සමාජය විසින් දරුවන්ගේ මනස අපවිත්‍ර නොකරන තාක්කල් දරුවන් යනු ගුණදම්වලින් පිරි මනුෂ්‍යයෝය (577)

post-title

වර්තමාන සමාජය යනු, තාක්ෂණික වශයෙන් ඉදිරිගාමීව පවතින්නා වූ සමාජයකි. එසේ තාක්ෂණිකව ඉදිරිගාමී වූ සමාජය තුළ වර්තමානය වන විට ගුණධර්ම, සාරධර්ම නොදන්නා තරමින් මිනිසුන් කෲර වී ඇත. එසේම මෙවන් සමාජ ක්‍රමයක් තුළ මිල මුදල් සෙවීමට හැල්මේ දුවන මේ මනුසතා, තාක්ෂණික වශයෙන් කෙතරම් දියුණුවට පත් වූවත් බුද්ධිමත් බවින් මෙන්ම මනුෂ්‍ය ගුණධර්ම අතින් වර්තමානය වන විට කෙතරම් පිරිහී ඇත්දැයි යන්න වත්මන් සමාජය දෙස බලන කල්හි මනාව අපට පැහැදිලි වනු ඇත. එමෙන්ම අනාගත පරම්පරාව මෙහෙයවනු ලබන වත්මන් දරුවන්ගෙන් ද වැඩි පිරිසක් මෙසේම ගුණධර්ම නොදන්නා පිරිසක් බවට පත් වී ඇත. නමුත් මෙවන් කාල වකවානුවක සමාජය විසින් කළ යුත්තේ කෙසේ හෝ අනාගත දරු පරපුර ගුණදම්වලින් පිරි මනුෂ්‍යයන් බවට පත් කිරීමය. එවිට ඔවුන් තුළින් මතු යම් දිනෙක හෝ සමාජය ආලෝකමත් වනු ඇත. 

ශ්‍රී ලංකාවෙහි අනාගත නියමුවන් ලෙස වර්තමාන සමාජය තුළ දරු පරපුරට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශාකයක් ගත් කළ එය කුඩා අවධියේදී එහි දල්ල නැමිය හැකිය. එහෙත් එය විශාල ගසක් වූ විට දල්ල නැමිය නොහැකිය. දරුවෙක් ද එසේම ය. දරුවන් නියමිත මාර්ගයට යොමු කළ හැක්කේ ළදරු අවධියේදී ය. එසේම ඔවුන්ගේ ගුණධර්ම වැඩිය හැකි වනුයේ ද ළදරු අවධියේදී ය. එසේ වුවත් දරුවන්ගේ කුඩා අවධියේදී පවතින නිකැලැල් සිතිවිලිවලට පසුව කැලැල් සිතිවිලි එකතු කරනු ලබනුයේ මේ සමාජය විසින්මය. නමුත් විය යුත්තේ එය නොව ඔවුන් තුළ ගුණධර්ම රෝපණය කිරීමයි. එවිට අද දවසේ එම දරුවන් තුළ රෝපණය කරනු ලබන ගුණධර්ම ඔස්සේ ඔවුන් හෙට ලෝකය නිර්මාණය කරනු ඇත. ඒ සඳහා මූලික වශයෙන්ම අවශ්‍ය වනුයේ අධ්‍යාපනයි. මේ අනුව සමාජය මෙහෙයවනු ලබන දරු පරපුර රැක ගැනීම ලාංකික අප සැමට යුතුකමක් මෙන්ම වගකීමක් ද පවතී. එහෙත් වර්තමාන සමාජය තුළින් මෙම වගකීම ඉටුවේද? යන්න අද වන විට පවතින ප්‍රධාන ගැටලුවකි.

ළමයා නෙළුම් මලක් හා සමානය. සෑම නෙළුම් පෙත්තක්ම ස්වභාවිකව විවෘත විය යුතුය. සමාජයේ කාර්යය විය යුත්තේ ළමයාගේ නිර්මාණාත්මක හැකියා සොයා බලා එය පෝෂණය කිරීමට උනන්දු කිරීම ය.

- රවීන්ද්‍රනාත් තාගෝර්

“ පුංචි දරුවන් මල් වගේය ” යන කියමන ද ලෝක ප්‍රවාදයකි. තරහ, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය වැනි නුගුණ ළදරු දරුවන් තුළ නොමැත. එහෙත් වත්මන් මව්පිය පරපුරට ඔවුන් සමාජගත කිරීමට සිදුව ඇත්තේම රට තුළ පවතින ආර්ථික ප්‍රවාහයේ ගොදුරක් ලෙසට ය. කුඩා දරුවා පාසැල් යෑම ආරම්භ කරනුයේම ව්‍යාජය, රඟපෑම ගැන ලබන උගැන්ම සමඟිනි. ඔවුන්ට පළමුවෙන්ම දක්නට ලැබෙනුයේ ව්‍යාජ විදුලි බිල්පත්, වරිපනම් බිල්පත්, ඔප්පු තිරප්පු ඇතුළුව කූඨ ලේඛන සකසන පසුබිම් ය. මේ කිසිවක් සිදුවන්නේ දරුවන්ට ගුණධර්ම, සාරධර්ම ඉගැන්වීමට නම් නොවේ. මෙසේ වැඩිහිටියන් තම දරුවා සමාජයට හුරු කරවීමට යන්නේම, එසේත් නොමැතිනම් ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට යන්නේම සියලු සාරධර්ම, ගුණධර්ම මරාගෙනය. යහගුණ විනාශ කරගෙනය. එහෙයින් වර්තමානයේ අධ්‍යාපනය යැයි පවසමින් උරුම කරනු ලබන දේ තුළින් සමාජය තුළ යහපත ප්‍රගමනය වන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම මේ අයුරින් කුහකකම්, හොරකම්, මැරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් ලබන දරුවන් අනාගතයේදී ගුණදම්වලින් පිරි මනුෂ්‍යයන් වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිද?

එසේම ශිල්ප ඥානය තුළින් දරුවාට මඟපෙන්වනුයේ තුවක්කුවක් සැකසීමට නම් එය ඵලක් නොවන්නකි. මන්දයත් තුවක්කුවේ ඵලය නම් ජීවිතයක් නැති කිරීමක් හෝ හානි කිරීමක් වන නිසාවෙනි. තවද පරමාණු බෝම්බය නිර්මාණය කළ තැනැත්තා කෙතරම් දක්ෂයෙකු වුවත් ඔහුගෙන් ලෝකයට අනර්ථයක් මිස යහපතක් සිදුවූයේ නැත. නමුත් ඇස් කණ්ණාඩියෙහි නිර්මාපකයා යනු එවැන්නෙකු නොව ඔහු සමාජයට යහපතක් සිදුකළ පුද්ගලයෙකි. මෙසේ වර්තමානයේ අධ්‍යාපනය කේන්ද්‍ර කොටගත් දැනුම ඇතැම්විට හුදු පුද්ගල අභිවෘද්ධිය පිණිසම මිස යහපත් ලොවක් වෙනුවෙන් නොවන තත්ත්වයට අද වන විට පරිවර්තනය වෙමින් පවතී. මෙසේ අද වන විට මිනිසා විසින් නිර්මිත වෛරස ප්‍රභේදයන් පවා මුලු ලොවම ආක්‍රමණය කර ඇත්තේ ද කුඩා කාලයේදී දරුවන්ගේ මනසට සමාජයෙන් සිදුකරන ලද බලපෑමෙහි ප්‍රතිඵලයක් වශයෙන් බැව් නම් අමුතුවෙන් කිවයුතු නොවේ.

එමෙන්ම අද වත්මන් සමාජයේ සියල්ලම පාහේ මුදලට තීරණය වේ. එහිදී ඔවුන් මනුෂ්‍යත්වය යන්න පිළිබඳව කිසිසේත්ම නොසිතයි. අද සමාජයේ ඉහළ තත්ත්වයන්හි සිටින ඇතැම් පුද්ගලයින් පවා සිය දරුවන්ගේ මනසට කාවද්දා ඇත්තේ අනෙකාව යටපත් කරමින් තමා වැජඹිය යුතුය යන්නය.

ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය කෙතරම් දියුණු වුවත් එය සැබැවින්ම හේතුවිය යුත්තේ මිනිස් සමාජයේ යහපත උදෙසා ය. එහෙත් බොහෝවිට නවීන තාක්ෂණික මෙවලම් හේතුවෙන් සිදුවනුයේ මිනිසා හුදෙකලා වීමය. මුලු ලොවක් එකම වසංගතයකින් පීඩා විඳින මෙවන් කාල වකවානුවක දරුවන්ගේ අධ්‍යාපනය අද මුලුමනින්ම පාහේ තාක්ෂණීකරණයට නතු වී ඇත. ඒ ජංගම දුරකතනය, පරිගණකය ඔස්සේම සියල්ල විසඳෙන නිසාවෙනි. මෙකී ජංගම දුරකතනය නොමැති යුගයේදී මිනිසුන් අතර ගණුදෙනුව සිදුවූයේ භෞතිකව සිදුවන මුණගැසීම්වලිනි. නමුත් අද තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් වී ගොස් ය. එමෙන්ම ජංගම දුරකතනය, පරිගණකය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට දරුවාට සිදුවීම නිසා ඔවුන් එය විනෝදය සම්පාදන මාධ්‍යයක් වශයෙන් ද නිරන්තර පරිහරණයෙහි යෙදෙනු ඇත. ඒ සඳහා දරුවන් යොමු කරමින්, එකිනෙකා අතර සබඳතාවයකින් තොරව ඔවුන් එකිනෙකාගෙන් හුදෙකලා කරනුයේ ද වත්මන් සමාජය විසින්ම බැව් මෙමඟින් පැහැදිලිය. 

මේ අනුව සමාජය විසින් දරුවන්ගේ මනසට විෂබීජ නොදමන තාක්කල් දරුවන් යනු ගුණදම්වලින් පිරි මනුෂ්‍යයෝය යන්න සත්‍යයකි. එසේ අනාගත දරු පරපුර සමස්ථ මානව වර්ගයාට පමණක් නොව සතා සිවුපාවන්ට, ස්වභාවධර්මයට ආදරය කරන උතුම් මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බවට පත්කර අනාගතයට දායාද කිරීමට වගබලා ගැනීම සමස්ථ සමාජයම සතු සුවිසල් කාර්යයභාරයක්ම වන්නේ ය. 

Top