කම්කරුවා තවදුරටත් කිසිවකුගේ දඩයමක ගොදුරක් විය යුතුද? (824)

post-title

රටක ජීවනාලිය වන කම්කරු ජනතාවගේ සේවාව ඇගයීම සැමරීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම මැයි දිනයේ දී සිහිපත් කළ යුතුමය. මැයි දිනය නිවාඩු දිනයක් ලෙස බොහෝ දෙනාගේ සිහියට නැගෙන අතර මැයි පළවැනිදා නම් සිහියට නැගෙන්නේ මැයි රැළි සහ පෙළපාළි යන්නයි. සෑම වසරකම මැයි 1 වැනිදා ලොව පුරා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබයි. වසර සියයකට එහා ඉතිහාසයක් පවතින කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම 1886 වසරේ චිකාගෝ නුවර දී සිදුවුණු එක්තරා සිදුවීමක් හරහා සිදු විය. ඉන් වසර කිහිපයකට පසුව ලොව බොහෝ රටවල් මැයි 1 වැනි දින කම්කරු දිනය සැමරීම සිදු කරයි. නමුත් ශ්‍රී ලංකවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වූයේ ඊට වසර 38කට පමණ පසුව යි.

ශ්‍රී ලංකා කම්කරු දිනයේ ආරම්භය සිදු වූයේ ඊ.ඒගුණසිංහ නම් කම්කරු නායකයාගේ මැදිහත් වීමෙනි. 1891 මැයි 1 වැනිදා එනම් කම්කරු දිනයක උපත ලැබූ ගුණසිංහ තරුණ වියේ සිටම කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර එනිසාම ඔහු මෙරට කම්කරු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත්විය. එම කාල වකවානුව වන විට ලොව බොහෝ රටවල්වල කම්කරු දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ නිසාම ගුණසිංහට මෙරට තුළ කම්කරු දිනය සැමරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්1927 වසරේ දී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මැයි දින පෙරහැරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි භෝග බෙදාදෙමින් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වුණි. අප රට තුළ මුල්ම වරට සංවිධානාත්මක මැයි රැළියක් පැවැත්වුණේ 1933 වසරේ දී යි. එදා උත්කර්ෂවත් අයුරින් පැවති මැයි රැළිය කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

අප රට ද ඇතුලු බොහෝ රටවල දේශපාලන පක්ෂ විසින් තම බලය රැක ගැනීම සහ බලය වැඩි කර ගැනීමේ අරමුණීන් කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඒත්තු ගැන්වීම සඳහා මැයි දිනයේ දී “වැඩ කරන ජනතාව වෙනුවෙන්” යන්න තේමාවන් සමගින් අති විශාල ජන සහභාගීත්වයකින් මැයි දිනය සැමරීමට කටයුතු කරයි. කම්කරු ජනතාවට මැයි දිනය පිළීබඳව පැහැදිලි අවබෝධයක් පවතීද යන්නම සැක සහිත ය. බොහෝ අවස්තාවල රැල්ලට මැයි දින පෙළපාළී සහ මැයි රැළිවලට ඇදෙන කම්කරු ජනතාව කාගේ හෝ උගුලක ගොදුරක් විය හැක. බත් පාර්සලයකට, යම් දීමනාවකට තම චන්ද අයිතිය පවා විකුණා දමන්නට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන්නේ අවබෝධයක් නොමැතිකම නිසාද, ආර්ථික අපහසුතා නිසාම ද යන්න ගැටලුවකි. කම්කරු ජනතාව දිගින් දිගටම රවට්ටන්නේ පටු අරමුණූ සහ දේශපාලන වාසි ලබා ගන්නා පුද්ගලයන්ම නොව විවිධ සමාගම්ද, හොර සේවා සපයන්නන්, වෙළෙන්දන්ද එහි කොටස්කරුවෝ ය. මද්‍යසාර සමාගම්ද එහි තවත් කොටස් කරුවෙකි.

එදා වේල අතට ගන්නා කම්කරුවා නැතහොත් මාසේ පඩිය අතට ගන්නා කම්කරුවා මද්‍යසාර, දුම්කොළ හෝ වෙනත් යම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් නම් ඔහුගේ ජීවිතය කිසිසේත්ම පහසු හෝ සාර්තක නොවේ. ඔහු මද්‍යසාර උගුලට හසු වූ පුද්ගලයෙකි. ඔහුටත් නොදැනීම ඔහුගේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවන් සඳහා පවතින මුදල් මද්‍යසාර හෝ දුම්වැටි, වෙනත් මත්ද්‍රව්‍ය වෙනුවෙන් නාස්ති කර ගන්නේ, ලෙඩ රෝග මෙන්ම, සියදිවි ටිකෙන් ටික හානිකර ගනිමින් භයානක මරණයකට ඉඩ සකස් කරගනිමිනි. මද්‍යසාර සමාගම් කෙතරම් කූට වන්නේද යත්, තම පාරිභෝගික පිරිස රෝගී වී නැසී යන බව දන්නා නිසාවෙන්ම ඔවුන් අනාගත පරම්පරාව ඔවුන්ගේ ගොදුරු කර ගැනීමට වේලාසනින්ම කටයුතු කරයි.

මැයි රැළි පැවැත්වීමේ අරමුණ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි. නමුත් කම්කරුවා තව දුරටත් දුප්පත්කමේ රඳවා තබා ගනිමින් මද්‍යසාර සමාගම්වලින් ලබා දෙන අරක්කු කාලකට හෝ අරක්කු භාගයකට කම්කරුවා රඳවාගෙන සූරාකෑමේ ව්‍යාපාරයක් කම්කරු දිනයේදීත් ක්‍රියාත්මක වන බව නොරහසකි. එම වැඩසටහන් සංවිධානය කරන පාලකයන් නැතහොත් පුද්ගලයන්ගෙන් විය යුත්තේ කම්කරුවා එම සමාගම්වල උගුල්වලින් ගලවා ගැනීමයි. ලොව අඩු ආදායම්ලාභී පුද්ගලයන් මේවාගෙන් ඉවත් කර ගැනීමට, මෙම උගුල්වලින් ගලවා ගැනීමට ප්‍රතිපත්ති සකස් වීම සහ ක්‍රියාත්මක වීම සිදු වන අතර එහිදී මද්‍යසාර, දුම්වැටිවල බදු ඉහළ දැමීම තුළින් ලබා ගැනීමට ඇති අවස්තාව අවම කිරීම, ලබා ගැනීමේ පහසුකම් අවම කිරීම, ඒවා අලෙවි කරන වෙළඳසැල්වල විවෘත කරන වේලාවන්, වසා තබන වේලාවන්වල වෙනස්කම් ඇති කිරීම ආදී ක්‍රියාමාර්ග සහ ඵලදායී ඵතිපත්ති ඇති කරමින් තව දුරටත් දුප්පත් ජනතාව දුප්පත් වීම අවම කර ගැනීමට ලොව බොහෝ රටවල් කටයුතු කරයි. ඒ අනුව තව දුරටත් සිදු විය යුත්තේ දුප්පත් ජනතාව සූරාගෙන කන මද්‍යසාර සමාගම්වලට තවත් අවස්තා සකස් කර දී තව දුරටත් ඔවුන්ගේ භාවිතය වැඩි කිරීම සහ ඔවුන්ව මද්‍යසාර සඳහා පුරුදු කිරීමෙන් තව දුරටත් දුප්පත් කිරීම නොවේ. මෙහිදී කම්කරු ජනතාව තමාව තව දුරටත් සූරාකමින් මද්‍යසාර භාවිතය සඳහා යොමු කර ගැනීමට ලොකු වැඩපිළිවෙලක් සිදු වන බව අවබෝධ කරගත යුතු අතර ඒවා වෙනස් කිරීම වෙනුවෙන් කම්කරුවන් ලෙස නැගී සිටිය යුතුය.

සමාගම් උගුල්වලට හසු වී ඉන් ගැලවෙන්නට උත්සුක නොවී ආර්තික අපහසුතා පිළිබඳව කණගාටු වෙමින් ආණ්ඩුවට, සමාගම්වලට, නැතහොත් වෙනත් කිසිවකුට දෝෂාරෝපණය කිරීමෙන්ම පමණක් පලක් නැත. එය "පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ"විය හැක. සෑම මැයි දිනයකම මැයි රැළි පැවැත්වීම, වැඩවර්ජන, ඉල්ලීම් කර යමක් ලබා ගැනීම පමණක් ඵලක් වේ ද යන්න තව දුරටත් සිතා බැලිය යුතු ය. එසේ නම් හසු වී ඇති උගුල්වලින් ද කම්කරුවා ගැලවිය යුතු ය. ඔවුන් කිසිවකුගේ අතකොලුවක් හෝ මුදල් පිපාසාවන් සංසිඳුවන්නෙක් නැතහොත් වහලෙකු නොවිය යුතු ය. කම්කරුවන්ට ඔවුන්ගේ සේවාවන්ට අනුව සාධාරණ ගෙවීමක් සිදුවිය යුතුම ය.ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් අසාධරන නොවන්නේ ය. නමුත් ආර්තික අපහසුතාවන් සහ සදාකාලිකවම මාසය යන්තමට ගෙවා ගනිමින්, හුස්ම වෙනුවෙන් කුස පුරවා ගන්නටත්, අපහසුතා බොහොමයක් සමග අවශ්‍යතා ඉටු කර ගැනීම හෝ ඉටු කර ගැනීමට දරන උත්සාහයත් සදාකාලික විය යුතුද? ජීවිතයේ අපට නොයෙක් අවස්තාවන් හා මාර්ගයන් ලැබෙනු ඇත. සදාකාලිකවම දුක් විඳින කම්කරුවකු වීම හෝ කම්කරුවා ඉතා අපහසුවෙන් ජීවිතය ගැට ගහ ගන්නා අයකු නොවිය යුතු ය. ස්වයං රැකියා සහ ආර්තික අතින් සිටිනා තැනකින් අඩියක් හෝ ඉදිරියට එන්නට සෑම පුද්ගලයකුම කටයුතු කළ යුතු ය.

පළමුව අපට අත්‍යවශ්‍ය නොවන නමුත් අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය බවට ඔබේ මනසට කාවද්දා ඇති භාණ්ඩ හා සේවා පරිභෝජන නතර කර දැමිය යුතුය.එය සරලව ලියා දැමුවද සරලව සිතිය යුතු කාරණයක් නොවන්නේ ය. ඔබ මද්‍යසාර දුම්වැටි මිලදී ගන්නකු හෝ එවන් අයකුගේ පවුලේ පුද්ගලයකු නම් දිනකට සිගරට් පහක් මිලදී ගන්නා පුද්ගලයකුට සතියකට යන මුදල රුපියල් 3500.00කි. මාසයකට 14000.00ක් සහ වසරකට 168000.00ක මුදලක් වැය වේ. මද්‍යසාර මිල දී ගන්නා පුද්ගලයකුට වසරකට යන මුදල මෙම 168000.00ක මුදල මෙන් දස ගුනයකටත් වැඩි විය හැක. ආර්ථිකමය අතින් තමන්ටත් නොදැනීම තමන්ව පරිහානියට පත් කරගන්නා අසරණ කම්කරුවන් මෙම උගුලෙන් ගැලවිය යුතුම ය. හැමදාම අසරණ දුප්පත් වැඩකරන ජනතාව ලෙස ජීවත් වීමට වඩා සමාගම් උගුල්වලින් ගැලැවී ජීවිතය දිනිය යුතුම ය. ආදරණීය කම්කරුවනි. මේ ඔබ රැල්ලට යන කාගේ හෝ අතකොලුවක්ව සුසුම්ලන මැයි දිනයක් නොවිය යුතුය. එය මෙතකින් අවසන් විය යුතු ය. මෙවර කම්කරු දිනය ඔබේම අවබෝධයෙන් ඔබ හසු වී ඇති උගුල්වලින් නිදහස්වන සැබෑ කම්කරු නිදහස් අරගලයක් විය යුතුය

Top