ගී ඇස දුටු ආර්ථික විෂමතා (715)

post-title

මහ දොරින් ගෙට එන විට අතමිට හිඟකම්

පෑල දොරින් පලා යනවා හිත්වල මනුසත්කම්...

සමාජය තිඹිරිගෙය කරගත් යථාර්ථවාදී සාහිත්‍යය සමාජයේ සුඛ-දුක්ඛ යථාර්ථය වස්තු විෂය කරගනිමින් නිර්මාණය වූවකි. බහුතර අවධානයට ලක් වන ගීතය ඒ අතර සුවිශේෂ ය. ගී පද රචකයා විසින් තමා ජීවත්වන සමාජයේ සමාජ අර්බුද පිළිබඳ විචාරාක්ෂියෙන් යුතු ව සිදු කරන විග්‍රහයන් කලාත්මක ව ප්‍රතිනිර්මාණය කරයි. සමාජයේ පාලක- පාලිත දෙපක්ෂයේ ම අවධානයට නතු විය යුතු ජනජීවිතය කෙරෙහි ප්‍රබල ව ම බලපාන ආර්ථිකය මත නිර්මාණය වන ජීවන අර්බුද ගීත රචකයාගේ එදා මෙදාතුර අවධානයට නතු වූ ප්‍රබල සමාජ තත්වයකි. ආර්ථික දුර්වලතා සහ ඒ නිසා පුද්ගලයාට මුහුණ දීමට සිදු වූ සමාජ ශෝකාන්තයන් ජීවිතයේ විවිධ අවස්ථා ඇසුරින් ගීත ලෙස එළිබසින්නේ නිහඬ අඳෝනාවන් වෙත දෑස් යොමු කරන නිර්මාණාත්මක සන්නිවේදන ක්‍රමයක් ලෙසිනි.

සමාජයක පැවැත්ම තහවුරු කිරීම උදෙසා පුද්ගල ජීවිතය තෘප්තිමත් විය යුතු ය. ජනජීවිතය වඩාත් යහපත් කිරීමට රටේ සමාජීය, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ද නිරවුල් බව අවශ්‍ය ය. වර්තමාන ධනවාදී අර්ථ ක්‍රමය වඩාත් නැඹුරු ව පවතින්නේ මාක්ස්වාදී විවාරකයින් විවේචනය කරන සමාජ විෂමතාව සහිත ජීවිත පැවැත්ම තහවුරු කිරීම කෙරෙහි ය. එහෙයින් සියල්ලන් වෙත සුඛෝපභෝගී ජීවිතය ළඟා නොවෙයි. ලෝකයේ ම රටවල ජනජීවිතය කෙරෙහි මේ වන විට පවතින්නේ වඩාත් ශෝකජනක ස්වරූප ය. ආහාර, සෞඛ්‍යය, ප්‍රවාහනය, ජලය, නිවාස වැනි මූලික අවශ්‍යතා රැසක් ම ලබා ගැනීම උදෙසා විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට මිනිසාට සිදු වී තිබේ. ලංකාවේ ආර්ථික විෂමතාව සහ දරිද්‍රතාවය යටත් විජිත වීම සමග ව්‍යාප්ත වූ වතු වගාව, නාගරීකරණය, දේශීය සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය නොසලකා හැරීම, 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශීය නිෂ්පාදන කෙරෙහි අවධානය අවම වීම, ගෝලීයකරණය සහ අපනයනය මත පදනම් වූ අර්ථ ක්‍රමයකට රට යොමු කරවීම වැනි තත්ව නිසා හට ගැනිනි. ගීත රචකයා විසින් විවරණය කරන ලද ආර්ථික දරිද්‍රතාව නිසා සිදු වූ ඛේදවාචක වස්තු විෂය කරගත් සංවේදී නිර්මාණ රාශියක් එදා මෙදාතුර සිංහල ගීත සාහිත්‍යයෙහි වෙයි. 

බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කරන ලද පහන තියා බුදු සාදුට හිමිදිරියේ ගීතය ළමා අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොවුණු සමාජයක ඛේදයකි. තම අන්ධ මව රැක ගැනීමට බෝසතුන් ඵලවැල නෙළා ගෙනා පුවත සාම කුමරුගේ කතාවේ දී අපි අසා ඇත්තෙමු. එහෙත් මෙම දරුවන්ට තම අඳ මව රකින්නට ඵලවැල නෙළා ගත නොහැකි ය. වැටකොටු ගසා මායිම් කළ ලෝකයක මහමග ජීවිතය යදිනවා විනා වෙනත් පිළියමක් නොමැත. පොළොවේ බිම් අඟලක තමාගේ නමට අයිතියක් නැති, දෙපයින් නැගී සිටින්නට අතමිට පිරී නැති ජීවිත ඉදිරියේ සමාජය අසංවේදී ය. විරිදු කියා එකතු කරන සොච්චම් මුදලින් බඩ වියත රැක ගන්නෝ අද වන විට ගණනින් අසීමිත වන තරමට ම ආර්ථික අහේනියක සිර වී සිටිති.

ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා

අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා...

ඉගෙන ගන්න ආස වුණත් 

ඉස්කෝලේ පහු කරලා 

එන්නේ අපි ඒ දිහාවවත් නොබලා

අම්මා රැක ගන්නේ අපි කවි කියලා

දිළිඳු බව සිප් සතර දොර අහුරා තිබෙයි. සරස්වතී, ලක්ෂ්මී දෙවිවරු පවා කාසි පනම් වැට සිඳිනු නොහැකි ව අතරමග නතර වී ඇති සේ ය. මුදලට සියල්ල අලෙවි වන ලෝකයේ ජීවිතය ද ලන්සු තබා තිබේ. පොතට හිත ඇති මල් කැකුළු හිත් පොඩිය රිදේවි’යි බියෙන් පාසල දෙසවත් නොබලා ම ජීවිත පොතේ අද පිටුව පෙරළන්නට වාරු ගන්නා මහ බරක් හිස මත දරාගෙන මෙම දරුවෝ දුම්රිය මගීන් අභියස ජීවිතය අයදිති. ළමයාට අනිවාර්ය අධ්‍යාපනය, නිදහස, ළමා මෙහෙකාර සේවයේ නීති විරෝධී බව වැනි විවිධ නෛතික න්‍යායාත්මක කරුණු පිළිබඳ පොතපතින් ලත් දැනුම වීසි කරන සමාජයක අඟහිඟකම් අභියස මොළොක් හදවත් අල්ප ය. එවන් සමාජයක මෙම දරුවන් යදින්නේ අනාගතය යි. 

රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ 

හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරි යහනේ

ලූෂන් බුලත්සිංහලයන් විසින් පද රචනා කරන ලද එච්. එම් ජයවර්ධනගේ සංගීතයෙන් මාලනී බුලත්සිංහල ගායනා කරන උක්ත ගීතය අහස පේන තරමට දිරා ගිය පියස්ස වැසි දාට හිරිකඩින් ගෙය ම තෙමයි. බිත්ති හතර බැඳගත්ත ද පනං හතරක් සොයාගෙන ස්ථිර සෙවිලිමක් කරගන්නට අතමිට සවියක් මොවුන්ට නොමැත. පොල් අතු ගෙපැලෙහි දරුවා ම රජ මැදුරෙහි ඉපදුණා නම් කුමාරයෙකි. කොලුවන් රජුන් තනන ආර්ථික විෂමතාවය විසින් මවන උසස් පහත් බව කුසට අහර, හිසට සෙවණ වුව ද සපයා ගැනීමේ ස්වරූපය තීරණය කරයි. 

ඉඳ හිට මොළවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ

දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ

ඇඳලා කල් ගිය රෙඳි වැරලී නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

මව්පියන් දරුවන් සතුටින් තබා ඒ වෙනුවෙන් වෙහෙසුණු දෙපා රිදුම් දරු මුවග නැගෙන සිනහ බලමින් නිවාගන්නෝ ය. එහෙත්, ආර්ථිකයේ දුෂ්කර බව පිළිබඳ දැනෙන දරුවන් ළමා සිතක උපදින ආශාවන්, කෙළිලොල් සිතිවිලි මැඩගෙන පහසුවෙන් පෝෂණය කළ හැකි දරුවකු වීම ද දරු හද දැනෙන මව් හදට වේදනා උපදවයි. දරු ගත දවටන්නේ කඩමාලු රෙදි පට ය. අලුත් ඇඳුමක් දරුවන්ට රැගෙන දෙනු නොහැකි ව මව් ශෝකයෙනි. කුසට වේල් තුනක් ආහාර අවැසි ය. රස මසවුළු නොමැති වුවත් ජීවත් වන්නට ප්‍රමාණවත් කෑම අවශ්‍ය ය. එහෙත් ඉඳහිට මොළවන ලිප සංකේතවත් කරන කලාතුරකින් ඉදෙන සුණු සහල් කැඳ හැරෙන්නට ප්‍රමාණවත් ආහාරයක් නොලැබෙයි. අද්‍යතන සමාජය තුළ හඬගා නොකියන මෙවන් ජීවිත නොදැක්කා සේ හිඳින්නන් බොහෝ ය. 

රත්න ශ්‍රී විජේසිංහයන් පද රචනා කළ ගුණදාස කපුගේ විසින් ගායනා කරනු ලබන මගේ බිසවුනේ අසාපන් ගීතය දිවිබර උරේ දරා කටුක මගක පියවර මනින පියෙකුගේ ජීවන යථාර්ථය විග්‍රහ කරයි. රැකියාවක් තිබුණ ද ධනය, බලය හමුවේ සිදු වන අසාධාරණකම් සහ අසරණ බව එහි කැටි වී තිබේ. රැකියාවේ දුෂ්කර ප්‍රදේශයකට මාරුවීම් ලබන ඔහුට දරුවන් සහ බිරිඳ තනි ව තබා නික්මීමට සිදු වීම වේදනාවකි. එහෙත් ඔවුන් රැගෙන යාම ද නොහැකි ය.

... බෑ යන්න නුඹට හිමයේ

ගොස් ඉන්න කුලී නිවසේ 

විෂ ඝෝර සර්ප භවනේ

සමාජ හා ජීවිත පරිඥානය ඇසුරෙන් රචකයා විසින් පෙළ ගස්වන ස්වාමියාගේ සේවයට නික්ම යෑම සමග කුලී ගෙදරක තනිවන බිරිඳ මුහුණ දෙන අභියෝග රාශියකි. කුලිය ගෙවා ගත නොහැකි ව ද ආර්ථික අපහසුතා මධ්‍යයේ ද ඇය දරුවන් සමග දුෂ්කර ව වාසය කරන්නී ය. ධනය සහ බලය විසින් සිදු කරන අත්තනෝමතික බලපෑම් නිසා ආර්ථික අපහසුතා සහිත කුටුම්භ සංරක්ෂණයේ ඛේදයිතයන් කොතෙකුත් සමාජයේ සිදු වෙයි. මව්පිය සෙනෙසහ පවා මුදල විසින් ඩැහැ ගනියි.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම සමග සමාජ ගැටලු රාශියක් නිර්මාණය කරන විදේශගත වීම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මව, පියා පමණක් නොව දරු මුණුපුරන් ද දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්න හමුවේ මැද පෙරදිග වැනි දුෂ්කර සේවයන් තෝරා ගනියි. එය ආර්ථික විසඳුමක් විය හැකි ය. එහෙත් ඒ සමග සිදු වන අතුරු ප්‍රතිඵලයන් සදාකාලික රික්ත ලෙස නොවැසී පවතියි. මව පියා විදේශගත වීම නිසා දරුවන්ගේ කායික, සමාජීය අවශ්‍යතා ද ආරක්ෂාව ද තර්ජනයට ලක් වී තිබේ. ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී පුද්ගලයා ආර්ථික ක්‍රමය තුළ සිර වෙයි. පියෙකු ලෙස පමණක් නොව මවක ලෙස ද පවුලේ ආර්ථික බර දැරීමට මව් පදවිය පවා උගසට තැබීමට සිදු වන අම්මාවරු බොහෝ ය. ශාන්ත ජයලත් විසින් පද රචනය සහ සංගීතය නිර්මාණය කරන ලද අසංක ප්‍රියමන්ත පීරිස් විසින් ගායනා කරන මවගේ විදේශගත වීම නිසා සිදු වන සෙනෙහසේ ඉකිබිඳුම් ගැයෙන ගීයකි.

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් 

අම්ම එයි කියා ගමට ම හඬ තලයි වැරෙන්

... යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්

දරුවන්ට මව් සෙනෙහස අහිමි වීම ඔවුන්ගේ ජීවිතයේ පරිච්ඡේද ගණනාවක හිදැස් නිර්මාණය වීමට හේතු වෙයි. සෙනෙහස පිළිබඳ අවශ්‍යතාවට වඩා වරින් වර හදවත කොනිත්තන දරිද්‍රතාව සහ කුසගින්න හේතුවෙන් විදේශගත වන්නේ ඉක්මන් විසඳුමක් අපේක්ෂාවෙනි. ගෘහ සේවිකාවක ලෙස එසේ යාම ඇතැම් අවස්ථාවල සිදුවන අවාසනාවන්ත සිදුවීම් දරුවන්ට සදාකාලිකව ම මව් සෙනෙහස අහිමි කරන්නට ද හේතු වෙයි. 

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි 

නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි

මවගේ උණුහුම දරුවන්ට අහිමි වී ගොසිනි. ඇගේ අතින් බත් පිඬක් කන්නට වරම් හිමි කර නැත. මව නොමැති නිවසේ පියාගේ චර්යාවන් ද අවිධිමත් වීම දරුවන්ගේ අනාරක්ෂිත බවට අතවැනීමකි. 

මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි

අඬන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි

ජීවිත ශ්‍රමය පරදෙසක මුදලට අලෙවි කරමින් සිදු කරන ඉපයීම් සැබෑවට ම කුටුම්භ සංරක්ෂණය කරන්නේ ද? යන්න ස්ථිර ව කිව නොහැක. මව් නොමැති විට කුටුම්බය ම අවදානමකට ගොදුරු වන සිදුවීම් සමාජයේ සුලබ ය. එම අනාගත අවදානම අමතක කර තාවකාලික විසඳුම් වෙත යොමු වීම වළක්වා නිසි විසඳුම් ලබා දීම පිළිබඳ වගකිව යුත්තෝ නිහඬ ව සිටිනතාක් අහිතකර ප්‍රතිඵල වැළැක්විය නො හැකි ය. 

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට 

අරුණලු කැරලි වැටෙනා කල අලුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

බන්දුල නානායක්කාරවසම්ගේ පද රචනයෙන් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන උක්ත ගීතය මෙරට තාරුණ්‍යයට හිමි කර දුන් විෂමතා බහුල සමාජයේ විසඳුමක් සේ පෙනෙන ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ යථාර්ථය කියවෙන්නකි. සෑම වෘත්තියක් ම ගෞරවනීය වන්නේ සේවකයා කෙරෙහි තබන ගෞරවනීයත්වය මත යි. නිදහස සහ අයිතිවාසිකම් මත යි. ආර්ථික පීඩනයේ පතුලට ම වැටී සිටින යෞවන යෞවනියන් ඒ ගැන නොතකා දිවා රෑ නොබලා ජීවිතය එකතු කරන්නේ කම්හල්වල යි. නියොන් එළි අතර දිවෙන මැෂිමෙන් ගොතන ජීවිතය ඔවුන්ගේ එක ම ගැලවුම්කාරයා ය. ඇතැමුන් සුවට නිදන මහ රෑ තුන් තිස් පැය ම නිදිවරා වෙහෙසී ජීවිතය සොයන මොවුන්ට ලෝකයේ අරුණලු දකින්නට අවසර නොමැත්තේ ආර්ථික අවපාතය හෙළන ගොරබිරම් තිරපට නිසාවෙනි.

තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ 

නිල් එළියටයි පෙති ගෝමර ගෙවෙන්නේ

මල් විය නොවෙද මේ දිය කර හරින්නේ

මැශිම ද සිත ද මහ හයියෙන් හඬන්නේ

යෞවනය නියොන් එළියේ ම ගෙවා දමා උදා වන ජීවිත සැන්දෑව හෝ යහපත් ව ගත කිරීමේ සැබෑ නොවන හීනයක් වෙනුවෙන් අසීමිත ශ්‍රම සූරා කෑමකට ඔවුහු මුහුණ දෙති. නිදහස, සතුට මේ සියල්ලක් අසතුටින් වුව ද යටපත් කරගැනීමටත්, සැපය යන්න කුමක්දැයි නොදැන ජීවිතය ගත කිරීමටත් සිදු වී ඇත්තේ ධනවාදයේ අසමාන සම්පත් බෙදා දීම මත ය. උපතින් ගෙනා හපන්කම් සඟවාගෙන සාර්ථකත්වයේ මග පෙනි පෙනී ම විකල්ප මගක යන්නට සිදුවන්නන් ද සුලබ ය. ඒ මූලික අවශ්‍යතා හෝ අනුනට අතනොපා සරිකර ගැනීම උදෙසා ය. නිදහස් අධ්‍යාපනය නාමික පදවියක් ලෙස පැවතීම නිසා අධ්‍යපාන අවස්ථා වෙත සමීප වීම මොවුනට අරුමයක් වෙයි.

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

මැෂිමේ එහා මෙහා දුවන රෙදිකඩ මෙන් සිදුරු වූ ජීවිතයේ ලෝකයට නොපෙනෙන්න ඒ සිදුරු පුරවන්නේ ජීවිතය මිය නොයා දී රැකගන්නට ය.

ජනිත් විතාරණ පද රචනා කළ අභිෂේකා විමලවීර ගායනා කරන අපි අතරම සිටින අම්මලා තුන් දෙනෙක් පිළිබඳ කියවෙන නේත්‍රා රැලි හංග ගන්නට ගීතය ආර්ථික පීඩනයෙන් පීඩිත ව දරු පවුල රැක ගැනීමට මේ සමාජයේ ම විවිධ භූමිකා රංගනයන්ගේ යෙදුණු අයගේ ශෝකාන්තය යි.

නේත්‍රා රැලි හංග ගන්නට 

ගැල්වු සායම් දියර ඇත්නම්

කුසේ ගින්දර නිවන බත් පත 

පිළුණු වී ළඟ තියෙනවා නම්

වයසටත් කලියෙන් ම වියැකිලා ගිය තාරුණ්‍යය රැක ගනිමින් ජීවිතයේ අවදානම් මගක හෝ ගොස් තම දරුවන් රැක බලා ගන්නේ ආයාසයෙනි. ළමා පරපුර රටට හෙටක් උදා කරදෙන්නේ යැයි පාරම්පෑව ද ඔවුන්ට නිසි රැකවරණයක් ලබා දෙන්නට විධිමත් යාන්ත්‍රණයක් රටේ නොමැති විට ජීවිතය බිල්ලට තබා මව්වරු ඒ වෙනුවෙන් දිවි දෙති.

ගල්වලේ වැඩ කරපු දවසක

කැඩුණු සුළැඟිලි කොටය ඇත්නම්

ඇදුම එනවිට හදිස්සියක දි

ගන්න පෙති ටික හම්බුණා නම්

යකඩයෙන් නොව සම් මසින් තැනුණු මිනිසුන් සිටින ලෝකයක එකෙකු විනෝදයට ආහාර ගනිද්දී තවකෙකු කුස ගින්දරින් මන්දපෝෂණය විසින් ගොදුරු කරගනිති. තම දරුවන් පෝෂණය කරන්නට ගල් වලේ වැඩට ගිය ඇදුම හැදුණු අම්මා ආරක්ෂා කළේ තිස්තුන් කෝටියක් දෙවියන් නො වේ. ඇය අත තිබූ බෙහෙත් පෙති ටික සහ ඇගේ චිත්ත ධෛර්යය යි.

ආර්ථික අපහසුතා නිසා මූලික අවශ්‍යතා ඉටු කරගත නොහැකි කුසලතා සහිත පුද්ගලයන් රාජ්‍ය විසින් නිසි මෙහෙයවීම් ඔස්සේ සක්‍රිය ලෙස සංවර්ධන ක්‍රියාදාමයට සම්බන්ධ කරගත යුතු ය. හුදෙක් න්‍යායාත්මක විසඳුම් වෙනුවට පුරවැසියාගේ ජීවිත ආරක්ෂණය වෙනුවෙන් ප්‍රායෝගික සහ මානුෂීය අර්ථ ක්‍රමයක් නිර්මාණය කිරීම අද පමණක් නොව අනාගත සුරක්ෂිත බව ද තහවුරු කරන්නකි. එසේ නොවනතාක් සමාජයේ අනාරක්ෂිත සහ ඛේදනීය සිදුවීම්වලට වැඩි අවකාශයක් වෙන් වන බව ගීත රචකයා විසින් අවධානයට ලක් කරනු ලැබේ.

Top