20වන සියවසයේ පෙරළිකාර ලෙස තොරතුරු සන්නිවේදනය කළ ජනමාධ්‍යය ද අභිබවා යමින් 21 වන සියවසයේ තොරතුරු සන්නිවේදනයේ ප්‍රබලයා බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍යයි. කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් තොරතුරු සම්පාදනය කරන ප්‍රධාන වාහකයා බවට ද අද වනවිට සමාජ මාධ්‍ය පත්වී ඇත. ජීවිත රඟ මඩලේ රඟන නලුවන් අප වන්නාසේ ම සමාජ මාධ්‍ය මෙහෙයවන ප්‍රධාන මෙහෙයුම්කරුවන් වන්නේ ද මිනිසුන් වූ අපිම ය. ශ්‍රී ලංකාවේ ජීවත්වන අපි තවමත් සාම්ප්‍රදායික ගතානු ගතික ඇවතුම් පැවතුම් වලට ගරු කරමින් ඉදිරියට යනවා විනා යාවත්කාලීන වන යහපත් දෑ උකහා ගැනීමට උත්සුක වන්නෝ නොවෙමු. අතීතයේ ඕපාදූප , කටකතා වලින් පැතිරී ගියද අද එයට ද මූලිකත්වය ගෙන ඇත්තේ කාලතරණය කරමින් සන්නිවේදන ලෝකය අතික්‍රමණය කළ you tube " Face book " Messenger " WhatsApp වැනි සමාජ මාධ්‍ය ජාලාවන් ය.
සමාජය යනු අපූරු වූ රඟ මඩලකි . මිනිසුන් යනු එහි එකින් එකට බැදී ඇති දම්වැල් පුරුක් ය. ලාංකේය සමාජය හා බටහිර සමාජය යැයි කියා අප රටින් රට අනුව කොටස් කළ ද මේ කවර සමාජයක වුව ද ජීවත් වනුයේ හිස්, මස්, ලේ, ඇට නහරින් පරිපූර්ණ වූ මිනිස්සු ය. නමුත් සමාජය අනුව ඒ ඒ මිනිසුන්ගේ හැදියාව, ආකල්ප, අදහස්, සිරිත් විරිත් ආදිය වෙනස් වෙති. පෙරදිග රටක් වන ශ්‍රී ලංකාවේ අප තවමත් ගතානුගතික සම්ප්‍රදායික අදහස් හනමිටි සේ කරතබා ඉදිරියට ගෙන ගිය ද බටහිර රටවල මනුෂ්‍යයෝ සාම්ප්‍රදායිකත්වය යාවත්කාලීන කරගනිමින් ඉදිරියට යති. එහිදී ඔවුන් අනෙකාගේ පෞද්ගලිකත්වයට ඇගිලි නොගසයි. ඔවුන් එකී පුද්ගලයාගෙන් සමාජයටත් තමන්ට ගතයුතු වැදගත් දෑ පමණක් ගෙන නරක පුරුදු හෝ අතිශය පුද්ගලික කාරණා ආදී අවශේෂයන් ගැන සොයා නොබලන්නට පුරුදුව සිටියි. එහෙත් දියුණු සංස්කෘතිකයන් එසේ වෙද්දී දියුණු යැයි පුරසාරම් දොඩන මහා කලු සිංහලයෝ තවමත් අනුන්ගේ කුණු සොයා වෙහෙසෙයි. ගමේ නාන තොටේ දී පොදු ළිදේ දී අනුන්ගේ කුණු සෙවූ ඒ පරපුරම අද සයිබර් අවකාශයේ දී ද කරන්නේ ඒ ටිකම ය.
අද වන විට නූතන ලාංකිකයන් ද සමාජ මාධ්‍ය තුළින් සොයන්නේ ම තලුමරමින් රස විදිය හැකි පුවත් ය. එබැවින් ශ්‍රී ලංකාවේ නම් සමාජ මාධ්‍ය කසළ ශෝධක තත්ත්වයට පත්ව ඇත. බටහිර මිනිසුන් අනෙකාගේ පෞද්ගලිකත්වය බැහැර කරද්දී ඒවා සිය ප්‍රශ්න කර නොගනිද්දී අපේ රටේ මිනිසුන් ප්‍රසිද්ධ ගායකයන්, ගායිකාවන් නළුවන්, නිළියන් ආදීන්ගේ පෞද්ගලික ජීවිතේ බිදවැටීම් ගැන සොයමින් දිනපත් සමාජ මාද්‍ය ජාලා පීරා සැරි සරයි. ඒ අනුන්ගේ කුණු රසකර තලු මරා තෘප්තිමත් වීමේ සංතෘෂ්ඨිය දැන් ලාංකේය බහුතර මිනිසුන්ගේ මනස් තුළ තැන්පත්ව ඇත.
පසුගිය දවසක ලාංකේය ගීත ක්ෂේත්‍රය නියෝජනය කරන උමාරියා සිංහවංශයන්ගේ යැයි සැළකෙන අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංස්රණය වනවා දක්නට ලැබුණි. උමාරියා සිංහවංශයන් මුලු ලොවට ම හඩ ගා කීවද ඒ අසභ්‍ය වීඩියෝ පටයේ පෙනී සිටිනුයේ තමා නොවන බව, එය විස්වාස කළ නොකළ බොහෝ සුචරිතවාදීන් තලු මරමින් එය නැරඹූ බව නොරහසකි. එනිසා ම ඇගේ කදුලේ වේදනාව අතරින් සමාජ මාධ්‍ය ජාලය කලඹන trending one පුවත බවට පත්වන්නේ එම කාලසීමාවේ දී ම ඇය ය.
මිනිසුන් අදුරෙන් ආලෝකයට ගමන් කරනවා වෙනුවට කාල තරණ ලෝකය තුළ ගමන් කරමින් සිටින්නේ අන්ධකාරයෙන් අන්ධකාරයට යන ගමනාන්තයක් කරාය. අද උමාරියාට සිදු වූ දෙය හෙට වන විට සිය මවට, සොහොයුරියට, බිරිදට, දියණියට සිදුවිය හැකි නොවේදැයි සිතන්නට තරම් මේ මිනිසුන් ප්‍රඥාවන්ත වූයේ නම් ඒ පුවත ලංකා සමාජයේ trending one බවට පත්වෙන පුවතක් නොවෙන්නට ඉඩ තිබුණි. එය එසේ වූයේ නම් ඇගේ මනසට සියදිවි නසාගැනීමේ හැගීමක් ඇතුලු නොවෙන්නට ඉඩතිබුණි. එවැනි සංසිද්ධියකට මුහුණ දුන් නිළියක් ලෙස සෙනාලි ෆොන්සේකා ද හදුනාගත හැකිය. පියෙකු නැතිවුණ වේදනාවෙන් ජීවිතයට මුහුණදෙන සෙනාලි ෆොන්සේකා නම් නිලිය රංගනයෙන් දායකත්වය සැපයූ නාඩගම්කාරයෝ නාට්‍ය අතරතුර දර්ශනවාරයකදි ඇය ඇද සිටි ගවුම ප්‍රමාණය ඉක්මවා ඉහළයාම හේතුකොටගෙන ඇයව සමාජ මාධ්‍ය හරහා දැඩි අපහසුතාවට ලක්කරනු ලැබූවද එය ඇය සිතාමතා සිදුකරගත්තක් නොවන බව අපේ රටේ ලාංකීකයන් හට අවබෝධකොට ගැනීමට නොහැකි වූයේ මන්දැයි යන්න හදවතට තට්ටුකොට ඇසිය යුතු කාරණාවකි. එසේම එක්තරා රූපවාහිනී නාලිකාවක නවක ගායනා තරු අභිෂේක ගන්වන වැඩසටහනකට සහභාගි වූ ආදිත්‍යා නම් පාසල් වියැති දැරියගේ යැයි පැවසුණ නිරුවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ trending one බවට පත් කරනු ලැබූයේ මෙරට සිටින සමාජ මාධ්‍යලෝලීන් විසින් ය. නමුත් හදවතේ ඇතුලු දොරටු විවෘත කර යථාර්ථවාදී චින්තනයෙන් සමාජය අතික්‍රමණය කරන්නෙ නම් අප සැමට අවබෝධවිය යුතු එකම කාරණාව බවට පත්වන්නේ තාක්ෂණය අද කෙතරම් විශිෂ්ට ලෙස ලොව අතික්‍රමණය කර තිබුණද එකී තාක්ෂණය මෙකී මිනිසුන් භාවිත කරන්නේ කොතරම් පහත් දෑ සදහා ද යන්නයි. සමාජය තුළ අසභ්‍ය වීඩියෝපට සහ ඡායාරූප සැරිසැරීමට අවශ්‍ය වන්නෙ කවුරු හෝ එක් යුවතියකගේ එක් මුහුණුවර ජායාරූපයක් පමණි. ඉන්පසුව 21වන සියවස තුළ තාක්ෂණික ලෝකය තුළ කරන්නට බැරි දෙයක් ලොව නොමැති තරම්ය.
නමුත් ඒ තරුණ යුවතිය කොතෙක් නම් මානසික ශක්තියෙන් ප්‍රබලද කියතොත් ඇය ගේ ආත්ම ගෞරවයට එසේ එක පිට එක පහර දෙන කාලවකවානුවක ඇය එක youtube නාලිකාවක සාකච්ඡාවක් තුළ සමාජය හමුවට ප්‍රබල ප්‍රශ්නයක් ගෙන එනු ලැබීය. “මගෙ අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න මට ප්‍රශ්නයක් නෙවෙයිනම් ඇයි සමාජය ඒක ප්‍රශ්නයක් කරගන්නෙ” සැබැවින් ම ඇගේ එම පැනය තුළ ඇත්තේ සමාජය නම් කණ්නාඩියේ අදුරුව ඇති පැතිකඩක් නිරාවරණය කිරීමකි. පැහැදිලිව ම අප අන් කිසිවෙක්ගේ පෞද්ගලිකත්වයක් හාරා අවුසන්නු ලබන්නේ ඇයි? ඒ තුළින් අපට ලැබෙනුයේ කවරක් ද?. තාවකාලික වූ මානසික සුඛවින්දනයක් පමණක්ම නොවේ ද.? ඇයි අප කාගේ හෝ කසළ ශෝධකයෙක් වන්නට උත්සාහ කරනුයේ ඇයි?. ලාංකිකයන් වන අප ප්‍රඥාවෙන් ආලෝකය කරා ගමන් කරනු වෙනුවට මේ අදෙන්නේ අඥාණයෙන් අන්ධකාරය කරා යන ගමන් මගකනොවේ ද?
එසේම ලාංකීය සමාජය තුළ වැරැද්දක් ඇතිව හෝ නැතිව නිරන්තර අපවාදයට ලක්වන්නේ කාන්තාවයි. කටවහරේ පවසනා ආකාරයටම කිරි කළ හතකින් නාවා ගෙට ගත්කළ පිරිමියා පිරිසිදු වුවද කාන්තාවට එලෙස කිසිදා පිරිසිදු විය නොහැක. එයට හේතුව සමාජය ඊට ඉඩක් නොදීමය. ලාංකීය සමාජය තුළ සැමදා තැලෙන යකඩය බවට පත්ව ඇත්තේ කාන්තාව ය. පිරිමින් කවර වැරැද්ද අපරාධයක් සිදුකළ ද කාලයාගේ අවෑමෙන් එය යටපත් කරනු ලබයි. නමුත් කාන්තාවක වැරැද්දට භාජනය වූ කළ එය ගලේ කෙටු අකුරක් මෙන් සමාජ ගත වේ. සමාජ මාධ්‍යයෙන් පමණක් නොව ජන මාධ්‍යයෙන්ද පිරිමියා නිරාවරණය කරනු නොලබයි. කාලයේ තාලයේ වචනවලින්ම විස්තර කරන්නේ නම් පිරිමියාව market කරනු ලැබූවද එය සමාජයට hit නොවීම මෙයට මූලික හේතුවයි. ඕනෑම මාධ්‍යක් තුළ විකිණෙන වෙළෙඳ භාණ්ඩය බවට පත්ව ඇත්තේ කාන්තාවයි. ඇතැම් ජනමාධ්‍ය නාළිකා තම නාළිකාව hit කර ගැනීමේ චේතනාවෙන් එම නාළිකාවට සම්බන්ධ වී වැඩකරන ක්‍රියාශීලී සමාජිකාවන්ගේ ආත්ම ඝාතනය තම නාළිකාවේම සමාජජාලා හරහා සිදුකරන අවස්ථා ලාංකීය සමාජය තුළ නැතුවා ද නොවේ. පසුගිය කාලයෙහි සිදුවූ ඇතැම් සිදුවීම් දෙස මදක් විමර්ශනාක්ෂිය විමසා බැල කළ ඒ කරුණු තහවුරුවන බව නො අනුමාණය.
එසේම මුළු ලංකාවක් ආන්දෝලනය කරමින් පසුගිය දින ගණනාවක් පුරාවටම මුද්‍රිත මාධ්‍ය හා සමාජජාල හා රූපවාහිනී මාධ්‍ය අතර trending one බවට පත් වූ පුවත වූයේ එස් අයි පේමසිරි විසින් තිස් හැවිරිදි තරුණියක හිස කදින් වෙන්කොට ට්‍රැවලින් බෑගයක බහා වේල්ලවත්ත වීදියට ගෙනගොස් දමා ඔහුද සියදිවි හානි කරගැනීමේ පුවතය. අද වනවිට ද පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඇයගේ හිස සැඟවු ස්ථානයක් සොයමිනි. නමුත් මෙම පුවත සමාජ මාධ්‍යජාලා හරහා විවිධාකාරයෙන් ප්‍රචාරය වීමත් සමඟ බහුතර ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්විය. අයෙක් පිරිමි පාර්ශවයට ද තවත් අයෙක් කාන්තා පාර්ශවයට ද අවලාද නගන තත්ත්වය දක්වා එය දුර දිග ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව එම සිදුවීම මාධ්‍යන් හරහා ඉදිරිපත්කරන ස්වරූපයේ ඇති වරදයි.
මෙලොව උපදින සෑම මිනිසෙකුටම භාෂණයේ හා ප්‍රකාෂණයේ අයිතියක් ඇත. එය අපි පිළිගන්නෙමු. එබැවින් ඕනෑම සමාජ මාධ්‍යයක් ඔස්සේ අදහස් දැක්වීම මිනිසාට හිමිවේ. නමුත් එසේ අදහස් දැක්වීමේදී, විශේෂයෙන් රටම අවධානයෙන් බලා සිටින මෙවන් සංවේදී සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී අන්තගාමී ලෙස නොව නිවරදි සහ මධ්‍යස්ථ මාධ්‍ය භාවිතාවක් සිදුවීම අත්‍යවශ්‍ය ය. අනෙක් අතට එහි දෝෂාරෝපණය අසත්‍ය හෝ අන්තගාමී ලෙස තොරතුරු ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ජාලාවලට ම පවරා නිහඩ ව සිටීම ද නොකළ යුත්තකි. මෙහි ඇති තවත් ප්‍රබලම කාරණයක් වන්නේ සමාජ මාධ්‍ය තුළින් එළියට ආ මෙම පුවත trending one පුවතක් බවට පත්කරනු ලැබුවේද ජනතාව විසින් ය යන්න ය. ආචාර ධර්මවලට පටහැනිව හැසිරෙන අවස්ථා රූපවාහිනී හා සමාජ මාධ්‍යයෙහි පමණක් නොව මුද්‍රිත මාධ්‍යයෙහි ද දක්නට ලැබෙන කාරණාවක් වේ. එවන් මොහොතක එය බුද්ධිමත්ව ග්‍රහණය කරගන්නට තරම් ලාංකේය පාඨක ශ්‍රාවක ප්‍රජාවට හැකි විය යුතුය.
අනෙක් කාරණාව වන්නේ මෙලොව සියලු දේ නිර්මාණය වනු ලබන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුවය. එබැවින් සමාජ මාධ්‍ය මගින් ගෙනහැර දක්වනු ලබන්නේ සුවහසක් ජනතාවගේ කැමැත්තයි. එනම් එවන් සිදුවීමක් සිදුවූ වහා එහි නිරවද්‍යතාව සොයන අය දුර්ලභ වීමත් එහි කුණු රස සොයන පුද්ගල කණ්ඩායම් සුලබ වීමත් හේතුවෙන් ඒ සුලබ කොටස ග්‍රහණය කරගන්නට මාධ්‍යජාලා බොරු පුවත් මවා trending one වීම සිදුවෙයි. එබැවින් වගකීම් විරහිත මාද්‍ය භාවිතාවත් වගකීම් විරහිතව මාධ්‍ය තොරතුරු ග්‍රහණය කර ගන්නා ප්‍රජාවත් යන කොටස් දෙකම අත වරද ඇත. ඒ කරුන තුළින් ද ප්‍රත්‍යක්ෂ වන්නේ ලෝකය දියුණු වුව ද තාක්ෂණය දියුණු වුව ද ඒ තාක්ෂණය භාවිත කරන ලාංකේය මිනිසුන් තවමත් නොදියුණු බව නොවන්නේ ද?
ජීවිතය යන අපූර්ව නෞකාව නිසි ලෙස යාත්‍රා කරවීමට නම් සෑම පුරවැසියෙකුටම සමාජය පිළිබඳව පුලුල් දැනුමක් මෙන්ම පුලුල් කියවා ගැනීමක්ද තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව මෙම ජීවන යාත්‍රාව පැදවිය නොහැක. තමන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට යත්න දරන්නා සේම තවකෙකුගේ පෞද්ගලිකත්වයට ඇඟිලි නොගසන සමාජයක් මතුයම් දිනෙක හෝ බිහි වේ නම් ශ්‍රී ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත්වීම කවරෙකුටවත් නවතාලිය නොහැක. එබැවින් ප්‍රඥාවෙන් ආලෝකය කරා යන සමාජයක් කරා යාමට ඔබේ දෙපය එසවිය යුතු කාලය එළැඹ ඇත.