යශෝධරාටත් පද හදන රටකට යශෝධරා ගැන ලියමි(288)

post-title

මාගේ ජීවිතයේ මා අදහන, අගයන සුවිශේෂී කාන්තා චරිතයක් වේ නම්, එහි ඉහළම ස්ථානය මා වෙන් කර ඇත්තේ පින්වත් යශෝධරාවන්ට යි. යෙහෙළියක් ලෙස, පෙම්වතියක් ලෙස, බිරිඳක් ලෙස හා මවක් ලෙස ඇගේ චරිතයට සම කළ හැකි තවත් ස්ත්‍රියක් මේ ලෝකයේ සිටී යැයි මා විශ්වාස නොකරන ප්‍රබල සත්‍යයයකි. මුහුණු පොතේ ප්‍රචාරය වූ යම් ප්‍රකාශයක් සහිත පෝස්ටුවක් මා සිත තදින් කම්පා කිරීමට සමත් විය. මෙම ස‍ටහන තැබීමට මා සිත මෙහෙයවනු ලැබුවේද එම ප්‍රකාශය යි.

“මිනිසුන්ට වඩා ආදරය හඳුනන්නේ සතුන් ය. සිදුහත් කුමාරයා ගිහි ගෙයින් නික්ම යන විට පපුව පළා ගත්තේ යශෝධරාව නොවේ කන්ථක යි.”

තම ආදරණීය ස්වාමියා ගිහි ගෙයින් නික්ම ගිය විට ළය පැළී යශෝධරාව මිය නොගියේ ඇයගේ සංසාරික ප්‍රේමය සහ දරාගැනීම නිසාවෙන්ම ය. එසේ නොමැතිව ඇගේ ආදරයේ අඩුවක් නිසා නම් නොවේ. බෝසතාණන් සුමේධ තාපසව බුද්ධ විවරණය ලබා ගන්නා විට දී සම්බුද්ධත්වයේ ශක්තිය වීමට ඇය ඇති කර ගත් ප්‍රාර්ථනාවහි ප්‍රතිඵලයක් ලෙසය. සංසාරය පුරාවටම උත්තරීතර යශෝධරාවගේ ආදරයට, පරිත්‍යාගයන්ට, කැපකිරීම්වලට මෙන්ම ඇය හෙළු කඳුළුවලට සමකළ හැකි කිසිවක් මේ තුන් ලෝකයේම නැත. කල්ප ගණනාවක් පුරා සතුට, දුක, ආදරය බෙදාහදා ගත් තම එකම ස්වාමියා වූ සිද්ධාර්ථයන් එසේ ඇයව හැරදා ගිහිගෙයින් නික්මෙන විට ළය නොපැළී නිහඬව දරාගත්තී ඒ පින්වත් යශෝධරාම ය. එම උත්තරීතර පතිනිය, සම්බුද්ධත්වයේ සෙවණැල්ල, කිසිම විටෙක නොවෙනස් වූ සම්බුධත්වයේ ශක්තිය මෙසේ පහත්කොට සැළකීම කිසිසේත්ම නොකළ යුත්තකි.

කාන්තාවක ලෙස ජීවිතයේ සිදුවන සෑම අවස්ථාවකදී ම ආදරය, පරිත්‍යාගය, කරුණාව, අවබෝධය, පවිත්‍රතාව, සහයෝගය ආදී සෑම උසස් ගුණාංගයකින් ම එක හා සමානව පරිපූර්ණ වූ ඇය බුදු දහමේ හමුවන විශිෂ්ටතම කාන්තා සංකේතය යයි. කටුගස්තොට සිරි ධම්ම හිමියන් විසින් රචිත යශෝධරා දේවියගේ ගුණ වයන අතිශය සංවේදී පද්‍ය පන්තියක් ඇගේ එම පිවිතුරු චරිතය පිළිබඳ යළි යළිත් සිහි කිරීමට මා සංවේදී කරනු ලැබීය. 

කපිලපුර සුප්‍රබුද්ධ රජතුමාගේ හා අමිතා බිසවගේ දියණිය වූ ඇය, උපන් විට බිම්බ රූපයක් මෙන් අතිශය රූප සම්පත්තියෙන් යුක්ත වුවාය. එම නිසාවෙන් ඇය බිම්බා දේවිය නම් වුවාය. පසුව යස පිරිවර දරන්නියක ලෙස අර්ථය ඇතිව යශෝධරා දේවිය නමින් නම් වූවාය. වරෙක ඇය රාහුල මාතාව වූවාය. ඇයම ගෞතම බුදු සසුනේ රහත් තෙරණියක වූ පසු භද්දාකච්චායනා තෙරණිය ලෙස සුපතළ වූවාය. 

සුන්දර ඇස සඳ බබළන අහස මත

පින්බර දිනෙක මම අම්මා කෙනෙක් වුන 

පෙම්බර මගේ පණනල බඳු සමිඳ ඔබ 

වෙන් වී ගියේ ලොවුතුරු බව සොයන්න ට 

යශෝධරා දේවියගේ සහ සිදුහත් කුමරුගේ සංසාරික ආදර කතාවට සම කළ හැකි තවත් ආදර කතාවක් මෙලොව නොමැති තරම්. දීපංකර බුද්ධ පාමුළ සිට නියත විවරණ ලබා ගෞතම බුදු සසුනේ බුදුවීමට සාරා සංඛෙය්‍ය කල්ප ලක්ෂයක් ව වීර්යය වඩනා එක වීර පුරුෂයකුගේ භාර්යාව වීමට යශෝධරාවන් ප්‍රාර්ථනා කළාය. “භාග්‍යවතුන් වහන්ස, මේ වැතිර සිටින තාපසතුමා වෙනුවෙන් මේ මල් පුජා වේවා.. අද මෙතැන් පටන් මේ උත්තමයාගේ සම්බුද්ධත්වයට ශක්තිය මම ම වේවායි!” ඇය පැතුවාය. සුමේධ තාපසයන් බුද්ධත්වයට විවරණය ලද මොහොතේ සිට එම උතුමාණන් පසුපසින් සෙවණැල්ල මෙන් පැමිණි අයෙක් වේ නම් ඒ පින්වත් යශෝධරාව පමණි. බුදුරජාණන් වහන්සේගේ අගසව් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් බුදුහිමියන් පසුපස එතරම් දීර්ඝ කාලයක් පැමිණ නැත. මෙය සංසාරික ආදරයක් වන්නේ එබැවිනි. 

සවුසත එතෙර කරවන්නට සංසාරෙ න්

දීපංකර මුනිඳුගේ බුදු කරුණාවෙ න් 

මතකද හිමියනේ විවරණ ලැබු වාරේ 

එදිනද සමිඳුනේ සිටියේ ඔබ ගාවි න් 



ගෞතම බුදුරජාණන්වහන්සේ ට බුදුවීමට පෙරුම්දම් පිරීමට පින්වත් යශෝධරාවන් ගෙන් ලැබුණු ශක්තිය, සහයෝගය මෙතකැයි කිව නොහැකි තරම් ය. අසංඛ කල්ප ලක්ෂයක් පුරාවට කිසිඳු ආත්මයක මොහොතකටවත් තම පෙම්වතා, ස්වාමියා අත් නොහළ, තනි නොකළ සංසාරික උත්තමාවිය ඇය යි. ඉතින් කෙසේ අප එම ආදරය මෙතකැයි කියා පවසන්නද? ඒ ගුණ මහිමය කෙසේ ලියා අවසන් කරන්න ද? 

වෙසක් පුන් පොහොය දින සිදුහත් බෝධිසත්වයන්ගේ උපත්තිය සිදු වූ වේලාවේම පින්වත් යශෝධරාවන් ද උපත ලැබුවා ය. සිදුහත් කුමාරයාගේ ශිල්ප දැක්වීම දා ප්‍රථම වරට දෙදෙනා හමුවූ අවස්ථාවේ ම ඔවුනොවුන්ට හිමි සංසාරික ආදරය හඳුනා ගත්තෝය. ආදරය, සෙනෙහස යනු මෙතෙක් යැයි පෙන්විය හැකි නම් ඊට හොඳම නිදර්ශනය වන්නේ සිදුහත් යශෝධරා ආදර කතාව යි. යම් දිනෙක තම ආදර ස්වාමිපුරුෂයන් තමා හැරදමා බුදුබව පතා ගිහිගෙයින් නික්ම යන බව යශෝධරාවන් හොඳින්ම දැන සිටියා ය. නමුත් ඔහුව නැවතීමට ඇයට කිසිම උවමනාවක් නොවීය. සංසාරය පුරා බුදුබව පතා ඈ කළ අසීමිත කැපකිරීම් හි අවසාන අග්‍රගන්‍ය කැපකිරීම එයම විය. ගෞතම බුදුන්වහන්සේ සංසාරයේ පාරමී පුරන විට වරෙක එක් පාරමිතාවක් උදෙසා ඇයව දන්දීමට සිදු විය. නමුත් කිසි වෙනසකින් තොරවම සිත සතුටින් ඇය බුදු වීමට අවශ්‍ය පාරමී ධර්මය රැකීමට සහාය වුවාය.

දන්නා නමුත් හැර යන බව යම් දිනෙ ක 

නෑ නවතන්නේ ඔබ යන මඟ කිසිම විට 

පිසදා කඳුළු මදහස නඟමින් නිබඳ 

බල බල හිදිමි බුදු වී එනතුරුම අද 

ආත්මයක් ආත්මයක් පාසා සෙවණැල්ල මෙන් තම හිමි පසුපස ගමන් කළ යශෝධරාවන්ගේ ආදරයේ නිමක් නැත. ඇය කිසිමවිටෙක සිල් රකිනා බෝධිසත්වයන්ගේ සීලයට, බවුන් වදන බෝධිසත්වයන්ගේ භාවනාවට බාධාවක් නොවුවා ය. එයට සිත සතුටින් ශක්තියක් වූවා පමණි. කිසිඳු ආත්මෙක වේදනාවේදී සිය ස්වාමියා හැර නොගියා ය. එම ගුණ කියා නිම කළ නොහැකිය. සංසාරය පුරාවට තම ආදරයේ නාමයෙන් යශෝධරාවන් හෙලූ කඳුළු මහා සාගරයටත් වැඩි යැයි සඳහන් වේ. එක් කිඳුරු ආත්මයක බ්‍රහ්මදත් රජු විසින් විඳින ලද ඊතල පහරකින් සිදුරු වූ කිඳුරු හදවත අභියස කිඳුරියක් ව උපන් යශෝදරාවන් හෙලූ කඳුළු ගංගාව නිසාවෙන් ගන්ධමාන පර්වතයේ මල් සියල්ල බිම වැටුණු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව ඇත. තම ආදරයේ නාමයෙන් කළ පතිවෘත්තතාවයේ සත්‍යක්‍රියාවෙන් සක්දෙවිඳුගේ දිව්‍ය ඖෂධයෙන් කිඳුරාට යළි පණ ලබා ගැනීමට තරම් එම ආදරය ශක්තිමත් විය. ඇත්රජව උපන් බෝධිසත්වයන් තම දළ දන් දීමෙන් උපන් වේදනාව නිහඬව දරා සිටින විට, තම ස්වාමියාගේ හොඩවැල ළමැදෙහි තබාගෙන කඳුළු සැලූ ඇත් රැජින යශෝධරාවන් ය. තම ස්වාමියා වෙනුවෙන් සියලු සැප අතහැර වනගත වූ ආදරබර පතිනිය මෙන්ම තම ස්වාමියා පාරමී දම් පිරීමට තම දරුවන් පවා දන් දෙද්දී සතුටින් සාදුකාර දුන්නී ද ඒ උත්තරීතර යශෝධරාවන් මය.

සුසිනිඳු කසී සළු හැරදා මෙමා අද 

හණ සළු දරනවා සමිඳුනි මැඳුර මැද 

ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද 

කය මැඳුරේ නමුදු සිත ඔබ ළගය අද 

තම ස්වාමියා යම් දිනක තමා හැර යන බව යශෝධරාවන් දැන සිටියත් රාහුල පුතුන් උපන් විගසම එය සිදු වේ යැයි ඇය දැන නොසිටියා ය. එම පුවත් ශ්‍රවණය වූ ඇය දැඩි ලෙස කම්පාවට පත් වූවා ය. සිද්ධාර්ථයන් තම කෙස් කළඹ කපා සියලු සැප අතහැර කසාවතින් සැරසී, දිනයට එක වේලක් පමණක් ආහාර ගනිමින් බවුන් වඩන්නට වීර්යය වන බව දැනගත් යශෝධරාවන් ද එම අවස්ථාවේම සිය දිගු කෙස් කළඹ කපා, සියලු සැප අතහැර කසාවත් දරා ගත්තා ය. “මාගේ ස්වාමියා ගේ විමුක්තියට මා බාධාවක් නොවේවා.. මා සිහි නොවේවා.. එම උත්තමයන්ගේ ගමන සඵල වේවා!” යි පිවිතුරු සිතින් ප්‍රාර්ථනා කළා ය. 

සිදුහත් මහා බෝසත් හිමි රජාණෙනි 

රන් මිණි මුතු ද අගයක් නෑ ස්වාමිනි 

ඔබ සම්බුදුව පරදා මාරු දයාවෙනි 

එතෙරෙට ගන්න මාවද හිමි ගුහාවෙනි 



හැරගිය ස්වාමියා වෙනුවෙන් මෙසේ කම්පා වුන, නමුත් කිසිම විටෙක බාධාවක් නොවී සිතින් අත් නොහැර මඟ බලා සිටි ශ්‍රේෂ්ඨ පතිනියකි යශෝධරා! ගෞතම බුදුන්වහන්සේ වසර හතකට පසුව සම්බුද්ධත්වයට පත්ව කිඹුල්වත්පුරයට පැමිණි අවස්ථාවේ ඇයගේ ගුණ මහිමය නිසාවෙන්ම බුදුහු ඇගේ සිරියහන් ගබඩාවට වැඩියහ. ඉදින් වසර ගණනාවකට පසු දැකි තම ස්වාමියා දරාගත නොහැකි වූ යශෝධරා බුදු සිරි පතුළ අභියස සංසාරයක් පුරා ඇය විඳි දුක් හඬා අවසන් කළා ය. ගෞතම බුද්ධ ශාසනයේ බුද්ධ ශරීරය ස්පර්ශ කළ ස්ත්‍රීන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. ඒ ප්‍රජාපති ගෝතමී උත්තමාවිය හා පින්වත් යශෝධරාවන් ය. එදින යශෝධරාවන් පසුවන වේදනාව නිසාම බුදු සිරිපතුළ ඇයට ස්පර්ශ නොවූවා නම් ඇයගේ ළය පැළී මියැදෙන බව බුදුන්වහන්සේ දැන සිටියහ. ඉතින් ඇය විඳි වේදනාවන්ට කෙසේ නම් උපකල්පන ඉදිරිපත් කරන්න ද?

දරණා ලොවේ හැම යසසින් පිරී ගිය 

හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වති ය 

භව දැහැනේ බැඳුනු සිලිලා මද මති ය 

මම වෙමි යසස් හිමි රාහුල මවුතුමි ය 

සංසාරය පුරාවටම තමන්වහන්සේට අස්වැසිල්ලක්, සහයෝගයක් ව උන් යශෝධරාවන්ගේ ගුණ මහිමය අගය කරමින් බුදුන් වහන්සේ සඳ කිඳුරු ජාතකය දේශනා කර යශෝධරාවන්ගේ සිතට සැනසීමක් එක් කළ සේක. බුදුහු “සම්බුද්ධත්වය මෙතරම් ඉක්මණින් ලබා ගැනීමට මාහට උපකාරී වූයේ යශෝධරාවයි! ඇය බොහෝ ගුණවලින් පරිපුර්ණ යි! යනුවෙන් පවසමින් උන්වහන්සේගේ සිතේ පින්වත් යශෝධරාවන් ට වන ගෞරවය මැනවින් පෙන්වා දුන්නහ. පසුකලෙක මෙහෙණි ශාසනය ආරම්භ වූ විට ප්‍රජාපතී තෙරණිය සමීපයේ පැවිදි වූ යශෝධරා උත්තමාවිය එක් මොහොතෙන් කල්ප අසංඛ ලක්ෂයක් දිටීමට හැකි අභිඥා සහිතව අරහත් මහා මාර්ග ඵලයට පත් වුවා ය.

ගෞතම මුනිදුගේ සසුනේ වැඩ හිඳිමින් 

මරු පරදවා අරහත් බල පතුරවමින් 

හඬනා ශෝක කුල් හැම උඳුරා දමමින් 

බබළමි අම නිවන් පුර සුව සැප ලබමින් 

දම් කඳන තලාවේ .. අමවරා පැතිරුණා.. විහිදෙනා බුදු රැසින්.. මගේ සිත සැනසුනා .. ලොව්තුරා බුදුවරුන් පසසනා දුක දරා පිරිනිවන් දුටුව මම .. කපිලපුර යශෝධරා..!!!

බුදු බව පැතූ බෝධිසත්වයන් සමඟ කල්ප ගණනාවක් එකට සැරිසැරූ එම පින්වත් පාරිශුද්ධ උත්තමාවිය සංසාරය පුරාවටම සම්බුදුවරුන් විසි හතරදෙනෙකුගෙන් ආශීර්වාද ලබාගැනීමට තරම් පින්වන්ත වූවා ය. එකී සෑම ආත්මයකම සිතින් වත් කඩ නොවූ ඇගේ පතිවෘත්තතාව, නොවෙනස් වූ සෙනෙහස, අපිරිමිත දරාගැනීමට සම කළ හැකි තවත් ස්ත්‍රියක් මේ තුන් ලෝකයේම පහළ වී නැත. බෞද්ධ ස්ත්‍රියකට තම ජීවිත ගමනේ ආදර්ශයට ගත හැකි, ගත යුතු, වන්දනා මාන කර පින් රැස් කර ගත හැකි නිකෙලෙස් ස්ත්‍රියක් වේ නම් ඒ උත්තරීතර යශෝධරාවන් පමණකි. 

Top