‘‘මෙරට රූපවාහිණි ඉතිහාසයේ නොමැකෙන රන් සළකුණ ” (691)

post-title

(ටයි මාමා ගැන ආදරෙන් ලියූ ලිපියකි)

“කවුරුද කවුරුද දැන් ලොක්කෝ 

අපිමයි අපිමයි දැන් ලොක්කෝ”

ඒ කුඩා දරුවන් අතර කවදත් ජනප්‍රිය වුණු “හඳයා” චිත්‍රපටයේ තේමා ගීතයයි. 

වර්ෂ 1929 අප්‍රේල් මස 17 වන දින මෙලොව එළිය දුටු තොටවත්තගේ දොන් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා මහතා මෙරට කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතරත් ජනාදරයට පත්වුයේ ටයිටස් තොටවත්ත හෙවත් ටයි මාමා යන ආදරණීය නාමයෙනි. එකල අති මහත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වුණු “ඔෂින්” මාලා නාටකය ඇතුළු ඇමරිකානු හා ජපන් ටෙලි නාට්‍ය මෙන්ම කාර්ටූන් සඳහා ද හඬ කැවීම් අධ්‍යක්‍ෂණය සිදුවුයේ ටයිටස් තොටවත්තයන් අතිනි. එවක ඔහු ජාතික රූපවාහිණීයේ හඬ කැවීම් එකකයේ අධ්‍යක්‍ෂකවරයා වශයෙන් සේවය කලේ ය. 

තවමත් මතකයට නඟා ගත හැකි දොස්තර හොඳ හිත කාර්ටූනයේ “මුහුද මගේ ගොඩබිමයි, නැව මගෙ නිවසට සමයි” අදටත් ඒ ළමා කාලය වෙත අප කැදවාගෙන යයි. එසේම ගලිවර්ගේ සුවසැරිය, පිස්සු පූසා, හා හා හරි හාවා” වැනි කාර්ටූන් නිර්මාණ එදා ළමා විය ගෙවු අද වැඩිහිටියන් අතර ද ජනප්‍රිය නිර්මාණයන් ය. 

ළමා වැඩසටහන් ගණනාවක් මෙහෙය වු අති සාර්ථක නිර්මාණ ශිල්පියෙක් සේම සංස්කරණ ශිල්පියෙක් ද වුණු ටයිටස් තොටවත්ත මහතා අතින් සංස්කරණය වුණු චිත්‍රපට ගණන 24 කි. මෙරට පළමුවරට ජාත්‍යන්තර සම්මාන උළෙලක් නියෝජනය කළ “රේඛාව” චිත්‍රපටය ද ඔහු හා ප්‍රවීණ සිනමාවේදි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ එකතුවෙන් කළ නිර්මාණයකි. එය එතෙක් “ඉන්දියානු කොපියේ ශ්‍රි ලාංකික සිනමාවේ” හැරවුම් ලක්ෂය වුණු චිත්‍රපටය බව විචාරක මතයයි.

එයට අමතරව “හාර ලක්‍ෂය, සාගරිකා, සිහසුන, මංගලා, මරුවා සමඟ වාසේ, මෙන්ම හඳයා ළමා චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයන්ට උදාහරණ සපයයි. එසේම සිනමාවේ ප්‍රථම වරට දුෂ්ඨයාගේ චරිතය රඟ පෑ ගාමිණි ෆොන්සේකා මහතා රඟ පෑ චණ්ඩියා චිත්‍රපටය ටයිටස් තොටවත්තයන්ගේ පළමු අධ්‍යක්‍ෂණයයි. රූකඩ කලාව රූපවාහිණියට ගෙන ආ ඔහු ජනවාර්ගික අර්බුධය පැවති කාලයේ සිංහල, දෙමළ, ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහනක් ඉදිරිපත් කලේ ය. ජාතික රූපවාහිණියට හඬ දෙකැවීමේ මැදිරියක් ලබාගැනීමට ද ඔහු සමත් විය. 

ටයි මාමාගේ දිවියෙන් බිඳක්

දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා ලෙසින් උපන් ටයිටස් තොටවත්ත මහතා ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු කලාව උගත්තේ ජේ.ඒ.ඩි පෙරේරා සහ ස්ටැන්ලි අබේසේකරයන්ගෙනි. එයින් පසු ඔහු මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළු විය. එයින් පසු චිත්‍රපටකරණයට ඇති කැමැත්ත නිසාම පුවත්පත් දැන්වීමකට අනුව අයදුම්පතක් යොමු කර රජයේ චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ විය. ඉන් පසු මිය යනතුරුම ඔහු අතින් නිර්මාණ වුනු ළමා කතාංග හා ටෙලි නිර්මාණ ගණන සුවිශාලය. එයින් වසර 82 ක් ආයු වළදා 2011 වසරේ ඔක්තෝබර් මස 15 වන දින කොළඹ පෞද්ගලික රෝහලක දී ඔහු සිය ජීවිතයෙන් සමුගත්තේ ළමා ලොවට බොහෝ වටිනාකම් ඉතිරි කර තබමිනි.

අදටත් කියවීමේ රුචියෙන් පෙළෙන ඔබත් ලිවීමේ රුචියෙන් පෙළෙන අපත් නිර්මාණය කරන්නට ටයිටස් තොටවත්තයන් කල නිහඬ මෙහෙය අප්‍රමාණය. ඔහු විසින් හඬ කවා අපට දායාද කළ බොහෝ නිර්මාණ ළමා වියේ අපගේ පරිකල්පන හැකියාව ඔපමට්ටම් කරන්නට සමත් වු බව ද අවිවාදිතය. එම නිර්මාණවල ගීතයකින් පවා අප බොහෝ දෑ ඉගෙන ගත් බව රහසක් නොවේ. වාණිජකරනය වුණු සමාජයක ළමා රසවින්දනය මුදලට විකුණන ළමා මනසටවත් නොගැලපෙන කාර්ටූන් නිර්මාණ ගෙන එන මාධ්‍ය ආයතනවලට ටයි මාමා පාඩම් පොතකි. 

ඔහු මෙරට රූපවාහිණි ඉතිහාසයේ නොමැකෙන රන් සළකුණක් වන්නේ ද එබැවිනි. 



Top