බෞද්ධ දර්ශනයේ නිරූපිත මනෝ චිකිත්සක විධි (467)

post-title

බුදුදහම මිනිසා ඇතුළු සියලු සත්ත්වයන්ගේත් ගහකොළ සහිත සමස්ත පරිසරයේත් සංරක්ෂණයට හා ශුභසිද්ධියට උපදෙස් දෙන ලෞකික හා ලෝකෝත්තර යන උභය පරමාර්ථ උගන්වන ගැඹුරු දර්ශනයකි. බුදුදහම විශ්ව සත්‍ය ගවේෂණය කළ දර්ශනයකි. එහි සඳහන් වන අයුරින් රෝග විශාල ප්‍රමාණයකට නිදානය වනුයේ මනසයි. ලෝකයේ සියලු දුක්ඛයන්ට හේතුව මනස බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බුද්ධ දර්ශනයෙහි දැක්වෙන ආකාරයට යම්කිසි දුකක් වේද ඒ දුක ඉවත්කර ගැනීමට නම් මනස සන්සුන් කරගත යුතු ය. එනම් මනසින් සියලු දුක්ඛයන් ඉවත් කර ගතයුතු ය.

පුද්ගලයාගේ කායික හා මානසික ස්වභාවය හඳුනාගැනීම සඳහා දාර්ශනික හා ආගමික ඉතිහාසය තුළ විවිධ ප්‍රයන්ත දරා තිබේ. බුදු දහම මූලිකවම මනස පිළිබද හදාරන විද්‍යාවක් ලෙසට අයෙකුට ප්‍රකාශ කළ හැක. බෞද්ධ මනෝවිද්‍යාව ආචාරමය මනොවිද්‍යාවක් (Ethical Psychology) ලෙස සළකනු ලැබේ. මෙම ආචාරමය මනෝවිද්‍යාවේ පදනම සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ත්‍රිපිටකයේ සඳහන් වේ. බුදුදහමේ මූලික ඉලක්කය වන්නේ මානසික අසහනයෙන් මිදීමයි.

අංගුත්තර නිකාය සඳහන් වන පරිදි ත්‍රිපිටක සාහිත්‍යය පුරාම මානසික ශාන්තිය අත්කරගන්නා විවිධ ආකාරයන් පිළිබඳව විස්තර දක්නට ලැබේ. පරිසරය, පරිසරයේ පවත්නා විවිධ වස්තු, ස්ත්‍රිය ආදී විවිධ සංකල්ප මඟින් ලොවෙහි පැවැත්ම තීරණය කරනු ලබයි. එම සංකල්ප දැඩිව ග්‍රහණය කිරීම හෝ ලෝලීත්වය මඟින් පුද්ගල මනසෙහි සමතුලිතතාවය බිඳ හෙළයි. මඩෙහි පිපෙන නෙළුම් මල මඩ නොතැවරී ඉහළට පැමිණ විකසිත වන්නාක් මෙන් ප්‍රඥාවන්තයා කිළිටි ජන සමාජයේ කෙලෙස්වලින් බැහැරව නිවැරදි මාර්ගය සාක්ෂාත් කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ ලෝක සූත්‍රයේ විස්තර කරයි.

කායික මානසික නිරෝගීතාවය පිණිස බුදුදහමෙහි ඇති පිරිත් දේශනය උසස් මනෝ චිකිත්සන ක්‍රමයකි. මෙය ශබ්ද ප්‍රතිකාරයක් (sound therapy) ලෙසද හැඳින්විය හැකිය. පරිත්ත යන ශබ්දය සංස්කෘත පරිත්‍රාණ යන්නෙන් මිදුණකි. පරි + ත්‍රෛ ධාතුවෙන් නිපන් පරිත්‍රාණ විපත්තින්ගෙන් මුදාගැනීම (rescue), ආරක්ෂාව (preservation), රැකවරණය (protection) වැනි අර්ථවල යෙදෙන බව මොරියර් විලියම්ස් දක්වයි.

පිරිත් දේශනය සිත පිරිසිදු කරන අධ්‍යාත්මික උපකරණයක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව මානසික ආබාධයන්හිදී පිරිතෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. පිරිත ආරක්ෂාව පිණිස ද භාවිතා කරයි. අමනුෂ්‍යය අබාධවලදී පිරිත් දේශනය අනුමත කරන බුදුදහම එය කළ යුතු පිළිවෙල ද උගන්වා තිබේ. පිරිත් දේශනය තුළින් අපේක්ෂා කරනුයේ පුද්ගලයින්ගේ මානසික නිදහස ඇති කිරීම යි.

බුදු දහමෙහි රෝග නිවාරණයහිලා ඉතා වැදගත් චිකිත්සක ක්‍රමයක් ලෙස නින්ද හඳුන්වා දී තිබේ. අධික ලෙස නිදි සුව ලැබීම, නිදි නොලැබීම හා වැරදි ලෙස නිදි සුව විදීමත් ස්වස්ථතාව විනාශ කරයි. යහපත් හා සුවපත් නින්ද අගයන බුදුසමය ඊට යහපත් මානසික තත්ත්වයක අවශ්‍යතාවය ද අවධාරණය කරයි. බුදු දහමට අනුව නින්දෙහි අධික ඇලීම පරාභවයට හේතුවන අතර අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් නිදා ගැනීම රෝගාබාධ ඇති කරයි. විශේෂයෙන් උමතු බව පවා ශරීරයට නිදි නොලැබීමෙන් ඇති විය හැකිය.

භාවනාව හුදු බෞද්ධ සම්ප්‍රදායෙහි උගන්වන තවත් එක් මනෝ විද්‍යාත්මක චිකිත්සාවකි. අසීමිත ආශාවන්ගෙන් හා කර්මීකරණයෙන් වැසුණු ලෝකයේ පවතින තරඟකාරී බවින් පීඩා විදින නව සමාජයට භාවනාව මහෝපකාරී වේ. බුදුන්වහන්සේගේ භාවනා ක්‍රමය සම්පුර්ණ වශයෙන් මානසික සෞඛ්‍යයත්, සාමයත් ලබාදෙයි. මනසේ ඇතිවන වෙහෙස, ආතතිය, පීඩාව, ආයාසය දුරු කර ගැනීමට භාවනාව උපයෝගී කරගත හැකිය. භාවනාවේ ප්‍රධානම කාර්යය වන්නේ යහපත් අරමුණක සිත පවත්වා ගැනීමයි. සමථ භාවනාව, විදර්ශනා භාවනාව, බුද්ධානුස්සතිය ආදිය වැඩීමෙන් මනසේ ඇති දුක් කරදර හා වෛරය ආදී පාපී සිතුවිලි ඉවත් කර මානසික සහනය ලබා ගැනීමට හැකියාව ලැබේ.

බෞද්ධ මනෝ දර්ශනයට අනුව භාවනාව මනෝ රෝග සඳහා මහඟු ඔසුවකි. භාවනාව මඟින් චිත්තය සන්සුන් වේ. හෘද ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වේ. භාවනාව මඟින් මානසික සුවය සැලසෙන අතර ඔරොත්තු දීමේ හැකියාව, අලස බව නැතිවීම, තෙමරිය නැතිවීම, දුක පහවීම, බිය නැතිවීම, ආදී කරුණු ඉෂ්ට වේ. භාවනාව මඟින් මනස සන්සුන් වන හෙයින් හොඳින් නින්ද ළගාවෙයි. මෙතුළින් මානසික නිරෝගිතාවයද ඇතිවන අතර මෛත්‍රිය පතුරුවන කාරුණික පුද්ගලයකු බවට පත්වේ.

රෝග නිවාරණයහිලා වැදගත් අංගයක් ලෙස විවේකය හඳුන්වා දිය හැකිය. වැයවන කායික හා මානසික ශක්තින් යළි උපදවා ගැනීමට නින්ද එක්තරා ඖෂධයකි. බුදුන්වහන්සේද උන්වහන්සේගේ දින චර්යාවේදී දවල් ආහාරයෙන් පසුව දිවා විවේකයක් ගෙන ඇත. ධ්‍යානයන්ට සමවැදී සිටීමද එක්තරා විවේකයකි. බෞද්ධ සම්ප්‍රදායේ ඉගැන්වෙන ප්‍රථමාදි ධ්‍යාන හතරින් ඉතා උසස් විවේකයක් ලැබෙන බව කියවේ. බොහෝ මානසික ව්‍යාකුලතා සදහා ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම වැදගත් බවත් එමඟින් එම තත්ත්වයන්ගෙන් මිඳිය හැකි බවත් බුදුන් වහන්සේ දේශනා කර තිබේ.




Top