පිටසක්වළ වාසීන්ට නෑකම් කියන අපේ පෘථිවිවැසියෝ (539)

post-title

පිටසක්වළ ජීවීන් පිළිබදව මෙන්ම ඔවුන් මේ විශ්වයේ කොතැනක හෝ සිටිනවායැයි යන උපන්‍යාසය පුද්ගල මනස තුළ ලැගුම් ගත්තේ අදක ඊයෙක නොවෙයි. අගහරු ග්‍රහයා පිටසක්වළ ජීවීන්ගේ වාසස්ථානය වූ බවට ද සදෙහි අදුරු පැත්ත පිටසක්වළ ජීවීන්ගේ නවාතැන්පළ වූ බවට ද බොහෝ දෙනා විශ්වාස කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අගහරු ග්‍රහයා ගැන අප ලෝකයා දත් දේ වෙනස් වීමට පටන් ගත්තේ 70 දශකයේ දීය. එදා මෙදා තුර අගහරු ගවේෂණය සදහා යානාවන් රාශියක් යවා මිනිස් සත්ත්වයාගේ කුතුහලය සන්සිදුවීමට නාසා ආයතනය ඇතුලු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන උත්සාහ ගත්තේ මෙහි ඇත්ත නැත්ත සාමාන්‍යකරණය කිරීම සදහාය. කෙසේ නමුත් අද මා වචන ගොඩ නගන්නේ අගහරු ග්‍රහයාගේ හෝ සදෙහි අදුරු පැත්තේ ජීවත්වනවායැයි සැලකෙන පිටසක්වළ ජීවීන් පිළිබදව නම් නොවෙයි. පිටසක්වළ වාසීන්ගේ ඥාතීන් යැයි සැලකෙන පෘථිවි වැසියන් පිළිබදවයි.

මහාචාර්ය චි පු තේසි යනු චීන පුරාවිද්‍යාඥයෙකි. 1938 වසර ඔහු සහ ඔහුගේ පර්යේෂණ සහායකයින්ගේ තීරණාත්මක වර්ෂයක් බවට පත් විය. චි පු තේසි සිය සහායකයින් පිරිසක් ද සමග චීන ටිබෙට් දේශ සීමාවෙහි පිහිටි බයංකාර උලා (Baian Kara Ula) නැමැති කදු පද්ධතියේ ගල් ගුහා කිහිපයක් නිරීක්ෂණය කිරීමේ දී සමහර ගල්ගුහා තුළ එක්තරා ආකාරයක අසාමාන්‍යතාවයක් දක්වන ඇටසැකිලි රාශියක් දැක ගැනීමට හැකි විය. මෙම ඇටසැකිලිවල විශේෂත්වයක් තිබුණි. එනම් ඒවා සියල්ලම පාහේ අඩි හතරක් පමණ උසකින් යුක්ත වීමයි. එමෙන්ම මෙම ඇටසැකිලිවල සාමාන්‍ය මිනිස් ඇටසැකිල්ලකට සාපේක්ෂව හිස්කබල ද විශාලත්වයෙන් වැඩි බවක් ද දැකිය හැකි විය. තවත් සුවිශේෂී කාරණාවක් වූයේ මේවායින් සමහරක් පොළොව අභ්‍යන්තරය වන්නට වළ දමා තිබීමයි. මෙම පර්යේෂණ පිරිසට අනපේක්ෂිත අයුරින් හමු වූ මෙම පුරා වස්තු පිළිබදව වැඩි දුරටත් පර්යේෂණ කටයුතු කිරීමේ දී මෙම ගුහා බිත්ති වල ඇද තිබූ පැරණි සිතුවම් කිහිපයක් ද දැක ගැනීමට හැකි විය. එම සිතුවම් අතර හෙල්මටයක් වැනි හිස්වැසුමක් පැළදි මිනිසුන්ගේ රූප කිහිපයක් ද දක්නට ලැබුණි. එයට අමතරව පොළොව සහ අහස නිරූපණය කරමින් ඉර, සද, තාරකා ආදී නොයෙකුත් සටහන් ද විය. මේ නිසාම මෙම සුවිශේෂී ස්ථානයේ තව දුරටත් පර්යේෂණයේ යෙදුණු මහාචාර්යවරයා ඇතුලු පිරිසට ගල්ගුහාවක තිබී වෘත්තාකාර හැඩයෙන් යුක්ත වූ කුඩා ශිලා තැටියක් ( Stone disc ) සොයා ගැනීමට හැකි විය. මෙම ශිලා තැටියේ විශ්කම්භය අගල් නවයක් වූ අතර එහි මධ්‍යයේ සෙන්ටිමීටර් දෙකක් තරම් විශ්කම්භයකින් යුක්ත වන කුඩා සිදුරක් ද පිහිටා තිබුණි. මින් පුදුමයටත්, කුතුහලයටත් පත් වූ මෙම පිරිසට තව දුරටත් මෙම ස්ථානය පිරික්ෂා කිරීමේ දී එවැනි ශිලා තැටි 716 ක් සොයා ගැනීමට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

මෙම ශිලා තැටි වල මධ්‍යයේ සිට විහිදෙන සියුම් රේඛා සටහන් රාශියක් දක්නට හැකි වූ අතර ඉන් එහාට කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වුයේ නැත. මෙම තැටි බීජිං නුවර කෞතුකාගාරයක තැන්පත් කිරීමෙන් අනතුරුව මේ සමග තිබූ ඇටසැකිලි පරික්ෂා කිරීමෙන් අනාවරණය වූයේ මේවා මෙයට වසර 12000කට පමණ පෙර වූ කාල වකවානුවකට අයත් වන බවයි. ඒ නිසාම මේ ශිලා ලිපි තැටි ද එම කාලවකවානුවටම අයත් ඒවා බව අනුමාන කරන ලදී. මෙම ප්‍රවෘත්තිය ලොව පුරාම සිටි මානව ශාස්ත්‍රඥයින් කැළඹූ සංසිද්ධියක් බවට පත් වූ අතර මේ පිළිබදව අලුතින් අධ්‍යයනය කිරීමට විශේෂඥයින් යොමු වූහ.

1962 දී මහාචාර්ය සුම් උම් නුයි නැමැති පුරා විද්‍යාඥයා සිය නවතම මතය තුළින් ඉදිරිපත් කළේ මෙම ශිලා තැටි නූතන ලෝකයේ දත්ත ගබඩා වශයෙන් භාවිතයට ගැනෙන සංයුක්ත තැටි (Compact Discs- CD ) වැනි මෙවලම් විශේෂයක් විය හැකි බවයි. ඔහු මෙම ශිලා තැටිවල අන්තර්ගත දත්ත කියැවීම සදහා උත්සාහ ගත් අතර ඔහුට සමහරක් කියැවීමට ද හැකියාව ලැබුණි. නමුත් අවාසනාවකට මේ පිළිබදව ලොවට හෙළිදරව් කිරීමට නොහැකිව සිය සමීපතම මිතුරන් අතරේ පමණක් අතිශය රහසිගත ලෙස තබා ගැනීමට සිදු වූයේ එවක පැවති රජය මෙම කරුණු හෙළි කිරීමට කිසිසේත්ම අනුමත නොකළ නිසාය. එමෙන්ම පීකිං ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනායතනය (Peking Academy Of Prehistory ) විසින් බාහිර ලෝකයට මෙම කරුණු අනාවරණය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන තිබුණි. නමුත් පසුව මහාචාර්යවරයා සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම ශිලා තැටි අදට වසර 12000කට පෙර පෘථිවියට පැමිණි පිටසක්වළ ජීවීන් කොට්ඨාශයක් සතුව පැවති ඒවා බවයි.

නමුත් ඔවුන් පැමිණියේ කෙසේද යන්න පිළිබදව සොයා ගැනීමට ශිලා තැටිවල දත්ත වලින් නොහැකි වූ අතර මෙම අභිරහස පිළිබදව හෙළිදරව් කර ගැනීමට බොහෝ දෙනා උනන්දුවීමේ ප්‍රවණතාවයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වූයේ බයංකාර උලා කදුවැටියේ ගල් ගුහාවල වෙසෙන ගෝත්‍රික ජන කොට්ඨාශ දෙකක් පිළිබදව විමර්ශනයට හසු වීමය. ඔවුන් ඩ්‍රෝපා සහ හන් ලෙස හැදින්වූ අතර මොවුන්ගේ සම්භවය පිළිබදව මානව ශාස්ත්‍රඥයින්ට කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට මෙතෙක් හැකියාව ලැබී නොමැත. මොවුන් අඩි හතරක් පමණ උසින් යුක්ත වන අතර මොවුන්ට ඇත්තේ කහ පැහැති කෙසග සිරුරකි. මොවුන්ගේ වැඩිහිටියෙකුගේ බර කිලෝග්‍රෑම් 18.23 ක් පමණ වෙයි. මෙම ගෝත්‍රිකයන් ගල් ගුහා තුළ 140 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවද මෙම පර්යේෂකයින් අනාවරණය කර ගත්හ. එහිදී ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට මහාචාර්යවරයා උත්සාහ ගත් අතර එය මහත් අපහසු විය. නමුත් එහි දී සන්නිවේදනය වූ දෙයින් සියල්ලෝම විශ්මයට පත් වූහ. අභ්‍යවකාශ විශ්ව කෝෂයෙහි දක්වන පරිදි බොහෝ කලකට පෙර මොවුන්ගේ ආදිතමයින් පිරිසක් වෙනත් ග්‍රහලොවක සිට අභ්‍යවකාශ යානයක නැගී පෘථිවියට එන අතරවාරයේ දී පෘථිවියට පැමිණීමෙන් පසු මෙම කදුවැටියේ ගිරි ශිඛරයක වැදී යානය විනාශ වී ගිය බවත් එම අනතුරින් දිවි ගලවාගත් කිහිපදෙනා මෙය වාසස්ථානය කරගෙන ජීවත් වූ බවත් එහි සදහන්ය. ඒ අනුව දැනට වාසය කරන සියලු දෙනා ඒ ආදිතමයින්ගෙන් පරිණාමය වෙමින් පැවත එන්නක් බවද සදහන් වීම සත්‍ය ලෙසම අප ද පුදුමයට පත් වන කරුණකි.

( වාසනා ප්‍රකාශනයක් ලෙස පළ වූ අභ්‍යවකාශ විශ්වකෝෂය කෘතිය ඇසුරින් ආර්.පී.සමරසිංහයන් දැක් වූ ලිපියක් මූලාශ්‍ර කොටගෙන සකස් කරන ලද්දකි. )

Top