ගීතයක ලියැවුණ ජීවිත. අකාලේ මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුණේ නම්..." (226 වන ලිපිය)

post-title

ජීවිතයේ අනේකවිධ ප්‍රාර්ථනා අතර බොහෝමයක් යුවතියන්ගේ හීන පොදියේ සොදුරුතම දවස ඇය මනමාලියක් වෙන දවස. මංගල සලු පිළි , තැළි අබරණ පළන්දා පෝරුමස්තාකාරූඩ වී, එසේත් නැතිනම් අල්තාරයක් ඉදිරිපිටට ගොස් පොරොන්දු දී හෝ, එසේත් නොමැති නම් කිනම් ආකරයකින් කාගේ හෝ පතිනියක වන හීනෙක බොහෝමයක් ගැහැණු ළමයි නතර වෙනවා. ඉතිං නිසි වයස පැමිණි පසු අසුපිට නැගි කුමාරවරු නැතත් ජීවිතය විඳින්න පුලුවන් කෙනෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න බහුතරයක් ගෑනු ළමයි පෙරුම් පුරනවා.

එහෙම පෙරුම් පිරුව ගෑනු ළමයි බොහෝමයකට එහෙව් ජීවිත ලැබෙනවා. හැබැයි එහෙම නොවෙන තැන් නැතුවා නොවේ. ඉතිං එහෙම තැනක ඇස් රිදෙනනකම් තමන්ගෙ උරුමකාරයා එනකම් බලන් හිටිය , තාමත් බලන් ඉන්න අනන්ත අප්‍රමාණ ගෑනු ළමයි ඉන්නවා. ජීවිතේ කවදාවත් නිසි ආදරයක් නොලැබුන එහෙව් යුවතියකගෙ හිත කොහොම වෙන්න ඇද්ද.

ආදරය විදින්න, ප්‍රේමයේ පහස ලබන්න මේ ලෝකයට බිහිවෙලා ඉන්න ඕනි ප්‍රාණියෙක් කැමතියි. ඒත් දවසගානෙ එක එක පිරිමි පරාන ඉදිරිපිට නාටකයක් රඟ දක්වමින් තමන්ට හිමි ජීවිතය හොයන දහස් ගණන් ජීවිත මේ පොළොව මත ඕනිවටත් වඩා.

එයාලාගෙ එකම උරුමය හැම ඉරිදාකම, කපු මහත්තුරු අරගෙන එන නානාවිධ යෝජනා වලට, එක එක පාට සාරි ඇඳගෙන බුලත් හෙප්පුවක් අරගෙන ඇවිත් කිසිසේත් ස්වභාවික නොවන සිනහවකින් සාලයෙ අසුන් ගෙන ඉන්න පිරිසට සංග්‍රහ කරන එක.

ඉතිං මේ කතාවත් ජීවිතයේ වසන්ත කාලය ගෙවීගෙන යන එහෙව් බහුතරයක් ගෑණු ළමයි ගැන. විවාහය කියන බලාපොරොත්තුව ඔට්ටපාලුවක් වගේ ඇදි ඇදී තියන ගෑනු ළමයින්ගෙ ජීවිත ගැන කතාවක් මේ. අවුරුදු තිහක් , තිස්පහක් ඉකමවූ ඇයට තවමත් තමන්ගේ විවාහයේ සුබ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබිලා නෑ. ඇයට උරුම එකම දෙය සතිකට එක ගානෙ එන මනමාල මහත්වරුන්ට මුහුණ පෙන්වීම විතරයි.

ඉතිං හැමදාම සුපුරුදු රාජකාරිය ඇයට පුරුදුයි. හැබැයි අවසානයෙ ඇයට වෙහෙසයි. ඇයට තනියි. ඒක හරියටම ඇය රඟ දැක්වූ නාටකයක් අවසානයේ හිස් වේදිකාවක් උඩ තනියම හිටගෙන ඉන්නවා වගේ හැගීමක්. අඳුරු රඟහලක් වගේ ඇගේ ජීවිතයත් අඳුරෙ ගිලිලා. ඇයට උරුම ඇය රඟදැක්වූ නාටකය බලන්න ආව මිනිස්සු අසුන් ගෙන සිටි හිස් අසුන් දිහා බලන් ඉන්න එක.

ඒ වෙලාවට ඇගේ හිත සනසන්න ඈ ළඟ ප්‍රේමයක් තිබුණා නම් ..... ඇයට එහෙම හිතෙනවා.

"අන්ධකාරය දිගහැරී

රැඟුම් වෙයි අවසන්

හිස් අසුන් පමණක් බලන් හිඳ

ඔවුනොවුන් විමසන්

අකාලේ..

මියැදෙන්න හෝ

ප්‍රේමයක් තිබුණේ නම්..."

ඉතිං හැමදාම පිටස්තර උදවිය ඇයගේ ඇස් මායිමට පැමිණ පිටව යනවා. ජාති කුල මල ආගම් භේද , සල්ලි වතුපිටි දේපල, ඇයි තව කේන්දර ග්‍රහ අපල ගැටලු එකී මෙකී නොකී නොයෙක් කාරණා නිසා තවමත් ඇයගේ මංගල සිහිනය බොදකරනවා. එකකින් නොනැවතී දහයක් පහළෙවක් මනමාල මහත්වරු මේ සුපුරුදු පිටපතට අනුව රඟපනවා. ඇයට මේක දැන් මහ හිසරදයක්. මේක විකාරයි වගේ. ඉතිං මේ සියල්ල අතරතුරවත් තමන්ගේ යැයි හැඟෙන කිසිවක් ඇයට නෑ. ඒක මහ වේදනාවක්. කඳුලක් හෙලනකොට වාරු වෙන්න උරහිසක්, සිනහවක් නැගෙන කොට අල්ල ගන්න සුරතක් කිසි දවසක ඇයට හමුවෙලා නෑ. ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් පිටපතකට අනුව රඟපානවද කියලා හැම මොහොතෙම ඇයට හිතෙනවා. ඒ නිසා ඇගේ හිතේ තියෙන්නම ගින්දරක්. ඒ ගින්දර කාට හරි කියන්නට පුලුවන් තාලයක් ඇය හොයනවා. අවාසනාවක මහත. තාමත් ඇය එක තැන.

" පිටපතින් පිට වී යන්න ගිය

පිටස්තර වූ බොහෝ උදවිය

සනසන්නයැයි ගිණිතියා ගිය

කියාගන්නට නොහී කැකැරෙන ලෝ ගිණී

වැලපුමක් කර ගයන්නට තාලයක් තිබුණා නම්"

නරකෙස් එකදෙක සුදු වේගෙන එනකොට ඇයගේ හිත තවත් බිදෙනවා. යොවුන් කාලය හෙමිහෙමින් අහවර වෙන මොහොත වෙනකන්වත් ඇය පිරිමි පහසක සුව විදලා නෑ. එහෙම ප්‍රේමයේ රසමුසු තැන් හෙව්ව අතීතයක්වත් වර්තමානයක්වත් ඇයට උරුම නෑ. ඒත් එහෙම අනාගතයක් ගැන හීන ඇගේ හිතේ තියනවා. උද්‍යානයක බංකුවක කෙළවර, මුහුදු වෙරළක ප්‍රේමණීය හෝරාවන් ගෙවන පෙම්වතුන් දැක්කහම ඇයට දුකයි.

"ඇයි මට මෙහෙම ජීවිතයක් උරුම නැත්තෙ"

ඇය පශ්චාත්තාප වෙනවා.

"තාම කසාදයක් හරී ගියේ නැද්ද ? ගෙදරට නාකිවෙන්නද කල්පනාව"

 මගතොට හමුවෙන අය අහන ප්‍රශ්න ඉදිරිපිට ඇය අසරණ වෙනවා. ඇයටත් හීන නැතුවා නොවේ. පවුල් ජීවිතය ගැන ලස්සන හීන, දරු පැටව් වට කරගත්ත සොදුරු දවස් ගැන හීන කප්පරක් ඇගේ හිතෙත් තියනවා. ඒත් දැන් දවසින් දවස ඇගේ ඒ හීන ඇයගෙන් ඈත් වෙලා යනවා වගේ හැගෙන්නෙ. ජීවිතේ සොදුරු සමය ටිකෙන් ටික වියැකෙනව වගේ දැනෙන්නෙ. කොහොමත් අවුරුදු තිස්පහ ඉක්මවූ ගැහැණු වියපත් වෙනවා. එයාලාගෙ කාලෙ ඉවරයි වගේ එයාලට හිතෙන්නෙ.

"අසුරුසැන පරදා ගෙවීගිය

ජීවිතේ මල් පිපුණ කාලය

යළිත් නොම එන බව පසක් විය

නාටකය නිමා වී ගිමන් හරිමි"

කොච්චර හීන බලාපොරොත්තු තිබ්බත් ඇයට හරි වෙහෙසයි දැන්. ජීවිතේ මල් පිපෙන වසත් කාලය ඇයගෙන් ඈතට යනකොට හිත යටින් ඈ ප්‍රාර්ථනා කරන්නෙ, ඇති වෙලා නැති වෙල් යන්න හරි ප්‍රේමයක් ඇය ළගට එන්න කියලා. ඒ විඳීම , ඒ හැගීම විඳගන්න කුතුහලයකින් ඇය ඉන්නෙ.ඇය තවමත් නොයිඳුල් මලක්. ඒ මලේ රොන් ගන්න, බඹරතුඩකට බැරි ඇයි.ඇයට එහෙම හිතෙනවා.ඒ හින්දාමඅවසානයේ ඇය හිතනවා

 

 " බඹර තුඩ කඩතොලක්වත්

පෙති මත්තේ තිබුණා නම්..." කියලා. 

ඉතිං බහුතරයක් යුවතියන්ගේ හීන අතර ප්‍රබලම හීනයක් වුණ විවාහය කියන හීනය හැබෑ කරගන්න බැරි වුණ යුවතියන්ගෙ චිත්තාභ්‍යතරය ගැන පද ගැලපුම කරන්නෙ රුහුණුකෙත ධම්මදේව හාමුදුරුවෝ. තරිඳු දම්සර ඒ වැළපුම සප්ත ස්වර ගලපද්දි, එකී බහුතර ගෑණු ළමයි වෙනුවෙන් ඒ වැළපුම ගායනා කරනු ලබන්නේ සකුලි සත්සරණි විසින්.

Top