ආලවන්තකම ළඳුනේ පාරමිතාවකි (354)

post-title

ප්‍රේමයේ පාරමිතාවන් පුරන්නට හැකි ගැහැණුන්ට විතරද. නැහැ... ආදරය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණ පිරිමින්ද අනන්තයි අප්‍රමාණයි. පිරිමි හිතකටත් පුලුවන් ආදරයේ පාරමිතා පුරමින් බලන් ඉන්න. ආත්මයෙන් ආත්මය ඒ වෙනුවෙන් කැප වෙන්න.

ඉතිං නුඹ සමඟත් මා එවන් පාරමිතාවක් පුරමින් සසර ගමනේ මේ දක්වා එන්න ඇති. හැමදාම හැම රැයකම මගේ හීනතුළ සැරිසැරුව එකම ගැහැණු රුව නුඹ පමණයි. මම නුඹට ඒ තරමටම ආදරය කළෙමි. ඇසිපිය වැසෙන හැම මොහොතකම නුඹේ සිනහව මා සැනසුවා. ඒ සැනසීම ආත්ම ගණනක සැනසීමක් වගේ මට දැනුනෙ.

නිදි යහනේදි හද කුටියට නුඹව කැඳවා ගත්තත් සැබෑ ලොවේදී මට නුඹව මගේ ළඟ රදවා ගෙන ආදරයෙන් හිස අත ගාන්නට, සදහටම නුඹ මගේ කර ගන්න නොහැකි තරමට මම අවාසනාවන්ත විමි. එහෙත් නුඹට පෙම් කළ තරමට නුඹ වෙනුවෙන් තව දුරටත් බලා හිදීමට එදා නුඹෙන් ලඳ ප්‍රේමයෙන් තවමත් සැනසෙන්න මට හැකියි. මගේ හද මන්දිරය තවත් කුමරියකට සරසන්න තරම් දෙයක් ඇතැයි මම නොසිතමි.

" හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී

ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකි

නීල නුවන් නෙතු නොපියා තනි යහනේ සිටී

ආලවන්තකම ලදුනේ පාරමිතාවකි"

නුඹව මට කොයිතරම් වටිනවාද. මම නුඹ ගැන කොයි තරම් සිතනවාද. ඒ කාරණා නුඹ අදටත් නොදන්නවා ඇති. කිසිවෙකුට නුඹ ගැන පුවත් නොකියා රහසක් සේ තියා ගනිමින් නුඹේ ආදරයෙන් හිත මුසපත් කර ගන්නේත්, නුඹේ වියෝවෙන් පසු දුක දරා ගන්නේත් තනිවමය. ඉතින් ඒ නුඹ කෙරෙහි ඇති අපරිමිත වු ප්‍රේමය නිසාවෙන්මය. සොදුරියේ, එදවස සිදුවත් බෝසතාණන් වහන්සේත් සසර එකදවසක්වත් අතනෑර යශෝධරාව සමඟ නිවන් දකිනා ජාති දක්වා ආවා සේම නුඹත් මා සමඟ පෙර භවයන් හැමතැම ආවා සේ මට හැගේ. එය මට හොදටම විශ්වාසය. 

නමුත් අවාසනාවකට අපි මේ භවයේ බොහෝදුර අත්පටලා යාමට තරම් වාසනාවන්ත නොවුනෙමු. මේ පූජනීය ආදරය තව දුරටත් නුඹට දීමට තරම් මට නොහැකි විය. නුඹ මගෙන් සමුගෙන අතපොවන බැරි මානයේ දුරකට ගොස් හමාරය. නමුත් නුඹේ ප්‍රේමය හිතේ දරාගෙන තාමත් මම එතැන එලෙසමය. නුඹේ මතකයන් පමණක් ආදරණීයව මතක් කරන්නට පමණක් මට වරම් ඇත. ඉතින් මගේ ජීවිතය තවමත් අමාවක අදුරේය. පේරැස් මුදු දමා නුඹ මා සන්තක කර ගැනීමට තරම් සුබ නැකතක් කවදාවත් මේ ජීවිත තුළ අපට හමුවූයේ නැත. ඉතින් සොඳුරිය එවන් ජීවිතයක් මගෙන් ඉල්ලා මා ළඟ හඩන්න එපා. මා ඒතරම් අසරණ කරන්න එපා. නුඹ දන්නවා නුඹේ කඳුළ මගේ දුබලතාවය බව. නුඹේ වියෝව මේ තරම් ඉවසුමෙන් දරා ගන්නා මා තවත් අසරණ නොකරනු මැනවි.

" පේරැස් මුදුවක් පළඳන නැකතක් නොයෙඳුනේ

මේ වස්දඩු රාවය මැද නුඹ හීනෙන් පෙනේ

පහලොස්වක සඳ ඉල්ලා මාස පෝය දිනේ

මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ"

නුඹව හීනෙන් දකින හැම රැයකම ඈතින් ඇසෙන වස්දඩු රාවය තවත් නුඹ ගැන මතකයන් වල මා සිරකරයි. ඉතින් හැම රැයකම නුඹ ගැන සිතා මම නිවෙමි.

ඉතින් නුඹට මතකද අපේ ඇස් එකට හමුවුණ මුල්ම දවස. හැම රෑකම ඒ දවස මගේ ඇස් ඉස්සරහ මැවෙනවා. එදා නුඹේ ඇස්වල තිබුණ අහිංසක බැල්ම ජීවිතේ හැමදාම රිදුමක් වගේ මතක තියෙයි. ඒ ආදරණිය නුවර අහස යටදි අපි අපිට හමුවුණේ. දළදා පෙරහැර දා ඒ දැල්වුණ පහන් එළියට නුඹේ වත දිලිසෙමින් තිබුණෙ. එදා මං පෙරහැර දැක්කෙ නුඹේ මුහුණෙ. මතකද එදායින් පස්සෙ අවුරුදු ගානක් අපි එකට දළදා පෙරහැර බැලුව හැටි. ඉතින් ඒක සොදුරු අතීතයක්.මතක ගොඩගහපු අතීතයක්. ඉතින් නුඹේ සුසුම් වල මතක විතරක් සදහටම මගේ කරගෙන නුඹ වෙනුවෙන් ජීවිතයම කැප කරන එක අකැපද. සොඳුරිය ඒ සියල්ල නුඹ කෙරෙහි වූ ආදරය නිසාවෙන්මයි. නුඹ කොහේ කොතැනක හෝ ඉන්නවනම් මා විදින වියෝව නුඹටත් දැනෙනවාද මම නොදනිමි. මා දන්නා එකම කාරණය, මේ භවයේ යළි කිසි දිනෙක අපි හමු නොවෙන බවයි. නුඹ සමුගත්තේ නුඹ නැති දාක මා ජීවත් වන්නෙ කෙසේදැයි මට කියාදී නොවේ. ඉතින් නුඹ නොමැති ජීවිතය මට අසීරුය. ඉතින් දරාගෙන මම යමි. ජීවත් වීමට නුඹේ මතකයත් ප්‍රමාණවත් බවට මම අදහමි. හැම රෑකම දැනෙන එකම හැඟීම මුලු ජීවිතයම හොරු අරගෙන ගියා කියන එක විතරයි .

"පේලි සැදී දළදා වැඳ මට හිනැහුණ රැයේ

මාලිගාව මගෙ වගෙ දැනුනා සොඳුරියේ

වාවගන්න බැරි තනිකම හිරකරගෙන ළයේ

ජීවිතයම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ"

ඉතිං ආදරයේ පාරමිතාව පුරන්න පිරිමි හිතකට බැහැ කියලා කොහොම කියන්නද. තමන්ගේ පෙම්වතියගේ වියෝව මේ ආකරායට දරාගෙන, කිසිම ද්වේශ සහගත හැගීමක් නොමැති පෙම්වතුන් මේ මිහිපිට තව දුරටත් ඉන්නවා කියන්න නන්දසේන කිඹියාහෙට්ටි මහතාගෙ පදවැල සාක්ශි සපයනවා. එවන් දරාගැනීම් සප්ත ස්වරයට මුහු කරන්නේ දර්ශන වික්‍රමතුංග මහතා. ඒ පිරිමි හිත තුළ කැකෑරෙන ඒ වේදනාව කොපමණද ඇය නොමැති දා ඒ ආදරය ප්‍රවේශම් කරගත්තෙව් කෙලෙසද කියා කියාපාන්නෙ හර්ශණ දිසානායකයන්ගේ ඒ ගීතවත් ශෝකි කටහඩිනි.

Top