කැම්පස් ඇතුළෙ හැදිලා තියෙන පුරුෂ මූලික සිස්ටම් එක වෙනස් කරමු ? ( 245 වන ලිපිය)

post-title

පහුගිය සතියෙ මුලු ලෝකය ම සැදී පැහැදී සැමරුව දවසක් තිබුණා. ඒ තමයි ලෝක කාන්තා දිනය. සෑම වසරක ම ලෝක කාන්තා දිනය යෙදිලා තියෙන්නෙ මාර්තු 8 වෙනිදාට. අද වෙනකොට මාර්තු 8 වෙනිදා කියන්නෙත් එක්තරා විදිහට බැලුවොත්, ගොඩක් ගැහැණු වගේ ම පිරිමිත් කාන්තා අයිතීන් ගැන කතා කරමින් ඒකෙන් ස්වයං වින්දනයක යෙදෙන දවසක්. කාන්තාව ගැන කතා කරන වැඩසටහන්, ලියවුන පෝස්ට් ඕනි තරම් අහන්න දකින්න කියවන්න ලැබෙනවා. ඒත්, ඒ කතා කරන හැම දෙයක් ම ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරන්නෙ කීයෙන් කී දෙනා ද කියන එක හැමදාම අපිට තියෙන ප්‍රශ්නයක්. තමන් ඉන්න තැන ඉදන්, තමන් ඉන්න ක්ෂේත්‍රය ඇතුළෙ ඉදන් ඔය දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්නෙ කීයෙන් කී දෙනා ද ? 

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මං ඉගෙන ගන්න තැන උදාහරණයකට ගමු.

ලංකාවේ කැම්පස් ඇතුලේ විශේෂයෙන් මම ඉගෙන ගන්න කැම්පස් එක ඇතුළෙ මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වගේ දේවල් කොයි තරම් දුරට ප්‍රයෝගික යථාර්ථයක් ද කියන එක ප්‍රශ්නයක්. ඇත්තටම ඔය කිසිම දෙයක් කැම්පස් ඇතුළෙ ප්‍රැක්ටිකලි සිද්ධ වෙන්නෙ නැති තරම්. ඒකට පිරිමි වගේ ගැහැණුත් හේතුවක් වෙනවා. කැම්පස් එක ඇතුළෙ වැඩියෙන් ම ඉන්නෙ ගැහැණු. හැම අවුරුද්දක ම පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන්ගේ ප්‍රමාණය වැඩියි. මන් ඉගෙන ගන්න නීති පීඨයේ වුනත් ගැහැණුන්ගේ ප්‍රමාණය වැඩියි. ඒත් , කැම්පස් එක ඇතුළෙ කාලයක් තිස්සේ ගොඩනැගිල තියෙන්නෙත් මහ සමාජයේ වගේ ම පුරුෂ මූලික සිස්ටම් එකක්. අධිපති මතවාද වෙන්නෙ පිරිමියාගේ මතය. මේ පුරුෂ මුලික සිස්ටම් එක ඇතුලේ ඉන්න පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ම සමහර අවස්ථාවලදි දැනුවත් ව වගේ ම සමහර අවස්ථාවලදි නොදැනුවත් ව මේ සිස්ටම් එක ඉස්සරහට පවත්වාගෙන යනවා.

අනෙක් අතට, මේක ඇතුළෙ මන් දැකපු බහුතරයක් ගැහැණු ස්වභාවයෙන් ම පිරිමියා කියන ඕනි ම දෙයකට ඒ දේට අකැමැති වුනත් අවනත වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඔවුන් ඉපදුන දවසේ ඉදන් ජීවත් වෙන සමාජ පරිසරය ඇතුළෙන් ම සමාජානුයෝජනය වෙනකොට ඇති වුන ස්වභාවයක්. කොහොම වුනත් කැම්පස් ඇතුළෙ දි, බහුතරයක් ගැහැණුන්ගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව තියෙන මේ පිරිමියාට අවනත වීමේ ස්වභාවය තව තවත් පෝෂණය කරමින් , ඒක ඔවුන්ගේ අනන්‍ය ගතිලක්ෂණයක් බවට පරිවර්තනය කරනවා. ඒක ඇත්තටම සිද්ධ වෙන්නෙ බහුතරයක් ගැහැණුන්ට ත් නොදැනීම යි. බහුතරයක් ගැහැණු දන්නෙ වත් නැහැ ඔවුන් පිරිමින් අතින් පාලනය වෙන බවක් වත්. මේ පුරුෂ මූලික සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා කියන එක වත් නොතේරෙන තරමට ම බහුතරයක් ගැහැණු ඒකට අනුගත වෙලා තියෙනවා. ගැහැණුන් බැච්වල තීරණ ගැනීම්වලට සම්බන්ධ කරගන්න එක ලොකු අවුලක් විදිහට දකින පිරිමි ඉන්නවා. ඒවගේ ම, පුරුෂමූලික සිස්ටම් එක විවේචනය කරමින් සියලු ම දොස් පිරිමි එකවුන්ට් එකට පමණක් බැර කරමින් , සියලු ම වරදවල් ඇත්තේ පිරිමින් අතේ යැයි කියමින් අන්තගාමී තැනක ඉදන් වැඩ කරන ගැහැණුත් ඉන්නවා. මන් හිතන්නේ මේ දෙගොල්ලො ම සෘජුව සහ වක්‍රාකාරව මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න දායක වෙනවා. කොහොම වුනත් අතේ ඇගිලිවලින් පෙන්විය හැකි තරමේ ගැහැණු - පිරිමි සුළු පිරිසක් මේ පුරුෂ මූලික සිස්ටම් එක වෙනස් කරන්න මතවාදීමය වශයෙන් වෙනස් තැනක ඉදන් ඒ වෙනුවෙන් කතා කරනවා සහ වැඩ කරනවා මම දැකල තියෙනවා. විශේෂයෙන්, කැම්පස් ඇතුලේ නඩත්තු වෙමින් තියෙන මේ පුරුෂ මූලික සිස්ටම් එක යම් මට්ටමකින් හෝ වෙනස් කරන්න නම් ඒකෙ වැඩි වගකීමක් තියෙන්නෙ ගැහැණුටත් වඩා පිරිමින් අතේ කියල යි මගේ පුද්ගලික හැගීම.

සරල ව ම ලංකාවේ කැම්පස් කියන්නෙ පිරිමින්ට පුරුෂාධිපත්‍යය පවත්වාගෙන යන හැටි ප්‍රැක්ටිස් කරවන, අනෙක් පැත්තෙන් ගැහැණුන්ට ඒ පුරුෂාධිපත්‍යයට අවනත වෙන හැටි ප්‍රැක්ටිස් කරවන තැනක්. මේ වගේ පුරුෂ මූලික සිස්ටම් එකකට අනුගත වුන පිරිමි සහ ගැහැණු කැම්පස් එකෙන් එලියට ගිහින් මොන ක්ෂේත්‍රය ඇතුලේ නිරත වුනත් ඒ හැම කෙනා ම අර පුරුෂ මුලික සිස්ටම් එකට අනුගත වීම එලෙසින් ම පවත්වාගෙන යනවා විනා ඒකට විරුද්ධ ව වෙනසක් වෙනුවෙන් මැදිහත්වීමක් සිද්ධ වෙන්නෙ නැහැ .

මාර්තු 8 වෙනිදාට කාන්තා අයිතීන්, ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය , ස්ත්‍රීවාදය වගේ ගොඩාක් දේවල් ගැන පෝස්ට් ශෙයා කරන, කතා කරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් තමන් ඉගෙන ගන්න තැන තියෙන පුරුෂමූලික අවුල් සිස්ටම් එක වෙනස් කරන්න සම්බන්ධ වෙලා තියෙනවා ද කියන එක මට ප්‍රශ්නයක්. 

ඒනිසා, හැමදාම මගේ යෝජනාව වෙන්නෙ අපි මේවා කතා කරනවා වෙනුවට ප්‍රැක්ටිස් කරමු. තමන් ඉන්න තැන ඉදන් , තමන් ඉන්න ක්ෂේත්‍රයේ ඉදන් මේවා ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරමු , ඇප්ලයි කරමු. මතවාදීමය වශයෙන් මැදිහත් වෙමු . 

පිරිමි - ගැහැණු භේදයකින් තොර ව සියලුදෙනාගේ ම අයිතීන් වෙනුවෙන් මැදිහත් වෙමු.

Top