සාහිත්‍ය තුළට වරින් වර යන එන මල්සරා

post-title

යෞවන වයසේ තරුණ තරුණියන්ගේ යම් යම් ක්‍රියා කලාපයන් දුටු කළ බොහෝමයක් වැඩිහිටියන් විමසන පැනයක් වනුයේ ‘උඹට මදනයා ගහලද?’යන්නය. ඒත් නැතහොත් ‘උඹට මදන කුලප්පුව දැ’යි කියාද විමසනු ලැබෙයි. නමුත් සැබැවින්ම විමසා බලන කළ මේ ‘මදන කුලප්පුව’යනු කුමක් ද කියා හෝ මේ ‘මදනයා’ කවුරුන්ද කියා හෝ නිවැරදිව ම දන්නා අය අඩුය. බොහෝමයක් දෙනා මේ වචන භාවිත කරන්නේ කට වහරින් ලැබුනු නිසා ය. නිවැරදිව ම මේ පිළිබඳ තොරතුරු දැන සිටින්නේ ස්වල්ප දෙනෙක් පමණි. එබැවින් මදනයා කවුරුන්ද යන්න පිළිබඳ සොයා ඒ පිළබඳ කරුණු දැක්වීම මේ වදන් භාවිත කරන බොහෝමයක් දෙනාට වැදගත් වනු ඇත. මදනයා පිළිබඳ සෙවීම ඇරඹූ අද්‍යතනයේ වෙසෙන අපට නවතින්නට සිදුවන්නේ පැරණි පෙර අපර දෙදිග දේව කතා පත පොත තුළය. එපමණට ම මේ මදනයා ගේ චරිතයට අතීතයක් පවතියි.

‘මදනයා’ යනුවෙන් අප ඔහුට මේ ලිපිය ආරම්භයේදී නාමයක් යෙදුවද ඔහුට තවත් සුප්‍රකට නාමයක් ඇත. ඒ මල්සරා යන නමය. මල්සරා යන නම පැවසූ සැනෙකින් සිහියට පැමිණෙන්නේ ලාංකේය සාහිත්‍ය තුළ මල්සරා පිළිබඳ ලියැවී ඇති අප්‍රමාණ කයිකතන්දරය. විශේෂයෙන්ම ලංකාවේ බොහෝමයක් ගේය පද රචකයන්ට මල්සරා මගහැර ගීත ලියන්න බැරි තරමට ම මල්සරා සමීප ව ඇත. එසේනම් සැබැවින් ම මේ මල්සරා යනු කවුරුන් ද?

පැරණි පෙරදිග සාහිත්‍යට අනුව ගත් කළ නම් මල්සරා යනු දෙවි කෙනෙක් ය. හින්ඳු දේව කතාවල එන පරිදි මල්සරා යනු කාම දෙවියා ය. නැතහොත් කාමාශාව පිළිඹිඹු කිරීමේ සංඛේතය වන්නේ ද මල්සරාය. බටහිර දේවකතා වලට අනුව ගත් කළ මොහු හඳුන්වන්නේ ක්‍මචසා යනුවෙන් ය. ක්‍මචසා යනු බටහිර දේවකතාවල එන ආදරයේ දෙවඟන වන ඪැබමි දෙවඟනගේ පුත්‍රයාය. ස්ත්‍රී පුරුෂ සම්භෝගයන් සිදු කිරීම ඔහුගේ කාර්යව ඇතැයි සැළකෙයි. කෙසේ නමුත් බටහිර සාහිත්‍ය තුළ මෙන් ම පෙරදිග සාහිත්‍ය තුළ ද මල්සරාට හිමිවන ස්ථානය අතිශය ප්‍රභලය. ස්ත්‍රී පුරුෂ සම්භෝගයන් නිතරම සිදු කරන්නේ ඔහු බැවින් ඔහු සතුව නිතරම දුන්නක් සහ ඊතල පවතියි. මේ දුන්න නිමවා ඇත්තේ උක් දඬුවෙන් ය. එනිසා මල්සරා හැඳින්වීමට උඟුසැවු යන පර්යාය පදය ද භාවිත වෙයි. ඔහුගේ අත ඇති උක්දඬු දුන්නේ ඇති දුනු දිය බිඟු වැලකි. මේ දුන්න මත මල් හී තබා විද පුද්ගල සන්තානයන් තුළ පෙමාතුර හැඟීම් අවදිකරන්නට මල්සරා සමත්වන බැව් සාහිත්‍යයේ සඳහන් වෙයි. ඒ මල් හී ද වර්ග පහකි. එක් එක් හී දඬුවෙහි මල් ගසා ඇත. ඒ මල් වර්ග පිළිබඳ පුරාණ සංස්කෘත සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේ මෙලෙසින් ය. 

“අරවින්දමශෙකඤ්ව චුතඤ්ච නව මල්ලිකා නීලෝත්පලඤ්ච...” යනුවෙන් ය. එනම් ඒ මල් පහ වූයේ නෙළුම්, හෝපලු, අඹ, නිල් උපුල් හා දෑ සමන් ය. මේ මල් පස්වගය ඇමුණූ හී දඬු පහට ද නම් පහකි. ඒ උන්මාදන, තපන, ශෝභන, ස්තම්භන හා සම්මෝහන යන නම් ය. මේ හී වැදුනු කල පුද්ගල සන්තාන රාගයෙන් පිරී යතැයි පැවසෙයි. මල්සරා හැඳින්වීම සඳහා පර්යාය පද ද රාශියක් වෙයි. පුරාණ නාමාවලියේ දෙළොස් වන කවියේ මල්සරා පිළිබඳ සඳහන්ව ඇත්තේ මෙලෙසින් ය.

‘සමර පන්සැර ද තුනුහිරු මද අනඟ

රිය හිමි මුවරද ද මනයොන් මරු මලඟ

කුසුම් දුනු වසම් සැර ලිය සැව් උනඟ

කඳස් තරග මලවිය නම් වේ අනඟ”

මල්සරා සඳහා යෙදී ඇති මේ සෑම පර්යාය පදයකම අර්ථයක් ඇත. උක් දඬු දුන්නක් දරන බැවින් හේ උඟුසැව් ලෙසින් ද ධජයෙහි මත්ස්‍ය රුවක් ඇති හෙයින් මින්දද ලෙසින් ද මල් මකරන්ද ඇති හෙයින් මුවරද ලෙසින් ද ගිරවා රථය ලෙසින් ගෙන ඇති හෙයින් රියහිමි ලෙසින් ද රතිය ගේ ස්වාමියා හෙයින් රතිහිමි ලෙසින් ද සිතෙහි සිතුවිලි තුළ උපදින හෙයින් මන්යොන් ලෙසින් ද සිත් මත් කරන නිසාවෙන් මදනයා ලෙසින් ද මල් හී ඇති බැවින් මලවි, මල්සරා, කුසුම්සරා ආදී ලෙසින් ද ශෘංගාරයට අධිපති බැවින් සිරිඟරයොත් ලෙසින් ද හැඳින්වෙයි. මෙයට අමතර මල්සරා හැඳින්වීම සඳහා උනඟ, නඟ, නරඟ, මකදේවජ, මනෝභාව, මද, මන්මථය, මල්හී, වසම්සර, කාමිය, ආසිරිරූය, ස්මර, සමරය, මරාය, පියුම්තෙනෙ, නාරායණතෙනෙ, අනුහිරු, තුනුයොන්, මලඟ, කුසුම්දුනු, තුනුඅඟ, ලියුසැව් හා කුසුම්දද ආදී නම් ද යම් යම් අවස්ථාවල භාවිත වෙයි. මේ සියලුම පර්යාය පදයන්ට වඩා මල්සරා ලාංකේය බොහෝ ජනයින් හඳුන්වා ගන්නේ වෙනත් නාමයකින් ය. එනම් අනංග යන නාමයෙන් ය. මල්සරාට අනංග යන නාමය පටබැඳී ඇත්තේ අංගයන් නොමැති යන අර්ථය හේතුවෙන් ය. මල්සරාගේ අංගය අහිමිවීම පිළිබඳ කතාපුව ද පෙරදිග දේවකතා සාහිත්‍යයේ සුන්දර කතාවකි.

එක්තරා අවස්ථාවක තාරක (තාරා) නම් අසුරයා විසින් සුරයෝ යුද්ධයකට පොළඹවනු ලැබීය. මෙයින් වික්ෂිප්ත වූ සුරයන් අතුරින් ඉන්ද්‍ර දෙවියන් මහා බ්‍රහ්මයා වෙත ගොස් තාරක අසුරයා හා සටන්කර ඔහු පැරදවිය හැකි සේනාධීනායකයෙක් දෙන මෙන් ඉල්ලා සිටියේ ය. මහා බ්‍රහ්මයා විසින් දෙන ලද පිළිතුර වූයේ ශිව දෙවියන්ට සහ උමයංගනාවට දාව උපදින පුත්‍රයා මෙම තාරක අසුරයා හා සටන්කර ඔහු පරදවන බවයි. නමුත් මේ සිදුවීම සිදුවන කළ ශිව දෙවියන් සිටියේ ස්වකීය පළමු බිරිඳ වන සතී ගින්නට පැන දිවිතොර කරගත් කම්පාවෙන් හිමාල කඳු මුදුනෙහි උග්‍ර තපසක ය. උමඟන ද සිය අනාගත සහකරුවා වන්නටය සිටින ශිවට සත්කාර කරමින් එහි ම විසූහ. ශිවගේ මේ තපස බිඳ උමඟන හා සංවාසයේ යෙදුනහොත් දරුවෙක් ලැබෙන බව තේරුම්ගත් අනෙක් සුරයන් ශිවගේ තපස බිඳීමේ කාර්ය පවරන ලද්දේ මල්සරා ට ය. එනම් කාම දෙවියන් ට ය. තමන්ට පවරන ලද කාර්ය ඉෂ්ඨ කිරීමේ අරමුණින් හිමාල පර්වතය බලා ගිය කාම දෙවියන් ශිව දෙවියන් තපස් රකින තැනක නුදුරින් තුරුගොමුවක සැඟව බලා සිට ඇත. එක මොහොතක ශිව දෙවියන් වෙත පැමිණි උමඟන ශිව හට ජප මාලයක් පිළිගන්වන අවස්ථාවක මල්සරා විසින් සම්මෝහන නම් හීය දුනුදියෙහි තබා දුන්න මානා විදින්නට සූදානම්ව ඇත. ඒ මොහොතේ ම ශිව දෙවියන්ගේ සිත මොහොතකට සැලී වටපිට බලා කරුණු විමසූ කල්හි දුනු දිය අදින මල්සරා ශිව දෙවියන්ගේ නෙත ගැටෙයි. එයින් ශිව තුළ ඇති වූ දරුණු කෝපය හේතුවෙන් සිය තෙවැනි ඇස ඇර කාම දෙවියන් වෙත මහත් ගිණි දැල්ලක් යවා ඔහු දවා ඇත. මේ හේතුව නිසා දැවී යාමෙන් අංග අහිමි වූ බැවින් මල්සරා එවක පටන් අනංග වූ බව ද සැළකෙයි. නමුත් දේව සාහිත්‍යයේ තවත් තැනක සඳහන් වන්නේ එම ගිණිදැලින් මල්සරා සම්පූර්ණයෙන් දැවී අලුව ගිය බවත් මල්සරා ගේ බිරිඳ වූ රතිය ගේ ආයාචන හේතුවෙන් ශිව සහ පාර්වතිය එක්ව නැවත කාමට සිරුරක් ලබා දුන් බවයි. මල්සරා අනංගයා වූ මේ කතා පුවත විල්ගම්මුල මා හිමි විසින් රචිත සඳ කිඳුරු දා කවෙහි හැට දෙවන කවෙහි මෙලෙසින් සඳහන්ව ඇත.

“ඉසුරුගෙ දළ නෙතින්

දැවුයෙන් අනඟ නියතින්

රති ඔහු කෙරෙහි කැතින්

වසන වැනි මොහු කෙරේ සතතින්”

මල්සරා සුරයන් සියල්ල අතුරින් සුන්දරම දේහ විලාසයකින් යුක්ත යැයි ද හේ කිසි දිනෙක මහලු නොවන්නේ යැයි ද දේවකතා සාහිත්‍ය තුළ සඳහන් වෙයි. මේ කඩවසම් කාම දෙවියන් මහාබ්‍රහ්මයා ගේ පුතෙක් ලෙසින් වේද සාහිත්‍යයේ සඳහන් වුව ද පුරාණ දේවකතාවන් වලට අනුව මල්සරා ගේ පියා වූයේ විෂ්ණු දෙවියන් ය. එහෙත් ඇතැම් තැනෙක ස්ව්‍යංභූ යන නමින් මල්සරා හඳුන්වා ඇත්තේ හේ ඕපපාතිකව උපන් බැවින් යැයිද පැවසෙයි. මල්සරා ගේ බිරිඳ රතී ය. ඇය ප්‍රජාපතී දෙවඟනගේ දුවණියකි. මේ සියල්ල අතරේ පෙරඅපර දෙදිගම මල්සරා පිළිබඳ බොහෝ කතාන්දර රැසක් ගොතා ඇති බව නම් ඒ ඒ සාහිත්‍යන් ඇසුරු කරන කල්හි වැටහෙයි. මෙනයින් බලන කළ මදනයා ගහලාද යනුවෙන් යමෙක් විමසන්නේ ආලයක පැටලීද යන කරුණට සමාන අදහසක් බැව් වටහාගත හැකි වෙයි. බොහෝ විට වර්තමානයේ උදේ සිට රාත්‍රිය වනතුරු ජංගම දුරකතනයේ මල් පැකේජ් වල පිහිටෙන් මල් කඩන යෞවන යෞවනියන් බොහෝ දෙනාගේ හදවත්වලට මල්සර හී පහර නම් වැදී ඇති බවට නිසැකය.

Always use the JS Compressor to shrink before you publish a website.

Top