පාපන්දු ලෝලීනගේ ප්‍රේමවන්තයා ජීවන පිටියෙන් නික්ම යයි

post-title

පාපන්දු ලෝලීන් සුවහසක් දෙනා එදා මෙදා තුර අපමණක් ආදරය කළ පාපන්දු ක්‍රීඩකයන් සිය ගණන් නැත. මුලු ලෝකයේ ම ජනාදරයට පත් වූ එවන් ක්‍රීඩකයන් අතර අමතක කළ නොහැකි ක්‍රීඩකයන් ලැයිස්තුවේ ඉහළින්ම රැදුණු අමරණීය ම ක්‍රීඩකයා ආජන්ටියානු පාපන්දු කණ්ඩායම නියෝජනය කළ අයෙකි. සුදු පසු බිමේ  ලා නිලැති ඉරෙන් හැඩවූ  ක්‍රීඩා ඇදුමෙන් සැරසී එක්දාස් නවසිය අසූගණන්වල සමස්ථ ප්‍රේක්ෂකාගාරයේ ම දෑස් ආකර්ෂණය කර ගනිමින් කෙළිබිම තමනට නතුකර ගත් ඔහු අන් කවරෙක් හෝ නොව මැරඩෝනා ය. 

එහෙත් ඒ අපූර්ව ක්‍රීඩකයා සිය දිවිය පුරාවෘත්තයක් බවට ප්‍රකට කරමින් අද ජීවන කෙළි මඩලෙන් සදහටම සමුගත්තේ සුවහසක් ක්‍රීඩා ලෝලී ජනකායකගේ සිත් තුළ වේදනාවේ සුසුම් හා කදුලු තවරමින් ය.

1960 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ 30 වන දින ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හි දී උපත ලද ඩියාගෝ ආර්මන්ඩෝ මැරඩෝනා සොහොයුරියන් සිවු දෙනෙකුට බාල සොහොයුරා විය. ගැහැණු දරුවන් සිවු දෙනෙක්ට පසුව ලද පිරිමි දරුවා වීම හේතුවෙන් ම පවුලේ නොමද ආදරය දිනා ගන්නට ද මැරඩෝනාට හැකි විය.  කුඩා කල පටන් ම පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කළ මැරඩෝනා අවුරුදු අටක් වන විට සම්පූර්ණයෙන් ම පාපන්දු ක්‍රීඩාවට සිය සිත යොමු කිරීම අරඹා ඇත. ඒ ගමන් මග තුළ වරින් වර විවිද කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කර වර්ෂ 1979 දී පමණ ආජන්ටියානු විස්සෙන් පහළ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් බවට ද පත් වෙයි. මැරඩෝනා ලොවම ආදරය කළ ක්‍රීඩකයා බවට පත් වන්නේ 1986 වසරේ ආජන්ටියානු කණ්ඩායමට ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීම සදහා  එම කණ්ඩායමේ නායකයා ලෙස  ජයග්‍රහණය වෙත කණ්ඩායම මෙහෙයවීමත් එම තරගාවලියේ දී ඔහු දැක්වූ සුවිශේෂී තරග දක්ෂතාවන්  සමගින් ය.  

1986 වසරේ පැවති මෙම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමස්ථ ආජන්ටියානුවන්ට ම වඩාත් වැදගත් තරගයක් ව පැවැතියේ 1982 දී පැවැති ලෝක කුසලාන තරගාවලිය තුළ බලාපොරොත්තු නොවූ ලෙස අසාර්ථක වූ බැවිනුත් ඒ අසාර්ථකත්වය ජය ගැනීම ට නම් මෙම 86 ලෝක ශූරතාව ජය ගැනීම අත්‍යවශ්‍ය යැයි ඔවුන් විශ්වාස කළ නිසාත් ය. එම ලෝක කුසලාන පාපන්දු තරගයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ආර්ජන්ටියානු කණ්ඩායමට තරග කරන්නට සිදුවූයේ එංගලන්ත කණ්ඩායම සමගය.  ඒ වන විට දේශපාලනිකව ද එංගලන්තය හා ආජන්ටිනාව අතර බොහෝ මතබේද පැවැති බව ලෝකයට ම නොරහසක් ව පැවතුණි. එවන් තත්වයක් තුළ මෙම රටවල් දෙක කෙසේ තරගය වෙනුවෙන් සටන්කරාවිද යන්න පිළිබද සමස්ථ ලෝකවාසී පාපන්දු ලෝලීන්ම දෑස් දල්වා බලා හිදිද්දී තරගය ඇරඹී ඇත. 

කෙසේ වුව ද මෙන් ම මෙයට පෙර 1966 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගයේ දී ද අර්ධ අවසන් පූර්ව තරගයට ද මුහුණ දී ඇත්තේ එංගලන්තය හා ආජන්ටිනාව ය. එහිදී එකිනෙකා හා තරග වැදුණු මෙම කණ්ඩායම් දෙක මුහුණ දුන් එම තරගය යම් අයුරකින් මතභේදාත්මක තරගයක්ව තිබුණි. එහෙත් එයින් ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමය. එදා ආර්ජන්ටියානු කණ්ඩායම මුහුණ දුන් ඒ අපකීර්තිය වෙනුවෙන් මෙවර තරග බිමේ දී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමේ ඒකායන පරමාර්ථය මැරඩෝනා තුළ ද ආර්ජන්ටියානුවන් තුළ ද තිබී ඇත.  

තරගය මුල් භාගය අවසන් වූයේ 0-0 ලෙසය. නමුත් දෙවන භාගයේ 51 වන විනාඩියේ දී මැරඩෝනා ගෝලයක් වාර්තා කරන්නේ සිය අත භාවිත කරමින් ය. එසේ අත භාවිත කර ගෝලයක් වාර්ථා කරත් එය විනිසුරුවන්ට අපහැදිලි වීම නැතහොත් පැහැදිලිව හදුනාගත නොහැකි වීම හේතුවෙන් එම ගෝලය ලකුණක් බවට පත්ව ඇත. එය පසු කළෙක දෙවියන්ගේ අත මැරඩෝනාට ඇති බව පවසන තරමට ම ජනප්‍රිය ව ඇත. අදටත් එම ගෝලය දෙවියන්ගේ හස්තය ලෙසින් ක්‍රීඩාලෝලීන් හා විචාරකයන් විසින්  නම් කරයි.  තරගයේ එම සිදුවීමෙන් විනාඩි කිහිපයකට පසු එනම් 55 වන විනාඩියේ දී සියවසේ විශිෂ්ටතම ගෝලය වාර්ථා කරන්නට මැරඩෝනා සමත් වීමත් සමග එම තරගය අවසන් වූයේ 2-1 ක් ලෙස ආර්ජන්ටියානුවන්ට ජය අත්කර දෙමිනුයි. ඒ මෙතෙක් එංගලන්තය හමුවේ නැතිව තිබූ තම අභිමානය ආජන්ටියාවට ගෙන එමින් ය. 

එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ද බෙල්ජියමට එරෙහිව මැරඩෝනා විසින් ගෝල දෙකක් වාර්ථා කරනු ලැබීමෙන් ආර්ජන්ටියානුවන් අවසන් තරගය කරා ගෙන යන්නට මැරඩෝනාට හැකි විය. ඉන් පසුව ඔවුන් අවසන් තරගයේ මුහුණ දුන්නේ 1954 හා 1974 දී පාපන්දු ලෝක ශූරයන් වූ ජර්මනිය සමගයි. උද්වේගකර තරගයක් අවසන් වූවේ ආර්ජන්ටියානු කණ්ඩායම තරගය ජයග්‍රහණය කරමින් ලෝක ශූරතාව දිනා ගැනීමත් සමගය. එම තරගාවලියේ ගෝල පහක් වාර්ථා කළ මැරඩෝනාට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව ද හිමිවිය. අද ද බොහෝ විචාරකයන් ප්‍රකාශ කරන්නේ 1986 ලද එම ජයග්‍රහණයේ වැඩිම හිමිකාරිත්වය ලැබිය යුත්තේ මැරඩෝනාට බවය. 

ඉන්පසුව නැපෝලි නම් ඉතාලි ක්‍රීඩා සමාජය සමග එක්ව ලීග තරගාවලීනට සහභාගි වූ මැරඩෝනා 1987 හා 1990 යන වසරවල සෙරී ඒ ලීග ශූරතාවන් ද 1987 වසරේ ඉතාලි කුසලානයත් 1991 දී යූෆා කුසලානයත් දිනා ඇත. කොතෙක් දක්ෂ ක්‍රීඩකයෙක් වුව ද වරින් වර ඔහුට මත්ද්‍රව්‍ය හා තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් තරග බිමින් ඉවත් වන්නට සිදු වූ අවස්තා ද ඇත. විශේෂයෙන් ම 1991 වසරේ තහනම් උත්තේජක භාවිතයට වරද කරුවෙක් ව මාස 15ක තරග තහනමකට ද ලක්විය. අවසානයේ දී සිය රට වෙනුවෙන් ලෝක කුසලාන තරග හතරකට තරග වදිමින් ගෝල 34ක් රැස් කළ ඔහු සිය තිස් හත් වැනි උපන්දිනය දා එනම් 1997 වසරේ දී වෘත්තියමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවෙන් සමු ගනියි. 2000 වසරේ දී අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) විසින් “සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා” ලෙසින් බ්‍රසීලයේ පේලේ හා සම තැන මැරඩෝනාට ප්‍රදානය කර ඇත. 

යළිත් මැරඩෝනා ආජන්ටියානු ජාතික කණ්ඩායමට එන්නේ 2008 වසරේ දී ය. ඒ තරගකරුවෙක් ලෙස නොව ජාතික සංචිතයේ පුහුණු කරුවා වශයෙන් ය. එතැන් පටන් පුහුණුකරුවකු සේ කටයුතු කරන මැරඩෝනාගේ මග පෙන්වීම මත 2010 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාම පැමිණෙන්ට ආජන්ටියානු කණ්ඩායමට හැකි විය. නමුත් එම අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ ගෝල 4-0 ක දැවැන්ත පරාජයක් ලැබීමට ආජන්ටියානු කණ්ඩායමට සිදුවීමත් සමග මැරඩෝනා සිය පුහුණුකාර තනතුරින් ඉවත් වේ. ඉන්පසුව එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය යේ සහ මෙක්සිකෝවේ ක්‍රීඩා සමාජ කිහිපයක පාපන්දු පුහුණුකරුවකු සේ කටයුතු කර ඇත. 

කෙළිමඩල සැරසූ මේ ක්‍රීඩකයා විවාහ ව සිටියේ ක්ලෝඩියා විසෆනේ සමඟින් ය. 1984 දී විවාහ වූ ඔවුන්ට දල්මා සහ හියැනිනා නමින් දියණියන් දෙදෙනෙක් සිටියදී මැරඩෝනා - ක්ලෝඩියා දෙපළ 2004 වසරේ දී වෙන්ව ඇත. අවසන මැරඩෝනා හෘදයාබාධයකින් මිය යන විට ඔහු පදිංචිව සිට ඇත්තේ බුවනෝර්ස් අයර්ස් හි පිහිටි නිවසේ ය. මීට දෙසතියකය පමණ පෙර මැරඩෝනාගේ මොළයේ ලේකැටියක් හිරවීම හේතුවෙන් ඔහුට සැත්කමක් කර නිවසට ගෙන අවුත් දින කිහිපයක් ඇතුළත මෙම සදාකාලික නික්ම යාම සිදුව ඇත. 

ඔහු ආජන්ටිනාවම ආදරය කළ ගරු කළ ක්‍රීඩකයෙක් වූ බව වඩාත් තහවුරු වන්නේ මැරඩෝනා ගේ සමුගැනීම සමග ආජන්ටිනාවට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කරන්නට එහි ජනාධිපතිවන ඇල්බර්ටෝ පර්නැන්ඩස් තීරණය කර තිබීමත් සමගය. එපමණක් නොව එතුමා ප්‍රකාශ කර ඇත්තේ මැරඩෝනා යනු ආජන්ටියානුවන් ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ශ්‍රේෂ්ඨයා යනුවෙන් ය. 

 

Top