ඉවසීමේ දොරගුළු විවර කරමින් ජීවිතයේ පියගැට පෙළ නඟින්න (473)

post-title

වර්තමානයේදී මිනිසා ජීවත් වනුයේ සමාජයෙහි පවතින්නා වූ සෑම දෙයක් පාහේම ක්ෂණිකව සිදුකළ යුතු කාර්යබහුල සමාජයකය. නමුත් කිසියම් වූ කාර්යයක් සිදුකෙරෙන තුරු මඟ බලාගෙන සිටීමේ පුරුද්දක් අද වන විට මිනිසා සතුව නොපවතී. එමෙන්ම එසේ මඟ බලාගෙන සිටිය යුත්තේ කෙසේදැයිවත් ඔවුන් හරිහැටි නොදනියි. තිරිංග නොමැතිව, පාලනයකින් තොරව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන ඔරලෝසුව දෙස බලමින් තම වැඩකටයුතු සිදුකරන වර්තමාන මිනිසා සතුව ඉවසීම නැමැති ගුණාංගය නොමැති බවනම් වත්මන් සමාජයේ කොයිකාහටත් හැඟෙන සත්‍යය කරුණකි.

මෙම “ ඉවසීම ” ත්, “ නොඉවසීම ” ත් යන වචන දෙකෙහි ඇත්තේ එකම එක අකුරක පුංචි වෙනස්කමකි. නමුත් ඉවසීමත්, නොඉවසීමත් ජීවිතයට ඇතිකරනු ලබන බලපෑම නම් එතරම් ම සුළුපටු වන්නක් නොවේ. විටෙක එහි බලපෑම මිනිසාට මෙලොවදී පමණක් නොව පරලොවදී හෝ පැමිණෙන්නට පුළුවනි. 

“ ඉවසීමෙන් සැනසීම ලැබේ ” යන පාඨය අප කා අතරත් ඉතා ප්‍රකට වැකියක් වුවත් වර්තමානයේදී ඉවසීමේ ගුණය මිනිසුන් අතර ඇත්තේම නැති තරම් ය. ඇතැම් විද්වතුන් පවසන ආකාරයට වර්තමානයේ මිනිසුන් සතුව ඉවසීමේ ගුණාංගය මෙතරම්ම නොමැතිවීමට හේතුවී ඇත්තේ නවීන තාක්ෂණය යි. එමෙන්ම අද වන විට මිනිසා සෑම දෙයක්ම පාහේ සිදුකරනුයේ නොයෙකුත් මාදිලියේ ජංගම දුරකතන, කැමරා සහ පරිගණක යොදා ගනිමින් සිදුකරන ඩිජිටල් තාක්ෂණය ඔස්සේය. එහෙයින් එක බොත්තමක් එබූ සැණෙකින් සියල්ල ක්ෂණිකව සිදුවේ. මෙසේ තාක්ෂණය හරහා සෑම දෙයක්ම ක්ෂණිකව සිදුකර ගැනීමට හැකිවීම නිසා තම ජීවිතයේ සියල්ලම පාහේ ඉක්මනින් සිදුකර ගත යුතුය යන මානසිකත්වයකට අද වන විට මිනිසා පැමිණ හමාරය. 

මෙම තාක්ෂණීකරණය වූ සමාජ ක්‍රමය තුළ අද මිනිසා කතාබහ කරනුයේ ද, ආහාරපාන ලබා ගනුයේ ද ඉතාමත් කලබලයෙනි. එසේම වාහනයක් පදවනුයේ ද පමණටත් වඩා වේගයෙනි. අඩුම තරමින් ලිෆ්ට් එක පැමිණෙන තෙක්වත්, මාර්ග සංඥා එළිය ක්‍රියාත්මක වන තෙක්වත්, පරිගණකය ක්‍රියාත්මක වන තෙක්වත් අද මිනිසාට ඉවසීමක් නොමැත. මෙසේ මිනිසා සතුව ඉවසීම නොමැතිවී යාම තුළින් වර්තමානයේදී මිනිසාට බොහෝ හානිදායක දේවල්වලට මුහුණදීමට ද සිදුවනු ඇත. අද සමාජයේ අපට කොතෙකුත් අසන්නට, දකින්නට ලැබෙන නොයෙකුත් කල කෝලාහලවලට, නඩු හබවලට සේම අවසානයේදී මරණයෙන් කෙළවර වන ගැටුම් අවස්ථාවලට ද මිනිසා බොහෝසෙයින් මුල පුරනුයේ ඔවුන් ඉවසීම ප්‍රගුණ නොකළ නිසාවෙන්මය. 

ඉවසීම යන්න උදාසීනත්වයට සමාන නොවන්නකි. එය මිනිසා තුළම ප්‍රගුණ කර ගත යුත්තකි. එසේ නමුත් පෘථග්ජන පුද්ගලයාට ඉවසීම ප්‍රගුණ කළ නොහැකි ගුණාංගයක් බැව් සමහරෙකුගේ අදහසයි. පුහුදුන් සිතක ඉවසීම රඳවා තබා ගැනීම අපහසු බව නම් සත්‍යයකි. එහෙත් ඉවසීම පුරුදු පුහුණු කර ගත හැකි ගුණාංගයකි. දරුණු රෝගයක් ඖෂධ මඟින් සුවපත් කරන්නා සේම ඉවසීම පුරුදු පුහුණු කිරීමෙන් ඔබට ඔබේ ජීවිතය සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමහර අවස්ථාවන්වලදී අප කෙරෙහි ජනිත වන ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීමට අසීරු විය හැකිය. එහෙත් අප තුළ ඉවසීමෙන් යුතුව, තැම්පත් නුවණක් ඇතිකර ගන්නේ නම් ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීමට අපට අපහසු වන්නේ නැත.

ඔබ සතුව ජීවිතයේ වැඩි ඉවසීමක් තිබුණහොත් ඔබට එයින් වැඩි ප්‍රතිලාභ ලැබෙනු ඇත. එබැවින් එය ඔබ තුළම ක්‍රියාකිරීම අවශ්‍ය වන්නකි. ඉවසීම ඔබට වඩාත් සන්සුන්ව ජීවත්වීමට උපකාරී වන අතර එමඟින් ඔබට ජීවිතයේදී මුහුණදීමට සිදුවන බාධකවලට හොඳින් මුහුණදීමට හැකියාව ලැබෙනු ඇත. අද සිරදඬුවම් විඳින බොහෝදෙනා තමන් කළ වැරදි පිළිබඳ ව පාපොච්ඡාරණය කරමින් පසුතැවෙනු අපට අසන්නට ලැබී ඇත. ඒ ඔවුන්ට එසේ සිපිරිගෙය තුළ දුක් විඳීමට සිදුවූයේ ඔවුන් තුළ හටගත් හදිසි කෝපය වැනි තත්ත්වයන්වලදී ඔවුන් විසින් සිදුකරන ලද වැරදි ක්‍රියාවන් නිසාවෙනි. එමෙන්ම මැරතන් ධාවන තරඟයක් ආරම්භයේදී ක්‍රීඩකයන් ඉතා අධික වේගයකින් තරඟය ආරම්භ නොකරයි. මන්ද ආරම්භයේදී අධික වේගයක් ලබාගතහොත් ඉක්මනින් වෙහෙසට පත්වී නිසිපරිදි තරඟය අවසන් කිරීමට ඔවුන්ට නොහැකි වන නිසාවෙනි. එමනිසා, මේ අනුව ඉවසීම ඉතාමත්ම වැදගත් ගුණාංගයක් බැව් අපට අප විසින් සිදුකරනු ලබන එදිනෙදා කාර්යයන් ඔස්සේම පැහැදිලි වනු ඇත. 

එසේම ආදරය, විවාහය, තරඟ පරාජය වීම්, විභාග අසමත් වීම්, ප්‍රේම සබඳතාවන් බිඳවැටීම්, අපකීර්තියට පත්වීම් යනාදී අවස්ථාවන්වලදී බොහෝදෙනා තම ජීවිතය හැරයාමට උත්සාහ කරනුයේ ඉවසීමක් නොමැතිව හදිසි තීරණ ගැනීම නිසාවෙනි. නමුත් වියයුත්තේ තම ජීවිතයේ කිසිඳු විටෙක හදිසි තීරණ නොගෙන ඉවසිලිමත්ව තම වැඩකටයුතු සිදුකර ගැනීමයි.

එසේම විවිධ රටවල වර්ණභේදය, ජාතිකත්වය වැනි කරුණු හේතුවෙන් රටවල් තුළ ආගමික, සංස්කෘතික වශයෙන් ජනතාවගේ ඉවසීම වර්ධනය කිරීම සඳහා විවිධාකාර වැඩසටහන් ලොව පුරා බොහෝ රටවල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එසේ පියවර ගෙන ඇත්තේ වර්තමාන සමාජීය මිනිසා සතුව ඉවසීම නොමැතිවීම සහ එය අත්‍යවශ්‍යයෙන්ම මිනිසා සතුව පැවතිය යුතුම ගුණාංගයක් වන නිසාවෙන් ය. එමෙන්ම මෙසේ වෙනස් වන ලෝකය තුළ බහු සංස්කෘතික සමාජයක් වර්ධනය වීම තුළින් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන් සතු ආකල්පයන්, අභිප්‍රායයන් වෙනස්වීම නිසා ඔවුන්ගේ වෙනස් වූ සිතිවිලි අවබෝධ කර ගනිමින් සංස්කෘතික වශයෙන් සාමකාමී සේම සහජීවනයෙන් යුතු සමාජයක් බවට පරිවර්තනය කිරීම මුළුමහත් සමාජයේම වගකීමක් ම වන්නේය. 

Top