ජන දිවි වතගොත - නව විවාහපත් යුවළකගේ සුබ සිද්ධියට ඉණිමං සදන කුල්ලපන්නෙ පිදීම (240 වන ලිපිය)

post-title

වවුලන් බඩගහන ජාමෙ ඉරගල වැටෙන්ට ඇත්තේ තවත් අඩ හෝරාවකිනුත් අඩක් වැනි කාලයක් පමණි. අත්තම්මාගේ පැල්කොටේ පිල අද්දර ඈඳිගෙන උන්නු මං, බලන් උන්නෙ ඉණිවැට අද්දරින් අම්බරු රෑනත් දක්කන් පිළිකන්න දෙසට යන ආතා දෙසය. ඒත් එක්කම ගොම්මනේ හීං කළුවර වැටෙන්ටත් මත්තෙන්,අහසින් වඩින කිතයියා දෙස බැලුනේ ඉබේටමය. ගෙපැලේ ඉනි වැට අද්දරින් ඔබ්බට, පේන තෙක් මානයේම ඇත්තේ වෙල්‍ යායය. ඉන් දකුණු පසට වන්ට මහ වැවෙන් වතුර අදින දෙකේ ඇළ වේ. බටහිර අහස් කොණින් ඒලයියා බැස යන ඉසව්ව කහ පාටින් දිදුලන්නෙ හරියට, අහස් ගැබේ පටන් තුරු ලතා වලටත් කසී සළු අන්දලා වාගෙයි. විගසින් ගෙපිළෙන් නික්ම පිළිකන්නෙන්ම කුස්සියට ගොඩ වුණු මා ඊට ඇතුළුවන විටම දුටුවේ, පෙර දිනෙක කිරි අම්මා විසින් සාදා බෙලි ලාටු උලා පිළිසකර කරන ලද වරිච්චියේ එල්ලා ඇති අලුත්ම කුල්ලය. එවිට කිරිඅම්මා උන්නේ පොළොස් ඇඹුලක් සකස් කරමිනි.. ඒ දුටු මාගේ කටට කෙල ඉණුවේම රස නහර පිනා යන පොළොස් ඇඹුලේ රහ මතක් වීය. 

කුල්ල එල්ලා ඇති තැනට පහළට වන්ට ඇති බංකුවේම මා නැවතත් ඈඳි ගත්තේ කුල්ලේ වත ගොතක් කිරිඅම්මාගෙන්ම අසා දැන ගැනීමේ අටියෙනි.

"කිරිඅම්මා...?" 

යැයි ඇමතූ විගසම හැඳ සිටි සායම හැංගුණු චීත්ත රෙද්දෙන්ම දෙඅත් පිසලමින් මවෙතට පැමිණි ඈ "මොකදෑ" යැයි විමසුවේ කහට කෝප්පයක් බොනවාදැයි ද අසමිනි. නමුත් ඊට කිසිවක් නොකී මා, අර අදිමින් හිටි පැනය, පෙරළාම ඇගෙන් විමසුවෙමි.

"පුංචම්මගෙ මඟුල් දොහේ කිරි අම්මගෙ පරණ කුල්ල වීපතක් එක්ක බාප්පොච්චිට පිළිගැන්වුවෙ ඇයි කිරි අම්මෙ? ඇරත් ඒක දුන්නෙ ආත නොවැ."

 

" පැහිච්චකම් නොදොඩා මේං මේ කිතුල් හකුරු කෑල්ල කාල මේ රණවරා කෝප්පෙ බිව්ව නං" යැයි පමණක් ඈ පැවසීම තුළ පැනනැගුණේ දැඩි කුතුහලයකි. ඉනික්බිති බංකුවෙන් නැගී සිටි මා, දොරකඩට විත් අම්බරු රෑනට වතුර දී ඇළ වෙත ගොස් එන ආතා දුටුවේ බසමන්ද කළුවර අතරින් ය. කිතයියා මෝදු වී දිලිහෙන්ට ඇත්තේද තව සුළු මොහොතකි.

ඒත් සමගම හිත යට මෝදු වුණු අමනාපෙත් නිසාම, රණවරා කෝප්පයම උගුරට දෙකට බී හකුරු කැබැල්ල පසෙකින් තබා ආතා වෙත ගෑටුවේ එම පැනයම ඔහුගෙන් අසා දැනගැනීමට මාන බලමිනි.

හැබෑටම මොකක්ද මේ චාරිත්‍රය.....?

එය නමින් " කුල්ලපන්නෙ පිදීමය"

මඟුල්දොහේ මනමාලිය වෙනුවෙන් ‘කුල්ලපන්නෙ දීම’ සිරිත් සම්මතයකි. එය හතරපේරුවේ ඥාතීන් ඉදිරිපිට සිදුවන්නකි. එසේ ම මනමාලිය හැදුණු වැඩුණු ගෙයි එළිපත්තෙන් එපිටට ගොස් කුල්ලපන්නෙ දීම තහංචි ය. එය ඇයගේ ගෙතුළ දී සිදු කළ යුතු චාරිත්‍රයකි. 

පුරාණ වැව් ගම්මානවල ඇත්තන්ගේ සිරිත් සම්මතයක් ලෙස මංගල්ලය තීන්දු කරනුයේ ඇවැස්ස නෑන මස්සිනා අතර ය. එසේ නොවුවන ද මඟුල් කපුවන් විමසා බලා මංගල්ලයක් තීන්දු වූවද එය ඥාතිත්වය මත පදනම් වෙයි. නමුත් එය ලේ ඥතීන් අතර සිදු නොවේ.

ගැටවර සංදියේ මනාපෙන් උන්නු නෑනණ්ඩියට බහදීම මඟින් දීගයට මග සෑදෙන්නේය. එසේ වුවද එය දෙපාර්ශ්වයේ ආශිර්වාදය මත සිදුවිය යුතු මංගල්ලයක් බවට පත්වීම සිරිත් සම්මතය වේ. එසේ වුවද යම් යුවතියකට ළෙන්ගතු වු පසුව හෝ මංගල්ලය තීන්දු කරන වි‍ට හෝ කුල්ලපන්නෙ දෙන ‘කලප්පන්න’ මොනවාදැයි ඇසීම තහංචියකි. කොටින්ම මනාලියට හෝ ඒ ගැන ඇසීම තහංචි වේ.

කුල්ලපන්නෙ දීම යනු මනමාලිය වෙනුවෙන් මනමාලියගේ මවුපියන්ට පැවරිය හැකි උරුමය පිළිගැන්වීමකි. දියණිය හිස් අතින් මනමාලයාට දීග දීම මඟුල් සිරිතක් ලෙස නොපිළිගැනෙයි. මේ අනුව ගංගෙදර හාල්පොළන කුල්ල උපයෝගී කර ගැනීම සිරිත ය. වෙනත් කුල්ලක් භාවිතයට ගැනීම තහංචි ය. හාල්පොළන කුල්ල පිරිසුදු ය. එසේම විශ්වාසවන්ත ය.

හාල්පොළන කුල්ලට දියණියට පැවැරිය හැකි වස්තුව සංකේතාත්මක ව තබා පිරිනැමීම මේ චාරිත්‍රයේ අරමුණ ය. එහෙයින් දියණියට හෙවත් මනමාලිය වෙනුවෙන් කුඹුරු පැවරිය හැකි නම් එවිට වී පතක් පමණ කුල්ලට දමයි.

සහල් ලබා දීම මඟින් ඇය වෙනුවෙන් අලුත් සහල් පිරිනමන වගක් කියැවෙයි. එළ ගවයින් දිය හැකි නම් ‘කිරිමුගය’ තබයි. මුගය වනාහි පට්ටියේ දී කිරි දොවාගැනීමට භාවිතා කරන පොල්කටුවටය. එමෙන්ම සී සෑමට අවශ්‍ය වන මී ගොන් පිරිනමන්නේ නම් ‘කෙවිටක්’ නැතිනම් මී ගොන් ඈඳන ‘ඈදුත්තක්’ තබා ඒ පිළිබඳව ඉඟි කරනු ලබයි.

මනමාලයා වෙනුවෙන් නඟුල්, වියගස්, හා‍ පෝරු ආදී කෘෂි මෙවලම් ත්‍යාග දෙයි නම් ඒ බව දන්වා සිටිනුයේ ‘අමුතුබානක්’ තැබීමෙනි. අමුතුබාන වනාහි හී හාන, පෝරුගාන විට නඟුලත්, පෝරු ඇඳුරත් වියගහට ගැටගසා ලන පට්ටාව ය. සහල් ගරන ‘නෑඹිළි‍ය’ තබා ඇත්නම් එමඟින් උයාපිහා ගැනීමට අවශ්‍ය කුස්සියේ මැටි වළං හට්ටි මුට්ටි සියල්ල හැකි ලෙස පිරිනමන බව දැනවීමකි.'ලුණු පොළොත්ත’ තිබේ නම් ආහාර පිසීමට අවැසි කුස්සියේ සියලු අමුද්‍රව්‍ය පිරිනමන බවට ඉඟියකි.

මනමාලියට පැඳුරු - මාගල් - වට්ටි - පෙට්ටි වැනි පන් වියමන් මෙවලම් ලබා දෙන බවට දක්වන ඉඟිය වන්නේ ‘පන්කැත්තක්’තැබීම ය. ‘හැඹිලියක්’ තබා තිබේ නම් ඇයට මුදල් හදල් ලබාදෙන බවද රෙදිකඩක් සමඟ නුලක් ඉඳිකටුවක් ඇතිනම් එවිට රෙදි පෙරෙදි නුල- ඉඳිකටුවේ සිට පිරිනමන බව සංකේතාක්මකව පෙන්වා සිටියි. ඇතැම් විටක කුඩා කැට පොඩියක් තැබීමෙන් මුදල් හදල් ද, ආභරණ පෙට්ටියක් තිබේ නම් එමඟින් මනමාලියට කන කර ආභරණ සියල්ල පවරන වග දනවයි.

මේ ආකාරයට කුල්ලපන්නෙ දෙන්නේ මනමාලියගේ අප්පොච්චී විසිනි. එහෙත් කුල්ලපන්නෙ දෙන විට එය අතින් ඇල්ලීම මනමාලයාට තහංචි වේ. සිය මාමණ්ඩිය විසින් යුවතිපතීන් දෙපළ වෙතට එය ගෙනැවිත් පිරිනමන අතර බොහෝවිට මේ කුල්ලපන්නෙ තබනුයේ මනමාලයාගේ දෙපා ළඟිනි. එවිට එය බාරගත් බවට මනමාලයා සිය මාමණ්ඩියට වැඳීම සිරිතය.

කුල්ලපන්නෙ දීමේ චාරිත්‍රයක් ලෙස එලෙසින් මනමාලයා ගෞරව දක්වා භාර ගැනීමෙන් පසුව මනමාලයා විසින් එම කුල්ල මනමාලිය වෙතට පවරනු ලබයි. මනමාලිය සිය මව හෝ පියා වෙතට පවරා දෙනු ලැබේ. නමුදු කිසිවෙකුට හෝ කුල්ලේ තිබෙන දෑ බලා අඩු පාඩු කීම, තව තව දෑ අවශ්‍ය බව කීම තහංචිය . එම තහංචිය වැටෙනුයේ මනමාලයා මනමාලිය වෙතට කුල්ලපන්නෙ ලබා දෙන විට මනමාලයා සිය හුරු අතින් සහල් හෝ වී ගොඩට අත තැබී‍මත් සමඟිනි. එමඟින් මනමාලයා තම තනි තීන්දුවට මනමාලියගේ පාර්ශ්වයෙන් ලබා දීමට එකඟ වූ දිරිය භාරගත් බවට හතරපේරුව හමුවේ එකඟ වීමකි.

පුරාණ ගම්මනවල ඇත්තන් අතර මඟුලක් තීන්දු කළ විට මනමාලයාට සහ මනමාලියට මතු දිවිය සවිමත් කරගැනීම පිණිස ආධාර දීම කුල්ලපන්නෙ දීමේ සිරිතෙහි අරමුණ ය. තම මවු පිය සෙවණේ රැඳුණු දරුවන් දීග කෑමට පටන්ගත් විට හාහාපුරා කියා ඔවුන්ට නව දිවිය ආරම්භ කිරීමට අවශ්‍ය දෑ ලබා දීමෙන් නව දිවියට මං සැලසේ. කෙසේ නමුත් මේ දෙපළගේ ඉදිරි දිවි ගමනේ දියුණුව හෝ බිඳවැටීම තීරණය වන්නේ ඔවුන්ගේ සකසුරුවම් බව හා අරපිරිමැස්මේ ගුණාංගය මතය.

එසේනම් කුල්ලපන්නෙ පිදීම පුරාණ ගම්මාන වල සිදුවූ ඉතා අගනා චාරිත්‍රයක් වගත් ඉන් නව විවාහපත් යුවළගේ සුබ සිද්ධියට ඉණිමං තැනවූ සාධකයක් ලෙසද පෙන්වාදිය හැකිය.

ලබන සතියෙත් ජන දිවි වතගොතකින් හමුවෙමු

Top