හැන්දෑව, ප්‍රේමයක මතක සහ කවි පොතක් (372)

post-title

හැන්දෑව ගෙවෙන්නේ බෝ හෙමින් ය. පහුගිය දින ගණනාව ම වරින් වර අසනීප වෙමින් ද වරින් වර කාර්ය බහුල වෙමින් ද කාර්ය බහුල වීම හේතුවෙන් ම යළි යළිත් අසනීප වෙමින් ද ගෙවුණු දීර්ඝ වෙහෙසකර දිණ ගණනාව අවසන් ව ඇත. දැන් යළිත් සියල්ල නිසොල්මන් ය. මා ඒ නිසොල්මනට ප්‍රිය කරමි. එවන් නිසොල්මන් හැන්දෑවල ජීවිතේ දෙස නැවත හැරී බලන්නට ඇත් නම් මොනතරම් සුන්දර ද කියා ඔබට ද සිතෙනු ඇත. 

ජීවිතේ යනු සුඛ දුක්ඛ සංවේදනාවන් අතර මැදින් ඇදෙන ගමනකි. සුඛ ප්‍රහර්ෂයෝ මෙන් ම දුක්ඛ සංතාපයෝ ද ජීවිතයේ පහුවුණ මාවතේ අපමණ ය. ප්‍රේමයේ බිද වැටුම් සිත් රිදුම් අතර ඇදී ආ ජීවිතය අද ද ඇත්තේ හුදෙකලාව ය. එහෙත් ඒ හුදෙකලාව තුළ පවා ඇත්තේ රමණීයත්වයකි. මේ සවස මෙසේ ගෙවා දැමිය නොහැකිය. මම මගේ පොත් ගුලෙන් පොතක් තෝරමි. ඒ පොතත් සිතත් මතකයත් ප්‍රේමයත් එකම සරල රේඛාවක තබා විදින්නට ය. 

‘‘දුර ඈත ම ඉන්න ඔබ

ඔබ ඔබ මොබයිල් එකෙන් විස්තර

කලාතුරකින් දවසක

ඇවිත්

තෙත බරිත හවසක

දුර ඈත ලෝකෙකදි මං ගෙතුව කවි ගොන්න

මෙන්න මේ ලෝකෙදිම

ආයිමත් මට දෙන්න“

(උපුටනය- තෙමි තෙමිම මම- දමිත් උදයංග) 

දමිත් ගේ කවි පද සීරුවට ඇස් අතරින් ඇවිත් හදවතට බර වෙන්නේ මෙවන් සවසක ය. ඇගේ මතක ඒ කවි සමගින් සමාන්තර ගමනින් මගේ හදේ සියුම් තැන් වල හැගුම්බර ලෙස තැවරෙන්නේ මෙවන් මොහොතකය. බිද වැටුණු දහස් ගණන් පෙම් කතා හේතුවෙන් පෙම්වන්ත දෑස් වලින් ගැලූ කදුලු පොළොවට ද හැමූ සුසුම් සුළගට ද පා කළ දහස් ගණන් පෙම්වතුන් සරන මෙ බිම හෙටත් කොතෙක් නම් පෙම්වතුන්ගේ දෑස් තෙත් වනු ඇත් ද? ඒ තෙත් වන දෑස් අස විරහව දරා ගැනීමේ සංයමය මිසෙක විරහය ප්‍රචණ්ඩත්වයක් කිරීමේ පරමාධ්‍යාශය නම් කිසිදු දිනක ඇති නොවේවා කියා මම අද ද පතමි. මන්ද ප්‍රේමිය හැර ගියද ප්‍රේමය මියැදෙන්නේ නැති වග අප උගත යුතුය. දිය කදුරක් සේ ඒ ප්‍රේමය හුදෙකලාවේ වුව හිත තුළ මතක සමගින් ගලද්දි ද දැනෙන්නේ සුන්දර විදුමක් ම ය. 

‘‘හැන්දෑ සුළගක් වගේ 

සැරිසරනවා ඔබේ මතකය මා වටේ

දැන් මහා දුකක් නැති නමුත්

ගෝලාකාර ආකාසයේ

ඉදහිට පැතිර යන ලා විදුලි එලි වගේ

තවමත්

සැරිසරනවා ඔබේ මතකය මා වටේ“

(උපුටනය- තෙමි තෙමිම මම- දමිත් උදයංග) 

ප්‍රේමය අහිමිවීමේ වේදනාව දරාගත නොහැකි තැන බෝ තරුණ ජීවිත, ජීවිතේට නැවතුම තබන්නට ගන්නා තීරණ දිනෙන් දින වැඩිවෙයි. සැබෑව මම ද එය දනිමි. ඇගෙන් හිස් වූ හිත් බදුන දැන් හුදෙකලා හිස් කමින් මිරිකෙයි. එහෙත් ඒ සියල්ල අතරේ දුක වුව ද හීලෑ කර ගන්නට අප උගත යුතු බව මම දනිමි. ඉදින් ඒ පීඩා සෝක සංකා මම ලියා තබන කවියක තවරමි

‘‘නැවතුනත් 

සියලු සබදකම්

නොහැකි ද

කවියකින් මට ඔබ ව අමතන්න?

ඔබෙ ඇස් රැදෙන්නේ - දැන්

මේ මෙතන

මෙන්න මේ වචන උඩ“

(උපුටනය- තෙමි තෙමිම මම- දමිත් උදයංග) 

සැබෑව මේ සැන්දෑවේ ද මම එය උගනිමි. ප්‍රේමය බිද වැටුම නිසා හඩන සිය ගණන් පෙම්වතුනට ද දිවි සැරිය නිම කර ගන්නට සිතන තරුණ පෙළට ද මම නැවතත් කියමි. කිසිවක් ස්තිර නොවන ලෝකයක ප්‍රේමය ද හිමිවීමකින් කෙළවර කරන්නට හැකි යැයි අප සිත එක මොන තරම් මුසාවක් ද? ඒ නිසා අහිමි ප්‍රේමය නමින් ඇති වෙන වේදනාව කවර හෝ දෙයක් වෙත යොමු කරන්න. කවියක් ලියන්න. සිතුවමක් අදින්න. නොහැකි ම නම් ඔබේ ජීවිතයේ කරන්නට ආසා කරන දෙයක් වෙනුවෙන් ඒ වේදනාවෙන් බිහිවෙන ශක්තිය යොමු කරන්න. එසද ඔබ අනාගතයට ද යනු ඇත. අහිමි මුත් ප්‍රේමය ද හිත යට දිවි ගෙවනු ඇත. 

හැන්දෑවේ තෙත සුළං සමගින් මම දීර්ඝ හුස්මක් ගෙන දමිත් ගේ පොත වසා දෙනෙත් පියා ගමි. ප්‍රේමයේ මතකයන් එකින් එක සිහිනයෙන් මෙන් විමසමි. 

Top