකින් සිදු කළ දෑ එකී තත්වය හමුවේ ඔබට ඒ දේවල් ඉතාමත් අප්‍රිය දෑ වන්නට පුළුවන්. කොටින්ම කිව්වොත් ඔබ උදේට නැගිටලා ඇස් දෙක ඇරලා ජනේලයකින් එළිය බලන්නට පවා අකමැති වන්නට පුළුවන්.

ඉතින් මේ තත්වය ඔබ ඔබේ ප්‍රශ්නය තුළ ගිලී සිටින තාක්කල් ඔබට වන දෙයක්. එක්තරා විශ්ව විද්‍යාලයක් මහාචාර්යවරයෙක් මේකට හොඳම උදාහරණයක් පෙන්වලා දෙනවා. ඔහු සිය දරුවන්ට පෙන්වලා අහනවා ‘‘මම මේ වතුර වීදුරුව විනාඩියක් එක අතකින් හිසේ මටට්මට ඔසවා ගෙන සිටියොත් මට කුමක් සිදු වේද කියා. එහිදී ශිෂ්‍යයන් කිසිවක් නොවන බවට පිළිතුරු දෙනවා. පසුව ඔහු නැවත අහනවා මෙම වතුර වීදුරුව පැයක පමණ වේලාවක් මම එක අතකින් ඔසවා ගෙන සිටියහොත් මට කුමක් සිදුවේද කියා එහිදී ශිෂ්‍යයන්, අතට දැඩි වේදනාවක් ගෙන දෙන්නට හැකි වේ යැයි යනුවෙන් පිළිතුරු දෙනවා. පසුව මම දේ වතුර වීදුරුව සම්පූර්ණ දවසක් පුරාවට ඔසවා ගෙන සිටියහොත් මා හට කුමක් වේ දැයි ඔහු නැවත ශිෂ්‍යයන්ගෙන් ඇසූ විට එක් ශිෂ්‍යයෙකුගේ පිළිතුර වනුයේ එමගින් ඔබගේ ජීවිතයට දැඩි හානි සැදු විය හැකි අතරම සමහරවිට ඔබ මරණයටද පත් විය හැති බවයි.”

පසුව මහාචාර්යවරයා සිය විද්‍යාර්ථීන්ට පෙන්වා දෙන්නේ ඔබේ ජීවිතයට බලපාන ඕනෑම ප්‍රශ්නයක් ඔබට බලපාන්නේත් මේ ආකාරයට බවයි. ඒ කෙසේ ද? ඔබ එම ප්‍රශ්නය තුළ ගිලී සිටින තාක් කල් ඔබට එයින් ගැලවීමක් නැහැ. ඔබ ඒ ප්‍රශ්නය ගැන හිතමින් ඒ තුළම ගිලී සිටින තාක් කල් ඔබට එයින් ගැලවීමට හැකි වන්නේත් නැහැ. එම නිසා සිදු විය යුත්තේ ප්‍රශ්න නැතිව ජීවත් වීමට හැකි මගක් සොයන එකවත් ප්‍රශ්න වලින් පැනලා යන්නට හිතන එකවත් නෙවෙයි. ප්‍රශ්නය හදුනා ගෙන එය විසඳා ගැනීමට හැකි වන ලෙසට අපගේ මානසික තත්වය හසුරුවා ගැනීමයි. මොකද මේ ලෝකයේ විසඳුමක් නැති ප්‍රශ්න එකක්වත් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඇතැම් ප්‍රශ්න වලට අවශ්‍ය කරන විසඳුම ඔබට සොයා ගැනීමට නොහැකි වීමයි.

ඒත් ඔබ ඔබේ ප්‍රශ්නයෙන් මොහොතකට එළියට ආවෝතින් සමහරවිට ඔබට එවන් ගැටළුවක් තිබේද යන්නත් ඔබටම අමතක වෙන්නට පුළුවන්. කාමරයක් ඇතුළට වෙලා ගුලි වෙලා නිදාගෙන ඉන්නවා වෙනුවට ඔබට පුළුවන් ඔබ කැමති සින්දුවක් සින්දු කිහිපයක් තෝරා ගෙන අහන්නට වගේම ඔබ ප්‍රිය කරන චිත්‍රපටයක් නරඹන්නට. ඒ වගේම ඔබේ හිතට එන හැඟීම් වචන කරන්නට ඒවා කොළයකට ගන්නට ඔබට පුළුවන්. දැන් ඔබ තුළ තියෙනවා නම් යම් දුර්වලකමක් ඒ දුර්වල තැනින්ම ගොඩ එන්නට ඒ අතරතුර ඔබට හිතන්නට පුළුවන්. ඒත් එක්කම ඔබේ ගැටළුවට විසදුමක් ඔබටම හොයා ගැනීමට අපහසු වුණාට ඒ විසඳුම ඔබට හොයලා දෙන්න හැකියාවක් තියෙන විශ්වාසවන්ත මාර්ගයක් තෝරා ගන්නට ඔබට පුළුවන්. විවිධ උපදේශන මාලාවන් ලබා ගත හැකි විශ්වාසවන්ත පුද්ගලයින් ආයතන අද සමාජයේ පිහිටුවලා තිබෙනවා. ඉතින් ඒ අපි වෙනුවෙන්, ඒ ඔබ වෙනුවෙන්. 

ඒත් එක්කම විශේෂම කාරණයක් වන්නේ ඔබ යම් මානසික ඇඳ වැටීමක ඉන්නවා නම් ජීවිතය තවදුරටත් අවැසි නැති තැනක ඔබ ඉන්නවා නම් ඔබ අනාගතය ගැන හීනයක් දකින්න. ඒ... ඔබේ දැන් තත්වයෙන්ම සිට නොවෙයි. ඔබට අත්පත් කතර ගැනීමට අවශ්‍ය දහසකුත් එකක් ඔබේ බලාපොත්තු එක්ක, ඔබේ හීන එක්ක අනාගතයේදී ඔබට යන්න අවශ්‍ය ටාර්ගට් එක ගැන ඔබ දකින හීනයක්. ඉතින් දවසින් දවස ඒ හීනෙට ඔබ පණ පොවන්නට පුරුදු වුණාම ඔබට ඇති වන්නේ ඒ හීනෙට යන්න අවැසි මාර්ගය සහ ඒ හා සම්බන්ධ ප්‍රශ්න ගොන්නක්. ඉතින් එතනදි ඔබ හොයන්නේ ඔබේ සාර්ථකත්වයට මග කියන විසඳුම්. 

ඉතින් සැබවින්ම ප්‍රශ්නයක් ඉදිරියේ එහෙමත් නැත්නම් යම් මානසික අසමතුලිතතාවයක් ඉදිරියේ ඔබ තෝරා ගන්නේ ඔබවම විනාශ කරන මාර්ගයක් නම් එයින් ඔබව නිදහස් වේ යැයි සිතනවා නම් ඒ සඳහා අවශ්‍ය වන ධෛර්යයක් හිතේ ශක්තියක් ඔබට තියෙනවා නම් ඔබේ ගැටළුවට විසඳුමක් සොයන්නට සහ ඊට මුහුණ දෙන්නට අවශ්‍ය කරන ධෛර්යය ශක්තිය කීයටවත් ඔබට නැති වන්නට විදිහක් නම් ඇත්තේම නැහැ. ඉතින් අවශ්‍ය කරන්නේ එක දෙයයි. ඒ ඔබ මැරෙන්න කලින් මිය යන්නට එපා. මොකද ප්‍රශ්නයක් තියෙන්නේ අද-හෙට යම්කිසි කාලයක් වන්නට පුළුවන්. ඒත් ඔබ ඒ වෙනුවෙන් ගනු ලබන තීරණය නිසා විටෙක ඔබද ඔබෙන් පසුව ඔබේ දෙමව්පියන්ටද ජීවිත කාලයටම විඳවන්නට සිදු වන නිසා. 

එහෙම නම් වචනයකින් වුවද ඔබට හයියක් වන්නට අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින් ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු. 

Top