නොහිතන මොහොතක තිගැස්සුණු ජීවිතය (697)

post-title

එය උණුසුම් සන්ධ්‍යාවකි. මම දුම්රිය පැමිණෙන තුරු ස්ටේෂමේ බංකුවක් මතට වී හිදගෙන සිටියෙමි. මොහොතක් ගතවන විට දුම්රියේ හූ හඩක් නැගුණු අතර ස්වල්ප වෙලාවකට පසු පැමිණි දුම්රිය හඩ බාල කරමින් ස්ටේෂමේ නතර විය. මිනිසුන් පොදි කමින් දුම්රියට නගින්නට උත්සුක ය. එම තදබදය අතුරින් කෙසේ හෝ මම ද එයට ගොඩවීමි. ජනේලයක් අසල අසුනකින් ද හිද ගතිමි. දෙකකුල් දිග හැර අසුනේ හිදගත් මම පුවත්පත පෙරළන්නට ගත්තේ තරමක සැනසිලිදායක හැගුමෙන් ය. 

නමුදු ගතවූයේ සුලු වෙලාවකි. පත්තරය අතරින් කිලිටි අතක් මා වෙත දික්ව ඇති අයුරු මම දුටිමි. පත්තරය පහත් කොට හිසොසවා බලන කළ මට පෙනුනේ කිලිටි කඩමාලු ඇදුමකින් ගත යන්තමට වසා ගත් සිගන මිනිසෙකි. පසුම්බියෙන් ගත් රුපියල් පහේ කාසියක් ඔහු අත තැබූ මම නොඉවසිල්ලෙන් යළිත් පත්තරය පෙරළා කියවන්නට වීමි. එහෙත් පත්තරයේ අකුරු අතරින් මගේ දෑස් දිවගියත් එහි ඇති කිසිවක් මට නොවැටහෙන බව මට හැගෙයි. දුම්රිය ඒ තරමට ඝෝෂාකාරිය. තදබද අතර නොයෙක් හඩවල් මා අවටය. 

එක් පුද්ගලයෙක් වඩේ වඩේ ඉස්සො වඩේ... උම්බලකඩ වඩේ යැයි කෑ ගසමින් දුම්රිය මැදිරි හරහා ඇවිදියි. තවත් අයෙක් නාරං නාරං තිබහට නාරං .... දහයට පහයි යනුවෙන් හඩ දෙයි. මා වසර කිහිපයක සිට ම රැකියාවට යන්නේ ද එන්නේ ද දුම්රියේ ය. එසේ වුවත් තවමත් මගේ දෙසවනට මේ ඝෝෂාව නුහුරු ය. මම පත්තරය නවා බෑගයට ඔබාගෙන නිදා ගැනීමේ අරමුණින් පිටුපසට ඇලවුණිමි. ස්වල්ප වේලාවකින් සියලු ඝෝෂාවන් අතරතුර මට නින්ද ගොස් ඇත.

යළිත් මා නින්දෙන් පිබිදෙන විට දුම්රිය තිබුණෙ ඊළග දුම්රිය පළෙහි නවතා ය. පෙර සේ ම මෙහිද දුම්රියට නගින්නට පොර කන මිනිසුන් ය. දවසේ ගතමනාව සොයා ගන්නට වෙහෙසෙන වෙළදුන් ය. ඒ සියල්ලන් අතුරින් දුම්රිය මැදිරියට පැමිණි අයෙක් විශේෂයෙන් කැපී පෙනුණි. ඇය කාන්තාවකි. වැඩි වයසක් පෙනෙන්නට නැත. එක් අතකින් බිළිදියක් වඩාගෙන ද අනික් අතින් ළදැරියක් අල්ලාගෙන ද ඇය කිළිටි ඇදුමින් සැරසී සිටියා ය. 

‘‘අනේ නෝනා මහත්තයා මට කීයක් හරි දෙන්නැයි‘‘ පවසමින් ඇය දුම්රිය මැදිරියේ සිටි අයට අත පෑවා ය. අවසානයේ ඇය මා ළගටද ළං විය. ‘‘අනේ නෝනා කීයක් හරි දෙන්ටකෝ‘‘ යැයි ආයාචනා කරේ මා දෙස නැඹුරුව ය. ඇගේ අත ගොරහැඩි ය. මට සිතුනේ එසේ ය. රුපියල් දහයේ නෝට්ටුවක් ඇය අත තැබූ මම නැවතත් ඇලවුණෙමි. නමුත් මා පුදුමයට පත්කරමින් ඇය මගේඋරහිසට තට්ටු කර ඇගේ ගොරහැඩි අත නැවතත් මා දෙසට පෑවා ය. නින්දට බාධා වීමත් පෙර ඇයට මුදල් දීමත් හේතුවෙන් ඇගේ එම ප්‍රතිචාරය මගේ ඉවසීමේ සීමාව ඉක්මවන්නට සමත්විය. 

‘‘තමුසේ හිතාගෙන ඉන්නේ සල්ලි ගස්වලින් කඩනවා කියල ද ? එකපාරක් සල්ලි දුන්නම තව පාරක් සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද? ඇයි වැඩක්පලක් කරගන්න බැරි අත පය කැඩිලා ද?

මම ඇයට මහ හඩින් බැණ වැදුණෙමි. කදුළු පිරි දෙනෙතින් මා දෙස මද වේලාවක් බලා සිටි ඇය අනික් පසට හැරුණි. ඊළග දුම්රියපලෙහි දී ඇය දුම්රියෙන් බසින්නට සැරසෙනවා මම දිටිමි. ඒ අතරේ ඇගේ අතේ එල්ලී සිටි දැරිය යමක් පවසයි. මම ඊට කන් දුනිමි.

‘‘අම්මේ අද රෑටත් අයියාට බේත්ගන්න බැරුව එයා මැරිලා යයි ද? එයා මැරිලා ගියොත්තාත්තා මැරුණම වගේ අපිට කෑම හම්බ වෙයි ද? “

දැරියගේ වචන මගේදෙසවන පසාරු කරගෙන යනවාක් මෙන් මට දැනිණි. එවිට ම ඇය දුම්රියෙන් බැස අවසන් ය. මුදල් නෝට්ටු කිහිපයක් අතට ගත් මම ජනේලයෙන් හිස පිටතට දමා ඇයට උස් හඩින් කෑ ගැසීමි. එහෙත් ඒ වෙද්දී දුම්රිය සිය හූ හඩ නගමින් ගමන් අරඹමින් ය. මගේ හඩ පරදවා දුම්රියේ හඩ වැඩි විය. ඈ ද දුම්රිය වේදිකාව දිගේ නොනැවතී ඉදිරියට ගියා ය. ඇයට මුදල් දීමට මට නොහැකි වීමත් ඇයට මුදල් ලබා ගැනීමට නොහැකි වීමත් අපේ ම දෛවය නොවේ ද? පසුතැවිලිකාරි මනසින් මම දුම්රිය වේදිකාවේ ඇය සැගව යන දෙස බලා සුසුමක් හෙලීමි. ජීවිතයේ මෙවන් දෑ කොතරම් නම් අප කම්පාවට පත්කරන්නේ ද යන්නට සාක්ෂ දරමින් මගේ දෑස් අග තෙත්ව තිබුණි.

Top