ළමා සාරි - පොට්ටු -පර්දා (744)

post-title

ඇවිද ළඳු දෙණි කැළෑ බිම්වල

රැගෙන විත් තුන්හිරිය පන් කොළ 

යොදා කුකුළු සායම් රතු හා කොළ

වියා නෙක් විසි තුරු රටා පැදුරු

රටාවක් බව මේ මහා විශ්වය

කුඩා කල සිට මට කියා දුන් අම්මාට

(ප්‍රබුද්ධ- මහගම සේකර)

ගෝලාකාර ලෝකයේ විවිධාකාර මිනිසුන් සමග වාසය කරන්නට උපේක්ෂා සහගත බව නිර්මාණය වන්නේ සංවේදී මිනිස් සිත්වල ය . පාට, වර්ග, ජාති, ආගම්, කුල, ගෝත්‍ර විවිධත්වය දරා උසුලා ගනිමින් මානුෂීය වශයෙන් එකිනෙකා බැඳෙන්නේ ඉවසීම, දූරදර්ශී බව වැනි ගුණාංග පෙරටු කරගනිමිනි. ලෙයින් මසින් තැනුණු මානව ප්‍රජාවකගේ හෘදයංගම බව ගොඩනගන්නට භාෂාත්මක සංනිවේදන ශක්‍යතාව තරමට ම ශික්ෂිත චිත්තවේගී සංවේදී බව අත්‍යව්‍ය ය. මව් සෙවනේ සිට ම ලබන පන්නරය සහ පරමාදර්ශී ආගමික ඉගැන්වීම්වලින් මෙන්ම, සාහිත්‍යයෙන් ද සංයමය සහ මානව ධර්මතා පුද්ගල චරිතයට සම්ප්‍රේෂණය කරයි. සාහිත්‍යයේ නූතන සාහිත්‍යාංග අතර ගීතය එකී මානවීය බැඳීම් සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන නිර්මාණයකි. ජාත්‍යානුරාගය, දේශානුරාගය වැනි වත්සල රසය ජනනය වන නිර්මාණ ද කාලීන අවශ්‍යතාව මත වීර රසය ජනනය වන විරෝධාකල්ප සාහිත්‍යයන් ද විය. ඒ අතර සමාජ විෂමතාව, ජාතීන් අතර එකමුතු බව වෙනුවෙන් අවැසි චිත්තවේගීමය සැකැස්ම උදෙසා ගීතය භාෂාත්මක සහ සාහිත්‍යමය වශයෙන් දක්වන නිර්මාණශීලී ප්‍රවේශ සුවිශේෂ ය. ගීත රචකයා සාම්ප්‍රදායික සමාජයේ ගතානුගතික ආකල්ප විචාරාත්මක ව විග්‍රහ කරමින් සමානාත්මතා සමාජයක් උදෙසා මනුෂ්‍යත්වය ඒකරාශී කිරීමෙහි ලා සිදු කරන කර්තව්‍යය සංගීතඥයා සහ ගායකයාගේ ද සාමූහිකත්වයෙන් සමාජ පණිවුඩයක් වෙනුවෙන් සූුදානම් කරයි. 

වාර්ගික එකමුතුකම සමාජයක පැවතීම රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මනා පිටුබලයකි. ශ්‍රී ලංකාව වැනි කුඩා භූමි ප්‍රදේශයක විසිරී සිටින බහු වාර්ගික ජන කණ්ඩායම් සමග සාමූහිකත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. එදිනෙදා මුණගැසෙන විවිධ මිනිසුන් දෛනික ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වෙයි. සමේ පැහැය, ඇඳුමේ වර්ණය, භාවිත කරන භාෂාව, සංස්කෘතිය හෝ චාරිත්‍ර වාරිත්‍ර මනුෂ්‍ය වර්ගයා විභේදනය කර තැබීමට තරම් ප්‍රබල ලෙස සැලකිය යුතු නො වේ. එකිනෙකාගේ අනන්‍යතාව වෙනුවෙන් නිර්මාණය කරගත් එම තත්වයන් සියලු දෙනාගේ ම නිහතමානී ගෞරවයට ලක් කිරීම ද ජනවාර්ගික සමගිය ඇති කිරීමේ දී අත්‍යවශ්‍ය ය.

බිඳුණු සිත් සැණින් ගිනි ජාලාවක් බවට පත් කළ කුරිරු යුද්ධයක ශෝචනීය අද්දැකීම් සහිත මිනිසුන් ලෙස උතුරේ තල් රුප්පාවලත්, දකුණේ පොල් රුප්පාවලත් සිසිල් සෙවණක් වෙනුවෙන් අපි දිවා රෑ ආයාචනා කළෙමු. 

උඩරට මැණිකෙගෙ - පට කුඩ බිම වැටුණා

රුහුණු කුමාරිගෙ - කිරි පැණි මග හැලුණා 

යාල් දේවියේ නුඹ ඔත්පල වුණ දා

පීල්ල මැද සුදු මිනී මලක් පිපුණා

රත්න ශ්‍රී විජෙසිංහයන්ගේ පද රචනාවෙන් ප්‍රදීපා ධර්මදාසයන් ගායනා කරන මෙම ගීතය භෞතික සීමා අතික්‍රමණය කළ හුදෙක් වාර්ගිකත්වය පසෙක ලා මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදු වූ හෘදයංගම උත්තමාචාරයක් ය. පීල්ල මැද පිපි සුදු මිනී මල එහි සංකේතයක් ලෙස කවියා යොදා ගනියි. හදවත්වල නින්නාද වුණු මනුෂ්‍යත්වය අතළොස්සකගේ පටු පරමාර්ථ නිසා භීෂණයෙන් ඇළලෙන විට ජීවිතයෙන් වන්දි ගෙවූ අවිහිංසක මනුෂ්‍යයන් වෙනුවෙන් වාර්ගික බෙදීම් පසෙකලා සියල්ලන් හඬා වැටුණි.

ආඬි ළිඳේ සීතල දිය කරුණාවේ

රූණු කරේ නිල් මානෙල් පිපුණාවේ

පෑරුණු හිත් සුව වී සංසිඳුණාවේ

යාල් දේවි යළි නෑගම් අරඹන 

දෝස නිවාරණ 

පුණ්‍යවන්ත හෝරාවේ

කාෂ්ටකේ දැවෙන උතුරුකරයේ පතුලෙන් ගෙනෙන ආඬි ළිඳේ සිසිල් කරුණා දිය දහරක් ලෙස කවියා නිවුණු සිතින් පවසයි. කුමන හෝ ආරවුලක් නිසා භේද භින්නව සිටිය නොනගතය අවසන් ව යාල් දේවිය උතුර දකුණ යා කරමින් නෑගම් අරඹන්නේ සුබ නැකතිනි. ඥාතීත්වය හුදෙක් දැන හැඳුනුකම්කමක් අභිබවා ගිය ලේ බැඳීමකි. උතුර දකුණ අතර ඇත්තේ ද එබඳු ඥාතීත්වයකි. එකී ඥාතීත්වය දලුලන්නේ ප්‍රේමයෙනි. සිංහල සින්දුත් දමිළයට මුහු වෙමින් උතුරුකරයෙන් ඇසෙන දවස පුණ්‍යවන්ත හෝරාවක් බව ගීත රචකයා අභිමානයෙන් පවසයි.

උතුර දකුණ එක් ව ගැයෙන මනුෂ්‍යත්වයේ ගීතය ගායනා කරන්නේ ම එක මවකගෙ දරු කැලගේ හෘදයංගම බව ඉස්මතු වන ලෙසිනි. 

උතරු කොනේ නුඹ හිනැහෙන් 

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන් 

සුමන සිරි මල්ලියේ

චන්ද්‍ර වාකිෂ්ට නම් නිහඬ කලාකරුවා අතින් රචනා වූ සරල භාෂාත්මක සංයෝජනයක් සහිත ගීතයකි. නඩරාජාත්, සුමනසිරිත් මල්ලිලා ය. සෙල්ලම්මාත්, සෙනෙහෙලතාත් නංගිලා ය. ඒ එක ම පවුලක සොහොයුරු සොහොයුරියෝ ය. ලාංකේය සංස්කෘතියේ සහෘද ආමන්ත්‍රණයන්ගේ වර්තමානයේ ද නොසිඳී පවතින අයියා, අක්කා, නංගී, මල්ලී ආමන්ත්‍රණය වාර්ගිකත්වය නිසා වෙනස් විය යුත්තක් නො වේ. පද රචකයා අත්විඳි සිංහල දෙමළ සුසංවාදී බැඳීම භාවිකාර්ථ දනවන ලෙස නිර්මාණය කර තිබේ. රක්ත රුහිරයෙන් සැදි සමාන ව්‍යුහයකින් සැදුම්ලත් මානව ශරීරයක් සියල්ලන්ට ම උරුම ය. උපතින් හිමි වන වාර්ගිකත්වය නිසා කිසිසේත් ම ඒ මිනිස් බව වෙනස් නොවිය යුතු ය. සියල්ලන්ගේ දැනීම්, විඳීම්, රිදීම් එක සමාන ය. දේශ සීමා, වර්ග සීමා ඉක්මවා යන සිනහව මුවග රන්දන හෙටක් වෙනුවෙන් සරල බසින් රචකයා පබඳින පදවල අන්තර්ගත අර්ථය විසල් ය. 

කොතනක සිටියත් ඉපදුණු 

මිය යන බිම එක නේදෝ...

එක මවකගෙ දරු කැල සේ

Top