මනසෙහි විරූපීතාව යනු කිසිවිටක අමනුෂ්‍ය බැල්මක් නොවන බව සිහි තබා ගන්න (248 වන ලිපිය)

post-title

(අමනුෂ්‍ය හා මිථ්‍යා විශ්වාස පිළිබද මනෝවිද්‍යාත්මක විමසුමක්)

සිග්මන් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණවාදය ඇතුළෙ අග්‍රගණ්‍ය විදියට මිනිස් සිතෙහි ස්වභාවය විස්තර කරනවා. මේ ලෝකෙ ඉපදුණු හැම මනුස්සයෙක්ම වගේ කිසියම් කාංසාජනක අත්දැකීමකට මුහුණ දෙනවා කිසියම් කාලයකදි. හැබැයි ලෝකෙ ගොඩක් මිනිස්සු දන්නෙ නෑ ඒකට කියන්නෙ කාංසාව කියල කියන කාරණය. මිනිසුන්ගෙ හිතේ සැගවිලා තියෙන සිතුවිලි මෙහෙමයි කියල කාටවත් වචනයෙන් විස්තර කරන්න බෑ. මොකද ඒක පුද්ගලානුරූපියි. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ වගේම මිනිස් සිතුවිල්ලක් වෙනස් වෙන්න යන්නෙත් තත්පරෙකටත් වඩා අඩු කාලයක් . සමහර වෙලාවට මිනිස්සු උනු අපිට අපිවම තේරුම් ගන්න බැරිව යනවා. ඒ අපිට අපිව අමතක වෙන තරමටම අපි යාන්ත්‍රිකයො වෙලා ඉන්න නිසා. තවකෙකුට තියෙන දුක , වේදනාව තේරුම් ගන්න බැරි තරමටම අපි අද  අසංවේදි මිනිස්සු බවට පත්වෙලා. අපි හිතන් හිටියට මිනිස්සු හිනාවෙලා ඉන්නෙ සතුටෙන් ඉන්න නිසා කියල සමහර මිනිස්සුන්ගෙ හිනාව යට තියෙන්නේ වේදනාවෙන් මිරිකෙන කතන්දරයක්. ඇත්තටම යාන්ත්‍රිකයො උනු අපිට එකිනෙකාට ඇහුම්කන් දෙන්න තරම්වත් කාලයක් නැතුව ගිහින්. වෘත්තීය වශයෙන් මනෝ වෛද්‍යවරයෙක් නැත්නම් මනෝ උපදේශකවරයකු විදියට සේවය කරනවානම් එවැනි අය විතරයි මිනිස්සුන්ගෙ වේදනාවට කන්දෙන මිනිස්සු විදියට අද ඉතුරු වෙලා ඉන්නෙ . 

අද ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම විශාදය නිසා ජීවිත කීයක් නම් නැතිවෙලා ගිහිල්ලා තියෙනවාද ඒ ජීවිත වලට කන්දෙන්න කවුරු හරි ළංවෙලා හිටිය නම් සමහර විට ඒ ජීවිත අදටත් අපි අතර ඉන්න තිබ්බා. ෆ්‍රොයිඩ් හරි අපූරුවට අපිට තියෙන කාංසාජනක අත්දැකීම් සංරක්ෂණ ප්‍රයෝග ඔස්සේ විස්තර කරනවා. එසේම මෙවැනි අත්දැකීම් කිසිවකට මුහුණ නොදුන් කිසිම පුද්ගලයෙකු අප අතර ඉදිතැයි ද විශ්වාස කිරීමට අපහසු කාරණයක්. සෑම අසාමාන්‍ය චර්‍යාවකටම හේතුව කාංසාජනක අත්දැකීමකැයි කිසිවෙකු පවසන්නේ ද එහි ද ඇති වරදක් නැහැ. 

ඇත්තටම අපි මොහොතකට කල්පනාකරල බැලුවොත් තමන් වැරැද්දක් කරල අනුන් නිසා තමා තමන් ඒ වරද කරන්න පෙළඹුණේ කියන කී දෙනෙක් අපි අතර ඉන්නවද..? පාසලේදී වරදක් කරල අහු උන ශිෂ්‍යයො කී දෙනෙක් ලැබෙන දඩුවමට ඇතිවන භය හේතුවෙන් එසේ පවසයි ද? එවැනි දෑ ෆ්‍රොයිඩ් නම් කරල තියෙන්නේ ප්‍රක්ෂේපණය කියලා. ඒ වගේම තමයි කේන්ති ගියාම අදාළ පුද්ගලයට පහර දෙන්න බැරිකමට පුටුවකට පයින් ගහන නැතිනම් පිගානක් මල් පෝච්චියක් බිද දමල තමන්ගේ මානසික අසහනය පිටකරගන්න කී දෙනෙක් නම් අපි අතරෙ ඉන්නවා ද ? ෆ්‍රොයිඩ් එවැනි දෑ හදුන්වන්නෙ විස්ථාපනය කියල. අපි මේ හැමදේම මනෝවිශ්ලේෂණානුකූලව දැකල නොතිබුණාට මිනිස්සු උනු අපේ හැසිරීම් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂනාත්මකව සටහන් කරල තියෙනවා

තමන්ගේ දරුවගෙ, සැමියගෙ වියෝව දරාගන්න බැරිව මනස විකෘති උනු කිසා ගෝතමිය වැනි මව්වරු , බිරින්දෑවරු කීයක් නම් මේ ලෝකෙ ඉන්නවද ? ඔවුන්ගේ මානසික විරූපී තාවය නිසාම ඔවුන් සත්‍ය පිළිගන්න දක්වන්නේ තදබල අකමැත්තක්. මනෝවිද්‍යානුකූලව එය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස හදුන්වනවා. ඒ නිසාම තමයි තම පළවෙනි දරුවා නැති උන බොහෝ මව්වරුන්ව මනෝ උපදේශනයට යොමු කරන්නෙ. ඇත්තටම අපි මේ කිසිම දෙයක් ගැන ගැඹුරට හිතල නොබැලුවට මේ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ මනසෙහි චිත්තවේග වෙනස්වීමේ ප්‍රතිඵලයක් විදියට. 

ඇත්තටම මේ ලෝකේ භූත දෝෂ අමනුෂ්‍ය දෝෂ කියල දෙයක් නෑ. ඒ හැමදේම අපි අපේ මනසින් හදාගත්ත විකෘතිතාවයන්. ලංකාව කියන්නෙ තාමත් සාම්ප්‍රදායික රාමුව ඇතුළෙ ජීවත්වෙන රටක්. තාමත් මිනිස්සු මේ තරමටම විද්‍යාව දියුණු වෙලා තියෙද්දිත් සාම්ප්‍රදායික ගැමි මිත්‍යා විශ්වාස අදහන්න පුරුදු වෙලා ඉන්නවා. අපි පුංචි කාලෙ ඉදන් අහල තියෙන්නේ රෑ වෙලා මිනීපිටිය ළගින් යද්දි සුදු සාරියක් ඇදගෙන මෝහිනි ළමයත් වඩාගෙන ඉස්සරහට එනවා කියල. එවැනි මිත්‍යාවන් මත ඉදගෙන මිනීපිටියක් ළගින් ගමන් කරන්නෙකුට පාරේ යන ඩෙනිම් ඇදි තරුණියක් මෝහිනියක් ලෙස පෙනීමට ඇති හැකියාව වැඩිය. නමුත් එවැනි මනෝවිරූපිතාවයන් නිසා හටගන්නා භ්‍රාන්තිය මිනිස්සු අර්ථකථනය කරනු ලබන්නේ මෝහිනි ගහල වැනි වැරදි අර්ථ වලින් වීම සිනහවට කරුණක්. අවුරුදු 20ත් 30ත් අතර අවිවාහක තරුණියන්ට දැනෙන්නා වූ ලිංගික අවශ්‍යතාව හා පාලුව තනිකම හේතුවෙන් විශාදීය තත්ත්වයට පත්ව අසමාන්‍ය චර්‍යාත්මක ලක්ෂණ පෙන්වීම මිනිසුන් කලු කුමාර බැල්ම වැටී ඇතැයි යන්නෙන් හදුන්වනවා. ඒත් එය වැරදි මතයක්. 

තරුණියකට දැනෙන තනිකම මත ඇගේ චර්‍යාවෙ හිතේ එවැනි අසාමාන්‍ය ගතිලක්ෂණ පෙන්නුම් කිරීම ස්වාභාවිකයි. මෙවැනි මනෝ විරූපීතාවයන් හේතුවක් කරගත්ත අපේ මිනිස්සු හිතන් ඉන්නෙ ශාන්තිකර්ම, බලි තොවිල් කරාම ඇගේ ඉන්න කලු කුමාරයා එලවන්න පුලුවන් කියල. ඇත්තටම අවිධිමත් මනෝචිකිත්සක ක්‍රම මගින් සිද්ධ වෙන්නෙ තාවකාලික විදියට ආධ්‍යාත්මය සුවපත්වීමක් විතරයි. බෙරහඩ, දුම්මල, පන්දම් එලි එක්ක ඇති වෙලා තිබ්බ භ්‍රාන්තිය තාවකාලිකව යටපත් වෙන එක විතරයි ඒකෙන් වෙන්නෙ. ඇත්තටම කලු කුමාරයව පන්නන්න ඕනි නම් කරන්න තියෙන එකම දේ ඇයව මනෝ වෛද්‍යවරයකු කරා යොමු කිරීම. එහෙත් ඒ වෙනුවට අපේ මිනිස්සුන් කරනුයේ ලක්ෂ ගණනින් වියදම් කරල දේවාලවලට කපුවන් යැයි කියන මිනිස්සුන්ට දොල පිදේනි ලබාදෙන එක.

 එයට හොඳම උදාහරණය වාර්තා වන්නේ එක්තරා මවක් යකැදුරියක සමග එක්ව තම දියණියගේ ඇගේ ඇති භූත දෝෂය පලවා හරින්න දියණිය මිය යනතෙක්ම වේවැලින් පහරදීමයි. අපේ රටේ මිනිස්සු අමනුෂ්‍ය දෝෂ වලට කොතරම් බියක් දක්වන්නේද කියතොත් මේ මවට තම කුසින් වැදූ දියණියට තලන බවද අමතක වෙනවා නමුත් ඒ දැරියට තිබෙන්නට ඇත්තේ ඇය ලැබූ කාංසාජනක අත්දැකීමක් හේතුවෙන් තිබූ පීඩනයක් වන්නටද පුලුවන්.

 එයින් දිනකට පසු නැවත යාපනය ප්‍රදේශයේ මවක් තම සය මසැති බිලිදාට පහර දීමේ සිද්දියක් වාර්තා වෙනවා. හැබැයි එතනදි එම මව මනෝ විකෘතිතාවයකින් පෙලුණ බව කියවෙනවා. ඇත්තටම දැරුවෙකු ලැබීමට සිටින අවධියේ දී මවකට අවශ්‍ය රැකවරණය , ආදරය නොලැබී යාම මත වගේම ඇය දරු ප්‍රසූතියේදී අත් විදින වේදනාව මත මවකට දරුවෙකු පිලිබද එවැනි මනෝවිරූපි වෛරී චේතනාවක් ඇතිවෙන්න පුලුවන්. නමුත් අපේ රටේ මිනිස්සු එවැනි දේද දකින්නේ අමනුෂ්‍ය බලපෑමක් විදියට. 

ඒ වගේම තමයි අද රටේ සුලභව අහන දෙයක් තමයි අන්න අරයට මැරුණු ආච්චි වැහිලා නැත්නම් අම්මා වැහිලා කියන කාරණය. ඇත්තටම එවැනි දේ මේ මිහිපිට විය නොහැකි දේවල්. අපි කෙනෙකුට අසීමිතව ආදරය කළාම ඒ පුද්ගලයා හදිසියේ බලාපොරොත්තු නොවුණු මොහොතක වියෝ වුවහොත් එය දරා ගැනීමට ඇතැම් පුද්ගලයකුට නොහැකිවීමට පුලුවන්. එවිට එවැනි පුද්ගලයන්ට ඇතිවන සාංකාව මත එම පුද්ගලයාගේ මනස විකෘති වෙන්න පුලුවන්. එතකොට ඒ වගේ අය නිතරම මැරුණු කෙනා තමන් ළග සිටින බව පැවසීම, තමන්ට කතා කරනවා යැයි පැවසීම, තමන්ට වරමක් දුන් බව පැවසීම ඇයට හෝ ඔහුට සිදුවන මනෝ ව්‍යාකූලත්වය හේතුවෙන් ඇතිවන්නක්. නමුත් මිනිසුන් කියන්නෙ එයාට අම්මා වැහිලා තාත්තා වැහිලා වැනි කතා ටිකක්. නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ ඒ පුද්ගලයාගේ මනස විකෘති වීමක්

ඇත්තටම තාක්ෂණික අතින් මෙච්චර දියුණු ලෝකෙ අපි තාමත් ආගම් බේදයකින් තොරවම මිත්‍යාව පස්සෙ දුවනවා. මැරුණු මනුස්සයෙකුට පුලුවන් නම් ආත්මයක් වෙලා ඇවිත් අපිට බලපෑම් කරන්න පීවත්වෙලා ඉන්න අපිට මොනවද කරන්න බැරි කියන දේ හිතාගන්න බැරි වෙන්න තරම් මිනිස්සු අන්ධ විශ්වාසෙන් පෙලෙනවා. කරන්නට ඕනි ප්‍රතිකර්ම පසෙකින් තියල අපි තාමත් අදුරෙ අතපත ගානවා.

කාලතරණය කරලා 21වන සියවසට පා තබා ඇති අපට මිථ්‍යාවෙ තිමිර පට ඉරා ප්‍රඥාව කරා ගමන් කිරීමට කාලය ඇවිල්ලයි තියෙන්නෙ. සත්‍යයෙන් විනිර්මුක්ත වූ කළ අප ගමන් කරන්නේ අන්ධකාරයට යන ගමන් මග දිගේ යි. මනසෙහි විරූපීතාව කිසිවිටක අමනුෂ්‍ය බැල්මක් නොවන බව සැම විටම සිහි කැදවන්න. පණ නැති කිසිවෙකුට පණ ඇති අපට කිසිවක් කළ නොහැකි බව මතක තබා ගන්න. එය සෑම විටම ඔබව ජීවිතයේ යථාර්ථය කරා ගෙන යනු ඇත. 

Top