කළු සල්ලි සුදු කිරීම (781)

post-title

කළු සල්ලි සුදු කිරීම එහෙම නැත්නම් මුදල් විශුද්ධිකරණය කියන්නේ මොකක්ද. කළු සල්ලි සුදු කිරීම කියන්නේ මොකක්ද කියලා හොයන්න කලින් අපි බලමු කළු සල්ලි හා සුදු සල්ලි කියන්නේ මොනවද කියලා. යුක්ති සහගත නොවන සල්ලි එහෙමත් නැත්නම් අයථා විදිහට උපයන සල්ලි තමයි කළු සල්ලි විදිහට හඳුන්වන්නේ. සුදු සල්ලි කියලා කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. සාධාරණව, යුක්ති සහගත විදියට ඔයා උපයන සල්ලි තමයි සුදු සල්ලි කියලා කියන්නේ.

අයථා විදියට උපයන සල්ලි තමන්ගේ ළඟ තියාගන්න එක භයානකයි.

උදාහරණයක් විදියට හිතල බලන්න ඔයා අයථා විදියට ව්‍යාපාරයකින් සල්ලි උපයනවා කියලා. ඔයාගේ මේ සල්ලි ඉපයීමේ ක්‍රමවේදයේ විදියට විවිධ අය ඔයාගේ account එකට සල්ලි දානවා. විවිධ අය ලක්ෂ ගණන්වලින් ඔයාගේ එකම account එකකට සල්ලි දානකොට account එක චෙක් කරනකොට ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයාගේ රැකියාවෙන් ඔයාට ලැබෙන මුදල් එහෙම නැත්නම් ව්‍යාපාරයෙන් ඔයාට මාසිකව ලැබෙන මුදලට අමතරව අති විශාල මුදල් ප්‍රමාණයක් විවිධ අය විසින් ඔයාගේ account එකට එවනකොට, ඒ ඇයි? ඒ සල්ලි කොහෙන්ද? ඔයා ඒ සල්ලි උපයන මාර්ගය මොකක්ද කියලා බැංකුව අවධානය යොමු කරන්න පටන් ගන්නවා.

ඊළඟ කාරණය තමයි මේවා වියදම් කරන්න අමාරුයි. ඔයාට තියෙන රැකියාව එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය ගැන සාමාන්‍යයෙන් සමාජය දන්නවා. ඉතින් ඔයාට ඔයාගේ රැකියාවේ ස්වභාවය හෝ ව්‍යාපාරයෙන් ඔයාට ඉපැයිය හැකි මුදලට වඩා ඔයා වියදම් කරනවා නම් උදාහරණයක් විදියට ඔයාගේ රැකියාවෙන් හෝ ඔයාගේ ව්‍යාපාරයෙන් ඔයාට ලක්ෂයක විතර මුදලක් ලැබෙනවා කියලා නිගමනය කරලා තියෙනකොට, ඔයා මාසෙකට කෝටි ගණනක් වියදම් කරනවා නම්, යාන වාහන ගෙවල් දොරවල් වගේ දේවල් ගන්නකොට සියලු දෙනාම සැක කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ දේවල් නීත්‍යනුකූලව හොයන තත්ත්වයට පත් වෙනවා.

ඉතින් මේ හින්දා ඔයා මේ අයථා විදියට උපයන සල්ලි එහෙම නැත්නම් කළු සල්ලි සුදු සල්ලි විදියට පෙන්වන්න උත්සාහ කරනවා ඒකට තමයි මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ.

ඇත්තටම ඇයි මේ විදියට මුදල් විශුද්ධිකරණය කරන්නේ?

ඒකට විවිධාකාරයේ හේතු තියෙනවා.

වත්කම් සඟවා තබා ගන්න.
සමාජ තත්වය පවත්වා ගන්න.
බදුවලින් බේරෙන්න.
පාරම්පරිකව දේපල බෙදීමේ දී ඇතිවන ගැටලු මඟහරවා ගන්න.
ත්‍රස්තවාදීන්ට තම රහස්‍ය භාවය තබාගන්න.
නීතිමය කටයුතු වලින් බේරෙන්න.

වගේ හේතු ගන්න පුළුවන්.

මුදල් විශුද්ධිකරණය කරන ක්‍රම එහෙම නැත්නම් මුදල් විශුද්ධිකරණය කරන අවස්ථා බොහෝමයක් තියෙනවා.

ඔයා අයථා විදියට මුදල් උපයන කෙනෙක් නම් ඔයා රැකියාවට හෝ නීත්‍යනුකූල ව්‍යාපාරයට අමතරව තවත් නීත්‍යනුකූල කාර්යාලයක් එහෙම නැත්නම් පුංචි ව්‍යාපාරයක් තමන්ගේ සමීපතමයෙක්ගෙ නමට ලියාපදිංචි කරවනවා. සමහර වෙලාවට මේක තමන්ගේ ම නමට ලියාපදිංචි කර ගන්නත් පුළුවන්. එහෙම කරලා ඒ ව්‍යාපාරයෙන් එන මුදල් සම්බන්ධ වාර්තාවලට ඔයාගේ කළු සල්ලිත් එකතු කරනවා. හැබැයි මෙතනදි මේ මුදල් සම්බන්ධ කටයුතුවලට ඔයාගේ විශ්වාසවන්ත කෙනෙක් එහෙමත් නැත්නම් සරලව ම කිව්වොත් ඔයාගේ අතකොළුවක් විදියට වැඩ කරන කෙනෙක් තියාගන්න අත්‍යවශ්‍ය ම වෙනවා.

උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ මේ පුංචි ව්‍යාපාරය ඇඳුම් මහන පුංචි garment එකක් කියලා. මාසයකට ඇඳුම් 1000ක් මහනවා නම් ඔයාගේ මූල්‍ය වාර්තාවල තියෙන්නෙ මාසයකට ඇඳුම් 3000ක් මහනවා කියලා.

ඉතින් ඕනෙම කෙනෙක් ඔයාගේ ආදායම් ගැන ඇහුවොත් ඔයාට කිසිම බයක් නැතුව මේ වාර්තා පෙන්වන්න පුළුවන්.

මේ ව්‍යාපාරය ඔයාගේ නමට නැතුව වෙනත් කෙනකුගේ නමට ලියාපදිංචි කරපු එකක් නම් ඔයාට ගැටලු ඇති වෙන්න තියෙන ප්‍රවණතාව ගොඩක් අඩුයි.

ඒ වගේම මුදල් විශුද්ධිකරණය කරන තවත් ක්‍රමයක් තමයි tax heavens වල ව්‍යාපාරවල නිරත වීම.

මොනවද මේ tax heavens කියලා කියන්නේ??

tax heavens කියන්නේ මුදල් සම්බන්ධ එහෙමත් නැත්තම් බදු සම්බන්ධ නීති ලිහිල් රටවල්. මේවා ඇත්තටම මුදල් විශුද්ධිකරණයට එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීමට නම ගිය රටවල්. උදාහරණ විදිහට සීෂෙල්ස්, උගන්ඩාව, පැනමාව, සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් හඳුනගන්න පුළුවන්.

මේ රටවල්වල නියෝජිතයෙක් පාවිච්චි කරලා ඔයාට පොඩි company එකක් දාගන්න පුළුවන්. එතකොට ඔයා උපයන කළු සල්ලි ඒ ව්‍යාපාරයේ නමට දාන්න ඔයාට පුලුවන්. හැබැයි කවුරුත් දන්නෙ නැහැ ඒ ඔයාගේ ව්‍යාපාරයක් කියලා. මොකද ඇත්තටම ඒක කරගෙන යන්නේ ඔයා නෙවෙයි. ඒ company එකේ නමට වාහන, පෞද්ගලික ගුවන් යානා, පෞද්ගලික නැව්, සුවපහසු හෝටල්, සුපිරි නිවාස, ඉඩම් විතරක් නෙවෙයි සමහර වෙලාවට දූපත් වුනත් මිලදී ගන්නවා. හැබැයි මේ හැමදේකම අයිතිකරු ඔයා. හැබැයි ලෝකෙට පේන්නේ ඒවා ඉතින් අර සමාගමට කියලා. ඉතින් ඔයාගේ කළු සල්ලිවලින් වෙන්න පුළුවන් අවාසිදායක තත්ත්වවලින් බේරෙන්න ඔයාට පුලුවන්.

ඇත්තටම මේ කළු සල්ලි සුදු කිරීම එහෙමත් නැතිනම් මුදල් විශුද්ධිකරණ කියලා කියන්නේ III වෙනි ලෝකයේ රටවල් ඒ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අති විශාල ගැටළුවක්. මේ රටවල මිනිසුන්ගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සංවර්ධනයට යොදවන්න තිබුණු පොදු සල්ලි මේ විදියට එක්කෙනෙක්ගෙ, දෙන්නෙක්ගෙ, හෝ කිහිප දෙනෙක්ගෙ account වලට ගිහින් ඔවුන් ධනවතුන් බවට පත්වෙනවා. බහුතරයක් ජනතාව දුප්පතුන් එහෙමත් නැතිනම් සාමන්‍ය පාන්තිකයන් විදියට හැමදාම එක මට්ටමක ජීවත් වෙනවා. ඒ වගේම ඒ රටවල්වල දියුණුව එන්න එන්න ම පහළට ගිහින් ආර්ථික වර්ධනය, රටේ සංවර්ධනය සෘණ ගණන් දක්වා පහළ යනවා.

ඉතින් මේ මුදල් විශුද්ධිකරණය එහෙමත් නැතිනම් කළු සල්ලි සුදු කිරීම ගැන කියවනකොට ඕනෑ තරම් ජීවමාන, සමීප උදාහරණ ඔයාට මතක් වෙන්න ඇති. ඉතින් මම ඒක විශේෂයෙන් ලියන්න ඕනි නෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් පුංචි දෙයක් මතක් කරන්නම්. ඔයත් මමත් අත්විඳින අපේ රටේ තත්වයට එක් පසෙකින් මුදල් විශුද්ධිකරණයත් හේතුවක් වෙන්න පුළුවන්.

Top