ලෝකෙටම පේන්න හිනාවෙන්න... ඒත්, අඬන්න එපා (255 වන ලිපිය)

post-title

හුස්මකට වෙනසක්...

ලෝකෙටම පේන්න හිනා වුණාට කමක් නෑ. ඒත් ලෝකෙටම පේන්න අඬන්න අවශ්‍ය නෑ. මොකද ප්‍රශ්නය විසඳන්න එන ඇතැම් අය ම තමයි යනකොට ප්‍රශ්න පත්තරයක් ම අතට දීල යන්නෙත්...

මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. 

ජීවිතේ සතුට කියන දේ රැඳිලා තියෙන්නේ සිනහව මතයි කියලා ඔබ හිතනවා ද?

ඔය ප්‍රශ්නයට බහුතරදෙනාගේ පිළිතුර, ඔව් වෙන්න පුළුවන්. ඔබත් ඒ අතරින් එක්කෙනෙකු වන්නටත් පුළුවන්. 

ඉතින් එහෙම බලනකොට ජීවිතයේ සතුට කියන දේ රැඳිලා තියෙන්නේ සිනහව මතයි කියලා කියනවා නම් ඇත්තටම ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඒක එහෙම වෙනවා නම් ඒ කියන්නේ සතුට කියන දේ ඇත්තටම රැඳිලා තියෙන්නේ සිනහව මත නම් ඇතුළාන්තයෙන් කෑ ගහල අඬන්න පුළුවන් තරමේ දුකක් වේදනාවක් උහුළගෙන මතුපිටට මහ හයියෙන් හිනාවෙලා ඉන්න මිනිස්සු ඇත්තටම ඉන්නේ සතුටින් කියලා කියන්න පුළුවන් ද? කොහොමටවත් බැහැ. හැබැයි ඒ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්. ඇයි ඒ? ඒ තමන්ගේ ජීවිතයට දරාගන්න බැරි තරමේ දුකක්, කලකිරීමක් දැනුන විට ලෝකෙට ම පේන්න කෑ ගහලා අඬනවා වෙනුවට ලෝකෙකට ම කඳුළු හංග ගෙන හැමෝටම පේන්න හිනා වෙලා ඉන්න තරම් හයිය හිතක් ළඟ තියෙනවට. ෆේස් බුක් වෝල් එකේ, ස්ටෝරි ඇතුළෙ, ස්ටේටස් තුළ තමන්ගේ මුළු ජීවිත කතාවම ලියලා කියලා රටට ලෝකෙට විහිළුවක් වෙනවා වෙනුවට රටේ ලෝකේ කතා ඔක්කොම අහගෙන තමන්ට ම කියලා කතාවක් තනියම ගොඩ නගා ගන්න ගේමක් ගහන එකට. 

සමහරවිට ඔබ ඔබේ තත්වය, ඔබේ වේදනාව ලෝකෙට කියලා, තවකෙකුට පෙන්නලා ඒ මොහොතට ඔබ අස්වැසිල්ලක්, සැනසීමක් බලාපොරොත්තු වෙනවා වන්නට පුළුවන්. ඔව්, ගොඩක් වෙලාවට අපි ඒ වගේ දේවල් කරනවා, කරන්න පෙළඹෙනවා, මොකද තුවාලයේ වේදනාව දන්නේ තියෙන කෙනා මිසක් වටේට ඉඳගෙන බෙහෙත් කියන අය නොවන නිසා. හැබැයි එක දෙයක් මතක තබා ගන්න. ඔබේ හිනාවත් සමග හිනාවෙන්න ඔබ වටේට සමහරවිට කව්රුවත්ම නැති වෙන්නට පුළුවන්. ඒත් ඔබේ කඳුළුත් එක්ක හිනාවෙන්න ඔබ වටේට හිතා ගන්නවත් බැරි තරම් පිරිසක් ඉන්නවා වෙන්නට පුළුවන්.

1954 ඇමරිකාවේ උපත ලද ඔප්රා වින්ෆ්‍රේ පිළිබඳව ඔබ අහලා තියෙනවා ද

බොහෝදුරට ඔබ දන්නවා ඇති. ඔප්රා වින්ෆ්‍රේ කියන්නේ ඇමරිකානු මාධ්‍ය හිමිකාරිනියක්. ඒ වගේම ඇය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක්, රංගන ශිල්පිණියක් වගේම නිෂ්පාදකවරියක් ලෙසටද මේ වන විට කටයුතු කරගෙන යනවා. ඉතින් ලෝක ප්‍රකට ඉහළම තලයකට ගිය කාන්තාවන් කිහිපදෙනා අතරට වින්ෆ්‍රේ මේ විදිහට එකතු වුණාට ඇගේ අතීත කතාව නම් ඒ තරම් සුන්දර එකක් නෙවෙයි. 

1954 ජනවාරි 29 දා මිසිසිපි වලදී ඇය මේ ලෝකෙට බිහි වෙන්නේ පියෙකු නොමැති බාල වයස්කාර මවකගේ දරුවෙකු ලෙසටයි. කුඩා කාලයේ පටන්ම හතරවටින් තෙරපුණු ආර්ථික අපහසුතා නිසාම පාසල් යාමට අවශ්‍ය ඇඳුමක් මසාගන්නවත් වත්කමක් නොමැති නිසා ගෝණි කිහිපයකින් මහන ඇඳුම් ඇඳගෙන පාසලට යන්නට ඇයට සිදු වෙනවා. ඒ හේතුවෙන්ම ඇයට සිය පන්තියේ සගයන් අතර උසුළු විසුළුවට ලක් වන්නටද වැඩි කල් ගියේ නෑ. මේ අතර ඇයට වයස අවුරුදු නවය පමණ වන විට මේ කිසිත් නොතේරෙන කුඩා වින්ෆ්‍රේ සිය පවුලේ සාමාජිකයන් අතරින්ම කිහිප වතාවක්ම දූෂණයට ලක් වෙනවා. ඉතින් වරින් වර සිදු වූ මෙම අතවර හේතුවෙන් වයස අවුරුදු 14දී බාලවයස්කාර ගැබිණියක් බවටද ඇයව පත් වෙනවා. පසුව නොමේරූ ළදරු උපතක් හේතුවෙන් ඇගේ බිළිදා අවසන් හුස්ම හෙළන්නේ ඔහු මෙලොවට ඉපදී සුළු මොහොතකට පසුවයි. 

ඉතින් මොහොතකට හිතලා බලන්න අවුරුදු 14ක් පමණ කුඩා වයසකදී මේ තරම් විශාල දුක් ගැහැට ප්‍රමාණයකට මුහුණ දුන් ඔප්රා වින්ෆ්‍රේ ඇගේ පාසල් ගමන නවත්වන්නේ නෑ. ඇය කොහොමහරි ඇගේ පාසල් ගමන දිගටම කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇයට අවුරුදු 17දී රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. ඇය ටෙනිසීස් කළු ජාතික රූ රැජින තරඟයෙන් ජය ගන්නවා. පසුව WVOL ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති නිවේදිකාවක්, WLAC-TV රූපවාහිනී සේවයේ නිවේදිකාවක් විදිහටත් වැඩ කරන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඇමරිකානු ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියෙන්ම තියෙන The oprah winfrey show වැඩසටහන 1986-2011 දක්වා ඇය විසින් සිදු කරන ලද්දක් වන අතරම පසුව oprah winfrey network සහ Harpo productions යන ආයතනයන්හි සභාපතිධූරයටත් ඇයව තේරී පත් වෙනවා. ඉතින් ඇය එතනින් නවතිනවා ද? නැහැ. ඇය 20වන සියවසේ ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරට එක් වන්නේ ඇගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ලෙස වාර්තා කරමින්.

ඒ වගේම ඇය අප්‍රිකානු සම්භවයක් සහිත ලෝකයේ ධනවත්ම කාන්තාව වන අතර ‘‘ලොවට වඩාත්ම බලපෑමක් කළ හැකි කාන්තාවයන විරුදාවලිය ද ඇයට හිමිවෙනවා.

ඉතින් ඔබ දැන් හිතන්න මේ දුක, වේදනාව කියන දේ කෙනෙක්ගේ ගමනට බාධාවක් වෙනවා නම් අද මට මේ ලිපියට වින්ෆ්‍රේ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නට පුළුවන් වෙනවා ද? ඒ වගේම ඇයට ජීවිතයේ මුල්වියේදී ලෝකෙටම නොපෙන්වූ කදුළු කතාවක් තිබුණත් පසුව ඇයට ලෝකෙටම පේන්නට හිනා වෙන්නට පුළුවන් තරමේ ශක්තියක් ඈ තුළින්ම ඇය ගොඩ නගා ගන්නවා. තමන් ඉපදෙනකොට තියෙන ආර්ථික මට්ටම, ඒ පවුල් පරිසරය කෙනෙක්ගේ දියුණුවට ඉදිරි ගමනට බාධාවක් නොවන වග ඇය ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වනවා. ඒ වගේම මේ ලෝකෙ මනුස්සයෙක් ලබන්නට පුළුවන් ඉතාමත් දුර්වලම දේ... දරාගැනීම කොයිතරම් සීමා මායිම් නැති දුරකට තමන්ව රැගෙන යනවාද කියලත් ඇය ඔප්පු කරලා අවසානයි. 

ඉතින් ඔබට විසඳගත නොහැකි, දරාගත නොහැකිම ප්‍රශ්නයක් තියෙනවානම් එය ඔබ තනිවම දරාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඊට අවශ්‍ය නිසි උපදෙසකට යොමු වෙන්න ඔබ දෙපාරක් හිතන්න අවශ්‍යත් නෑ. අඩුමතරමේ ඔබ එය ඔබේ විශ්වාසවන්තයෙකුට පවසන්න. මොකද සමාජය ඉස්සරහා ඔබ ඇඬුවොත් ඔබ අඬන්නේ ඇයි කියලා කව්රුවත් දන්නේ නෑ. ඒ වගේමයි සමාජය ඉස්සරහා ඔබ හිනා වුණොත් ඔබ හිනා වුණේ ඇයි කියලා කව්රුවත් දන්නෙත් නැහැ. ඔවුන් දන්නේ එක දෙයයි. ඒ... ඔබ අඬනවා හෝ හිනා වෙනවා කියලා විතරමයි. ඉතින් ඒවට හේතු කවුරුත් අහන්නෙත් නැහැ, ඒ හේතු කාටවත් වැඩක් වෙන්නෙත් නැහැ. ඒක නිසා ලෝකෙට පේන්න හිනා වුණාට ලෝකෙට පේන්න අඬන්න ගියදාට ඔබේ ඒ weak point එක තවකෙක් මාරම ශක්තිමත් ආයුධයක් බවට පත් කර ගන්නට පුළුවන්. ඒක නිසා සමාජය ඉදිරියේ හුස්මකවත් වෙනසක් නොපෙන්වා ජීවත් වෙන්නට ශක්තිමත් වෙන්න. මොකද ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න එන ඇතැම් අයම තමයි පසුව ඔබටවත් හිතා ගන්නට බැරි තරමේ ප්‍රශ්න පත්තරයක්ම ඔබේ අතට දීල යන්නෙත්. ඒ වගේම ඔබ වේදනාව, දුක යටපත් කර ගැනීමට තෝරගන්න ඇතැම් මාර්ගයන්ම තමයි ඔබව කබලෙන් ලිපට වට්ටල පමණක් නොවෙයි අළු කරලම දාන්නත් සමත් වෙන්නේ. ඉතින් ප්‍රශ්නෙකට විසඳුම ඔබට තනිවම සොයා ගන්නට බැරි වුණාට කමක් නැහැ. හැබැයි ප්‍රශ්නෙකට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය ඔබ ඔබ තුළින්ම තනියම ගොඩ නඟා ගන්න.

එහෙම නම් අළුත් හුස්මකට ඉඩක් අරගෙන ලබන සතියේදීත් හමුවෙමු නැවතත් අපි හුස්මකට වෙනසක් සමගින්...

Top