ගීතයයි, පොතයි , ජීවිතයේ සැනසුමයි.. (400)

post-title

ජීවිතේ ඇතුලෙ හැමදාම සතුටත් නෑ හැමදාම දුකකුත් නෑ. හැබැයි ජීවිතේ හරි සුන්දරයි. එහෙම කියන්න හේතුව තමයි ජීවිතේට බාධක නො ආවොත් ඒ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මොකද බාධක එන තරමට තමා අපි අත්දැකීම්වලින් පරිපූර්ණ වෙන්නෙ. ඒ වගේම තමයි අපි පොත්පත්, පත්තර, ලිපි කියවන තරමට තමා දැනුමෙන් පෝෂණය වෙන්නෙ. ඕනිම කෙනෙක්ගෙ ඕනිම mood එකක් වෙනස් කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සිංදු නැත්නම් ගීත. අනිත් එක තමයි පොත්. එහෙම කියන්න හේතුව තමයි ගොඩක් වෙලාවට පොත් ඇතුලෙ, ගීත ඇතුලෙ තියෙන්නෙම අපි හැමෝගෙම ජීවිත අත්දැකීම්. විරහ වේදනාව විදින කෙනෙකුට විරහ ගීත කියන්නෙ එයාගෙ මතකය ආවර්ජනය කරන තෝතැන්නක්. හමුවීම, ආලයෙන් වෙලීම, ප්‍රශ්න රණ්ඩු ඇතිවීම, වෙන්වීම මේ හැමදේම ගීත ඇතුලෙ විදින්න පුරුදු වෙලා ඉන්නවා ගොඩක් අය. ඇත්තටම කෙනෙක්ගෙ හිත ඇතුලෙ සංකල්ප රූප මැවීමේ හැකියාව හරවත් ගීතයකට තියෙනවා. ගීතයකින් කියැවෙන්නෙ තමන් මුහුණ දුන්නු අත්දැකීමට සමාන අත්දැකීමක් ගැන නම් ඒ ගීතය පුරාවටම අපි ඒකාබද්ධ වෙලා ඉන්නෙ අපේ අත්දැකීම එක්ක. ඉතින් එතකොට අපට පුලුවන් වෙනවා ගීතයකට රූප රචනය දෙන්න අපේ හිතින් .

විරහ වේදනාව විදින ගොඩක් අය පුරුදු වෙලා ඉන්න තවත් දෙයක් තමයි විරහ ගීත අහන එක. ඒක තමයි ඒ අයගෙ එකම සැනසීම. එහෙම විරහ ගීත අහල අහලම විරහව කියන දේ සාමාන්‍යකරණය කරගත්ත අය මේ ලංකාව ඇතුලෙ ඕනි තරම් ඉන්නවා. සමහරු එකම ගීතය ආයෙ ආයෙ අහන්න කැමති. ඒකෙන් තේරෙන එකම දේ තමයි එයාලා එහෙම අහන එකෙනුත් නිරාමිස සතුටක් ලබනවා කියන එක. ඇත්තටම ගීතයක් කියන්නෙ භාවනාවක් . සම වැදිල අහන් හිටියම තේරෙනවා ඒ ගීතයෙ කියන හැමදේම අපේ ජීවතවලට බද්ධයි නේද කියල. ඒ වගේම තමයි ගීතයකට පුලුවන් මනුස්සයෙක්ගෙ භාව කුපිත කරන්නත් භාව ප්‍රමෝදමත් කරන්නත්. ඒකට දෙන්න පුලුවන් හොඳම උදාහරණෙ තමයි බස් එකෙ ඉන්නෙ තරුණ රියැදුරෙක් එක්ක කොන්දොස්තර කෙනෙක් නම් එහෙම බස් වල ඇහෙන්නෙ තාරුණ්‍යය ඉල්ලා සිටින ජාතියෙ සිංදු. ඉතින් ඒවා බස් එකේ ඉන්න තරුණ පිරිසට ගැලපුනාට වැඩිහිටි ප්‍රජාවට ගැලපෙන්නෙ නෑ . ඒ හින්ද බස් එකෙන් බහින මොහොත වෙද්දි වැඩිහිටියො භාව කුපිත වෙලා ඉද්දි තරුණයො ඉන්නෙ භාව ප්‍රමෝදයට පත්වෙලා. මේ ලෝකෙ ඕනි තරම් මිනිස්සු ඉන්නවා තමන්ගේ ආතතිය නැති කරගන්න තමන් කැමති රටාවක ගීත වලට සවන් දෙන. මේ ලෝකෙ කොහෙවත්ම කවුරුත්ම නැතුව ඇති ගීතයකට සවන් දෙන්න අකමැති. ඒකට හේතුව තමයි ඒ තරමටම ගීත තුළින් ජීවිතේට සැනසුමක් ලැබීම. ඇත්තටම ගීත කියන්නෙ හරි අපූරු නිර්මාණයක් . විටෙක අඩ අඩ ඉන්න කෙනාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ කදුලු තවත් වැඩි කරනවා නැත්නම් කදුලු පිහල දාලා සතුට අරන් එනවා. ගෙදරින් රණ්ඩුවෙලා රැකියාවට ආව සැමියෙක්ව ආදරයෙන් පුරවලා හවසට ආයෙ ගෙදර යවන්නත් මේ ගීතවලට හැකියාව තියෙනවා. ඒ වගේම උපතින්ම මව් සෙනෙහස පිය සෙනෙහස අහිමි දරුවන් ගීත අහල ඒ සෙනෙහස විදින තැනට අද පත්වෙලා ඉන්නවා. මෙහෙම බලද්දී ගීතයක් තරම් හිත නිවන ඔසුවක් තවත් තියෙන්නෙ කොහෙද.

පොතකට පුලුවන් කෙනෙක්ගෙ හැගීම් වර්ධනය කරන්න . ඒකට තියෙන හොඳම උදාහරණය තමයි වැස්ස දවසක ජනේලයක් අයිනට වෙලා සීතලට කෝපි කෝප්පයක් බොන ගමන් අතට ගන්නෙ ආදරය ගැන ලියවුණු නවකතා පොතක් නම් කියවන්නාත් ආදරෙ කරමින් ඉන්න හො සොයමින් ඉන්න කෙනෙක් නම් පොතෙහි අඩංගු ප්‍රේම ආලවට්ටම් ඔහුගේ හෝ ඇයගේ හිත ප්‍රේමයෙන් මුසපත් කරවන්නේ නිරායාසයෙනි. ඒ වගේම පෙම්වතෙක් පෙම්වතියක් සොයාගැනීමට යම් පෙළඹවීමක් ද එයින් ලැබෙනවා. නවකතාවෙ ඉන්න යුවල ආදරයෙන් වෙලෙන සෑම අවස්ථාවකම පෙම්වතෙක්ට නම් පෙම්වතිය සමග තුරුල් වී සිටි අවස්ථා මතකාවර්ජනය වී නිතැතින් මුවට මන්දස්මිතියක් එනවා එසේ නොමැතිව තනිකඩයෙකු නම් ප්‍රේමවන්තියෙකුගේ අවශ්‍යතාව සිහි කැදවනවා. සත්‍යවශයෙන්ම පොත් කියන්නෙම පෑරුණු හිත් සනසවන දිව ඔසුවක්. පොතකට හැකියාව තියෙනවා යම් කිසි කෙනෙක්ගෙ හිතේ තෙරපෙන දුක , වේදනාව , ආතතිය නැතිකරල හිතේ සැනසීම අරන් එන්න. කෑ ගසමින් අඩ අඩ ඉන්න කෙනෙක් ඊලඟ මොහොතෙ උඩ පැන පැන හිනාවෙන්නෙක් බවට පත් කරන්න පොතකට හැකියාව තියෙනවා. පොතකට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නොමැති තරම් . හැබැයි ඒ හැමදේම තීරණය වෙන්නෙ පොතක අඩංගු කරුණුයි රසවත් භාවයයි මත.

 උපතින්ම කථනාබාධිත දරුවෙක් ගැන හිතන්න ඒ දරුවට කතා පොතක් දුන්නම ඒක කියවල ඒකෙන් එයාට දැනුනු දේ චිත්‍ර කතාවකින් නැවත ඉදිරිපත් කරනවනම් පොතක් කියන්නෙ ලස්සන හීනවලට පාර තනන්නෙක්. කතා කරගන්න බැරි උනා කියල කිසිම කෙනෙක්ගෙ ජීවිතේ එක තැන නතර විය යුතු නෑ. ඒ අය පොත් පත් කියවල ලබාගන්න දැනුමෙන් එයාලට ආවේණික උනු වෙනම සංකල්පයකට පොතක් දායාද වෙයිදඑයද පොතකින් ජීවිතයට ලැබෙන මහගු දායාදයකි. දරුවෙක් පොඩි කාලෙ ඉදන් පොත් කියවන්න හුරු වෙනවා කියන්නෙ එයාලගෙ හීන ලෝක පාට වෙනවා කියන එක. මොකද කියවපු පොතේ තිබ්බෙ වීරයෙක්ගෙ චරිත කතාවක් නම් එවැනි පෞරුෂයක් හදාගන්න පොඩිකාලෙ ඉදන් එයාල උත්සාහ ගන්නව.ඒකෙන් වෙන්නෙ ඉබේම පෞරුෂ සංවර්ධනය ඇතිවීම. පොතකින් සැනසීමක් වගේම පිටිවහලකුත් ලැබෙනවා ඉදිරි අනාගතේට . ඒ වගේම ලොකු කුඩා කොයි කවුරු අතරත් නැතුව ඇති ෂර්ලොක් හොම්ස් කතා මාලාවේ එක පොතක් හෝ නොකියවපු කෙනෙක්. ඇත්තටම ඇබ්බැහි වෙලා කියවන කතා මාලාවක් තමා මේ පොත් මාලාව . ඉතින් ගොඩක් අය පොඩි කාලෙ ඉදන් හුරුවෙලා ඉන්නවා ඒවයෙ විදියට පොඩි පොඩි අත්හදාබැලීම් කරන්න. ඒ වගේම ආදරෙන් පැරදුණු කෙනෙක් තමන්ට අහිමිව ගිය ආදරෙ පොත් වලින් හොයන්න පුරුදු වෙන්නෙත් නිරායාසයෙන්. ඒක හරි ලස්සන දෙයක් . පොත් වලට ආදරෙ කරනවා කියන්නෙම දැනුමෙන් , අත්දැකීම් වලින් පෝෂණය වෙනව කියන එක. 

 කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නෙ නිකන්ම නිකන් පාඨයක් විතරක් නෙවෙයි. ඇත්තටම කියවීම තුළ මිනිසා සෑම අතින්ම පරිපූර්ණ වෙනවා. ඇත්තටම ජීවිතේ සැනසුම පොතකට, ගීතයකට අරන් එන්න පුලුවන් ලෙහෙසියෙන්ම. තමන්ගේ සැනසීම පොතක් තුළින් සොයායාම ද ජීවිතේ සාර්ථකත්වයට මං පෙත් විවර කිරීමක් බව සිහි තබාගන්න .

Top