සිංහල සිරිතට විරිතට මුල් තැන දෙන අවමංගල්‍යය උත්සවය (160 වන ලිපිය)

post-title

සියලු සංස්කෘතික ජන කණ්ඩායම් කෙරෙහි ඔවුන්ට ආවේණික වූ යම්කිසි ඥාන සම්භාරයක් ඇත්තේය. මානව සන්නිවේදනය ආරම්භක අවධියේ සිට මෙම මොහොතේ ගෙවෙනා තත්පරය තුළ ද මෙම ඥානය විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින්, නව ප්‍රවණතා හඳුනා ගනිමින් සහ විවිධ අංශ ඔස්සේ පෝෂණය වෙමින් අනාගතයට දායාද වේ.

එකී ගතික ඥාන සම්භාරය විවිධාකාරව සම්ප්‍රේෂණය වෙමින් දිගුකාලීනව සහ අඛණ්ඩව ම පවතින්නේ ය.

සමාජය තාක්ෂණික හා විද්‍යාත්මක දාර්ශනික ඥානයෙන් කෙතරම් සුපෝෂිත වූවත් උරුම වී ඇති ස්වදේශික ඥානය අලුයම ඉවත ලූ කෙල පිඬක් සේ බැහැර නොකරන අවස්ථා බොහෝ දැකිය හැක. මෙකී ඥානයෙන් නිර්මාණය වී ඇති සිංහල සිරිත් සහ විරිත් බොහොමයකි. සිරිත් යනු කළ යුත්තයි. විරිත් යනු නොකළ යුත්තයි.

ඒ අතුරින් අවමංගල්‍ය සිරිත් විරිත් ප්‍රකට ය. සිංහල අපට උරුම වූ අවමංගල්‍ය සිරිත් විරිත් මොනවද ? මේ ඒ පිළිබඳව දිග හැරෙන ලිපියක් වන අතර එකී කාරණා සම්බන්ධව විශ්වාසදායීත්වය හෝ තර්කානුකූලත්වය පිළිබදව තීරණය කිරීම ඔබ සතුයි.

 

අනිත්‍යභාවය පසක් කරන අවමංගල්‍ය උත්සවයක මනෝභාවය වන්නේ අහිමි වීමේ වියෝවයි. මෙය දුක්ඛ දෝමනස්සයන් පිරි අවස්ථාවකි. සිංහල සමාජය තුළ අවමංගල්‍ය සිරිත් විරිත් කෙරෙහි සරල බව සහ සංවේගය සංකේතාත්මක වේ.

බොහෝ විට අවමංගල්‍ය සිරිත් විරිත් ඇරඹෙන්නේ යම්කිසිවෙකු මරණයට පත්වීමට හුස්ම සමඟ පොර බදන අවස්ථාවේ දී යි. ඒ සාමාන්‍ය ජන වහරේ දී "පණ අදිනවා " ලෙස හඳුන්වයි. මේ මොහොතේ දී ආගමානුකූල ව භික්ෂූන් වහන්සේ නමක් හෝ කිහිප දෙනෙකු වැඩමවා බණ සහ පිරිත් දේශනාව සිදු කර පිරිකරකට අතගැස්සවීම සිදු කරනු ලබන්නේ මරණයට පත්වීමට ආසන්න පුද්ගලයා ඉදිරියේ ය.

බෞද්ධාගමට අනුව මරණයට පත් වන මොහොතේ ඇතිවූ චුති සිත ඊළඟ භවය නිර්මාණයට බලපාන බව අපගේ විශ්වාසයයි. එබැවින් මරණයට අසන්න වී සිටින පුද්ගලයාගේ සිත යහපත් හා නිවැරදි අරමුණක පිහිටුවීම මෙහි අපේක්ෂාවයි. මෙහි දී "කට දිය ලෑමේ සිරිත " ද සිදු කරනු ලබයි. "පණ අදිමින්" සිටින පුද්ගලයාට අවසාන වශයෙන් ජලය හෝ තැඹිලි , දෙළුම් , වැනි යුෂ පානය කෙරවීම " කට දිය ලෑමේ " සිරිතයි.

පුද්ගලයා මරණයට පත් වීමෙන් පසු එම නිවසේ ඇති බෞද්ධ සහ දේව රූප හැරුණු කොට අනෙක් සියලු ම පින්තූර , කැලැන්ඩර ආදිය නො පිටට හරවයි. බුලත් හෙප්පුවේ කොළ ද මෙසේ නො පිට හරවයි. මරණය සිදුවී ඇති නිවස ඉදිරිපිට සුදු රෙදි කඩක් හෝ සුදු කොඩියක් දැමීමද ප්‍රථමයෙන් ම සිදු කරයි. සංවේගය සහ අවමංගල්‍යය සන්නිවේදනය කිරීම මෙවැනි කටයුතුවල අරමුණ වන අතර අතීතයේ දී අවමංගල්‍ය සන්නිවේදනයට ඉතා ශෝකි හඬක් ගැබ්ව ඇති "මළ බෙරය" වාදනය කිරීම ද සිදුකළේය. එමෙන්ම විශේෂ සංකේත අක්ෂරයක් (මළ පොතේ අකුර) ලියූ "මළ පත" නම් තල් පතක් හෝ ලේඛනයක් ද අවමංගල්‍යය අන්‍යයන්ට දැනුම් දීම සඳහා යොදා ගෙන ඇත. අවමංගල්‍ය සෘජුවම තවත් කෙනෙකුට පැවසීම අසුබ යැයි සැලකූ නිසා මෙවැනි සන්නිවේදන ක්‍රමයක් ඇති වන්නට ඇත.

යම් පුද්ගලයකු මරණයෙන් පත්වීමෙන් පසුව අවමංගල්‍යය උත්සවය පුරාවටම ඔහුව හඳුන්වන්නේ "මිනිය" ලෙසයි. මිනියක් තබන්නේ බස්නාහිරට හිස සහ නැගෙනහිරට පාදයන් පිහිටන ලෙස ය. හිරු බසිනා බටහිර දිශාවට හිස පිහිටන ලෙස ජීවත් වන්නන් නිදාගැනීම නොකළ යුතු බව ජන සමාජයේ විශ්වාසයයි. සුදු පැහැ හෝ චාම් වර්ණයකින් සැරසූ දේහය, කැටයම් සහිත පෙට්ටියක බහා තැන්පත් කරන අතර දේහයට ඉහළින් උඩු වියන් බඳියි.

අවමංගල දේහය අසල පොල් තෙල් පහන් දෙකක් දල්වා තැබීම ද අතීතයේ සිටම සිංහල සිරිතයි. එසේ දල්වන පොල් තෙල් පහන් වල දැල්ලෙන් නිකුත් වන්නා වූ දුමෙන් දේහයේ විෂබීජ නැසිය හැකි බවද තවත් විශ්වාසයකි.

අවමංගල්‍ය උත්සවය සැරසීමට ගොක්කොළ , ඉරටු සහ කෙසෙල් බඩ ආදි ස්වාභාවික ද්‍රව්‍යයන් භාවිතා කරති.

වර්තමානයේ දී නම් බොහෝ වශයෙන් දිරාපත් නොවන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගන්නා බව පෙනේ .

අවමංගල්‍ය දේහය පවතින ස්ථානයට සුවඳ දුම් අල්ලා කහ සහ කොහොඹ දියර ද ඇතැම් විට ගොම දියරද ඉසිනු ලැබේ. ඒවායින් කිලි හරණය වන බව විශ්වාසයයි. අවමංගල්‍ය පවතින ස්ථානය ආලෝකමත් කර තැබීමද සතිපට්ඨාන සූත්‍රය ,මරණානුස්සති සූත්‍රය වැනි දේ සියලු දෙනාට ඇසෙන්නට සැලැස්වීම ද දැකිය හැක.

අතීතයේ දී එවැනි සූත්‍ර දේශනා කිරීම සඳහා ගිහි පිරිත් කණ්ඩායම් සිටි අතර වර්තමානයේ දී බොහෝ විට ශබ්ද විකාශන යන්ත්‍ර, සීඩි තැටි මගින් එය සිදු කරනු ලබයි. කිසිම විටක දී අවමංගල්‍යය දේහය තනි නො කිරීම සිරිතයි .

එමෙන්ම හත් දවසේ දානය වනතුරු ම මරණ කටයුතු පැවති නිවස ද තනි නොකළ යුතු බවට මතයක් ඇත. කෙසේ නමුත් මාස තුනක් පුරාවටම නිවස තනි නො කිරීමට පැරැන්නන් වග බලා ගත්හ. අමනුෂ්‍ය බලපෑම් මග හරවා ගැනීම එහි අරමුණ විය. අවමංගල්‍යයට පැමිණෙන සියල්ලන් සුදු හෝ චාම් පැහැති ඇඳුම් ආයිත්තමින් සැරසී පැමිණීම ද අතීතයේ දී මෙන්ම වර්තමානයේ දී ද දැකගත හැක .

මියගිය දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා අඟහරුවාදා සහ සිකුරාදා වැනි දින යොදා නො ගන්නා ලෙසට ද මතයක් ඇත. අඟහරුවාදා සහ සිකුරාදා දින දෙක තුළ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමෙන් ඉන් ඉදිරියට ද බොහෝ ආසන්න කාල වල දීමරණයන් සිදු විය හැකි බවට පැරැන්නන් විශ්වාස කළේය. එය පුහු බමුණු මතයක් බව ද ඇතමුන් පවසති . ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මියගිය දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා දේහය තබා ඇති ස්ථානයෙන් පිටතට ගැනීම නැකතකට අනුව සිදු කරනා අවස්ථා ද ඇත.

මියගිය දේහයේ අවසන් කටයුතු සිදු කිරීමටප්‍රථමව කල යුතු ආගමික කාරණා ද කිහිපයකි . මියගිය තැනැත්තා මතක් කොට සංඝයා වහන්සේලාට ඥාතීන් විසින් වස්ත්‍රයක් පූජා කරනු ලබයි . මෙය "මතක වස්ත්‍රපූජාව" යි.

එලන ලද සුදු රෙදි කඩක තැබූ පිඟානකට සහ කෝප්පයකට කෙණ්ඩියකින් උතුරා යන සේ ජලය වත් කරනු ලබන්නේ මිය ගිය පුද්ගලයාගේ සමීපතමයන් විසිනි. එම චාරිත්‍රය "පැන් වැඩීම" නම් වේ . මෙහි දී මියගිය පුද්ගලයාට පින් පමුණු වනු ලබන අතර මියගිය පුද්ගලයාගේ ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කරනු ලබයි. අවමංගල්‍ය සභාවක් තුළ කිසිම විටක දී මිය ගිය පුද්ගලයාගේ දොස් කීම නො සුදුසු යැයි සැලකේ . ඔහු වෙනුවෙන් ගුණකථන සිදුකිරීමද අවමංගල්‍යය සභාවේ දී සිදුවෙයි .

මියගිය දේහය අවසන් කටයුතු සිදු කරන ස්ථානය කරා රැගෙන යනු ලබන්නේ පාවඩ මතිනි. පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු විසින් දේහය තමන්ගේ උරහිස් මත තබාගෙන රැගෙන යනු ලබයි . සුදු මල් සහ පොරි මග දෙපසට සහ මිනී පෙට්ටියට මෙහි දී ඉසිනු ලබයි .

භූමදානය හා ආදාහනය ලෙස කොටස් දෙකකි. භූමදානයේ දී සිදු කරනු ලබන්නේ මිනී පෙට්ටියක දැමූ අවමංගල්‍ය දේහය පොළොවේ කැපූ වලක තැන්පත් කිරීමයි. එය කරනු ලබන්නේ සුසාන භූමියක් තුළ ය . නමුත් ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල දේහය තම ගෙවත්තේම භූමදාන කරන අවස්ථා ඇත. දේහය තැන්පත් කරනා වලට පස් පිඬක් දැමීම ද සියල්ලන් විසින් දේහයට දක්වන අවසන් ගෞරවය යි. ආදහනයේදී සිදු කරන්නේ උස් චිතකයක් සාදා එය තුළට දේහය ඇතුල් කොට ගින්දරින් පිළිස්සීමයි. චිතකයට ගිනි දල්වන්නේ මියගිය පුද්ගලයාගේ බෑණාවරුන් දෙදෙනකු විසිනි. මිනී වල හෝ චිතකය වටා තෙවරක් පැදකුණු කොට දේහය මිනී වලේ හෝ චිතකයේ තැන්පත් කරනු ලබයි. මියගිය පුද්ගලයාගේ ආත්මය නැවත නිවස කරා පැමිණීම වැළැක්වීමට එකී ආත්මය මං මුලා කිරීමට මෙම ක්‍රමය අනුගමනය කරන බව පැරණි වැඩිහිටියන් පවසයි . වර්තමානයේ විදුලිය උපයෝගී කොට ගෙන ද ආදාහනය සිදු කරනු ලබයි .

දේහයට අවසන් කටයුතු කිරීමෙන් පසු නිවැසියන් විසින් දේහය තබා තිබූ ස්ථානයේ කිරි ඉතිරවීම ද සිදු කරනු ලබන ප්‍රදේශයෙන් ඇත. එමෙන්ම කහ දියර ඉසීම ද දින හතක් පුරාවටම පොල් තෙල් පහනක් දල්වා තැබීම ද සිරිතයි. මෙම ක්‍රම තුළින් කිළිහරණය වන බව ඉපැරණි විශ්වාසයයි . එදිනම ලිප් ගල් තුනක් තබා සෑදූ ලිපක බතක් උයා ව්‍යංජන පිළියෙල කොට සියලු දෙනාට සංග්‍රහ කරනු ලබයි. මෙය "මළ බත" පිදීමයි. මරණයෙන් හත් දවසකට පසු මියගිය පුද්ගලයා සිහි කොට පින් පමුණුවා ධර්ම දේශනයක් පවත්වා දානයක් දීම සිදු කරයි .

ඇතැම් ප්‍රදේශවල මෙම හත් දවසේ දානයේ දී ගොක් රෑන් ඇද ප්‍රේත ගොටුවක් තබා යම් කාර්යයක් සිදු කරනු ලබයි.

ධර්ම දේශනය පටන් ගැනීමට මොහොතකට පෙර මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු හෝ වැඩිහිටියකු එම ප්‍රේත ගොටුව තැබූ ස්ථානයට ගොස්, " හනික පැමිණ බත් කා බණ අසා යන්න" යැයි තෙවරක් පවසයි.

මියගිය පුද්ගලයාගේ ආත්මය එම විධානයට අනුව ක්‍රියා කොට පින් අනුමෝදනා කර ගන්නා බව ඉපැරණි ජන සමාජයේ තවත් විශ්වාසයකි. එයින් තුන් මසකට පසුව ද මියගිය පුද්ගලයා සිහි කොට ධර්ම දේශනයක් හෝ පිරිත් දේශනයක් පවත්වා දානයක් දීම සිරිත වන අතර එයින් මියගිය ආත්මය සැනසීම ළඟා කර ගන්නා බව ද පැවසේ.

එමෙන්ම ඉහත දක්වා ඇති අවමංගල්‍ය සිරිත් විරිත් තුළ ප්‍රාදේශීය වශයෙන් යම් යම් වෙනස්කම් දැකිය හැක .

වත්මනේ දී සිදු කරනු ලබන අවමංගල්‍ය සිරිත් විරිත් හි මූලික වැඩකටයුතු වන්නේ මේවා ය. ඇතැම් විට මෙවැනි සිරිත් විරිත් කාලීන, ආගමික සහ ධර්මානුකූල ව හෝ විද්‍යාත්මක ව එතරම් තර්කානුකූල නොවන අවස්ථා ද දැකිය හැක.

මෙවැනි සිරිත් විරිත් හි සාවද්‍යතාවය හෝ නිරවද්‍යතාව කෙසේ වේවා මේවා දිගු කලක් පුරා සම්ප්‍රේෂණය වී ඇති

ක්‍රියාකලාපයන්‍ ය. සියවස් ගණනාවක් පුරාවටම විකාශය වෙමින් වත්මනේදී ද මෙවැනි සිරිත් විරිත් පවත්වා ගෙන යනු ලබන්නේ ස්වදේශ ඥානයෙහි යම් සුවිශේෂීතාවයක් නිසා වන්නට ඇත.

මූලාශ්‍ර:

ධර්ම විද්‍යාල පෙළ පොත (8 ශ්‍රේණිය)

ජනශ්‍රැති

අන්තර්ජාලය

 

Top