ගවේෂණාත්මක වාර්තාකරුවකු වීම පහසු කාර්යයක් නොවේ! (682)

post-title

ගවේෂණාත්මක වාර්තාකරණය යනු පුද්ගලයින් හෝ සංවිධානයන් විසින් රහසේ තබා ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට වැදගත් කාරණයක් පිළිබදව තමන්ගේ උනන්දුවෙන් හා පුරෝගාමිත්වයෙන් කළ සොයාගැනීමක් වාර්තා කිරීම ය. ගවේෂණාත්මක වාර්තාකරණයේ මූලික කරුණු ත්‍රිත්වයකි. එනම්, තවත් අයෙකු සිදුකළ ගවේෂණ වාර්තාවක් නොවන එය මාධ්‍යවේදියා විසින්ම කළ ගවේෂණාත්මක වාර්තාවක් වීම, කතා පුවතේ විෂයය පාඨකයාට හෝ ශ්‍රාවකයාට සාධාරණව වැදගත් වන යමක් හා බැඳී තිබීම හා වෙනත් අය පොදු ජනතාවගෙන් වසන් කිරීමට උත්සහ කරන කරුණක් වීම යි. වාර්තාකරණයේ ප්‍රබල අංගයක් ලෙස සැළකෙන ගවේෂණාත්මක වාර්තාකරණය 19 වන සියවසේදී ඇමරිකාවෙන් මතු විය. වාර්තා වී ඇති අන්දමට මෙය මුලින්ම වාර්තා වී ඇත්තේ පුවත්පත්වල නොව සඟරාවල ය. 1906 දී ඩේවිඩ් ග්‍රෙහැම් පිලිප්ස්ගේ “Terason of the Senate” ලිපි පෙළ සැඟවුණ තොරතුරු හාරා අවුස්සමින් ඉදිරිපත් කරන ලද්දකි.

ගවේෂණාත්මක වාර්තාකරුවෙකු වීම පහසු කාර්යයක් නොවේ. අප්‍රතිහත ධ්‍යෛර්යය, කැපවීම, නිර්භීතකම හා අවසානය තෙක් පවතින දැඩි ආත්ම ශක්තියකින් යුක්ත වීම ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙන්නකුට තිබිය යුතු වැදගත් කුසලතාවයක් වෙයි. සාර්ථක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නම් ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කළ යුතු වෙයි. ගවේෂණාත්මක වාර්තාකරණයේදී බොහෝ වෙහෙස මහන්සි වීමටත්, විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමටත් සිදු වෙයි. ඒ සඳහා ධ්‍යෛර්යය, කැපවීම අනිවාර්යයෙන් අවශ්‍ය වෙයි. තවද රහසිගත සිදුවීම් පසුපස හබායාමේදී මරණ තර්ජන, දේශපාලන පළිගැනීම්, ස්ථාන මාරුවීම් ආදී විවිධ දුෂ්කරතාවන් හමුවේ නිර්භීතව අවසානය තෙක් දැඩි ආත්ම ශක්තියෙන් ක්‍රියා කිරීමට සිදු වෙයි.

ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙන්නකු සැමවිටම නිවැරදිව හා තර්කානුකුලව සිතන්නෙකු විය යුතු ය. වාර්තාකරුවා විසින් ගවේෂණය කරනු ලබන සිදුවීමෙහි විවිධ පැතිකඩයන් පිළිබද නිවැරදිව හා තර්කානුකුලව සිතා බැලීම මෙහිදී සිදුකරනු ලබයි. ගවේෂණාත්මක වාර්තාකරුවෙකු සැමවිටම එක් පැතිකඩකට හෝ කරුණකට සීමා නොවී එම සිදුවීමට සම්බන්ධ සැම කරුණක් කෙරෙහිම අවදානය යොමු කර අධ්‍යනය කිරීම වැදගත් ය. එසේම සාමාන්‍ය පුවතක් තුළ වුවද සැඟවුණු යමක් ඇත්දැයි සොයා බැලීම ද තවත් වැදගත් කුසලතාවයක් වේ. නිරීක්ෂනශීලි බුද්ධියක් සහ දුරදක්නා නුවණක් සැම ගවේෂණාත්මක වර්තාකරුවෙක්ට තිබිය යුතු ය.

ගවේෂණාත්මක වාර්තාකරුවෙකු සිය වෘත්තීය ඉටු කිරීමේදී අවංකව, මධ්‍යස්ථව හා පක්ෂපාති නොවී ක්‍රියා කළ යුතු වෙයි. ඔහු හෝ ඇය සිද්ධියට අදාළ තොරතුරු ඉදිරිපත් කිරිමේදී අවංකව ක්‍රියා කිරීම එහි විශ්වසනීයත්වයට බලපානු ලබයි. එහිදී එක් කරුණකට ගැති නොවී මධ්‍යස්ථව කරුණු සොයා බැලීම සිදුකළ යුතුය. ගවේෂණය අවසානයේ ලැබෙන ප්‍රථිපල පිළිබදව පුර්වයෙන්ම නිගමනකට නොබැස, පක්ෂපාති නොවී අවසානය තෙක් එකම අයුරින් තම ගවේෂණ කටයුතුවල යෙදිය යුතු ය.

එසේම වාර්තාකරුවාට සිය කාර්යය පිලිබඳ ඒකායන පරමාර්ථයක් තිබීම ද වැදගත් වෙයි. එසේම සමාජයට හානි කර යම් විෂම ක්‍රියාවක් දුටුවිට ඊට එරෙහිවන මුරණ්ඩු ගති ලක්ෂණවලින් යුක්ත විය යුතු ය. සමාජ අසාධාරණයක් දුටු විට නිර්භීතව ඊට එරෙහිව නැගී සිටීමට හෝ පෙනී සිටීමට ඔහුට හැකි විය යුතු ය. එවැනි සිදුවීම්වලදී සදාචාරාත්මක වශයෙන් බලවත් කම්පනයට පත්වන්නෙකු වීම ඔහුගේ වාර්තාකරණය සාර්ථක වීමට අවශ්‍ය එක් මානව ගුණාංගයක් වෙයි. තමන් විසින් ඇරඹු ක්‍රියාවක් අවසානය තෙක් අත් නොහැර එක අරමුණක පිහිටා අවසන් කිරීමට ගවේෂණාත්මක වාර්තාකරුවෙකු දක්ෂ විය යුතු ය.

ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙන්නෙකු බොහෝවිට රහස් පරීක්ෂකයෙකු මෙන් ක්‍රියා කරනු ලබයි. එනම් වාර්තාකරුවා හුදෙක් නිරීක්ෂකයකුගේ කාර්යභාරයෙන් මිදී තවදුරටත් ඔබ්බට ගමන් කළ යුතු වෙයි. කිසියම් අභිරහසක් පසුපස හබායන රහස් පරීක්ෂකයෙකු මෙන් වර්තාකරුවාද කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මතුපිටින් පෙනෙන දේ නිරීක්ෂණය කිරීමෙන් නොව එහි අභ්‍යන්තරයටම කිඳා බැස තොරතුරු සොයා ගත යුතු වෙයි. තම වාර්තාකරණයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ඔහුට ඇති එම හැකියාව හා දක්ෂතාවය මත ය.

නිබඳවම ගවේෂණාත්මක වාර්තාකරුවකු ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද මූලික දැනුමක් හා පළපුරුද්දක් ලබා තිබීම ද වැදගත් වෙයි. ගවේෂණාත්මක වාර්තාකරණයට පිවිසීමට බලාපොරොත්තු වන මාධ්‍යවේදියකු එම කාර්යයට පිවිසීමට පෙර ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද මනා දැනුමක් හා පළපුරුද්දක් නොලද විට ඔහු ගවේෂණය කිරීමට බලාපොරොත්තුවන සිද්ධියට අදාළ පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා ගැනීමට අපහසුවනවා මෙන්ම පළපුරුද්ද මදකම නිසා තම ගවේෂණය ඉදිරියට ගෙනයාමට අපහසු වෙයි. එම තත්වයකදී මාධ්‍ය ආචාරධර්ම පිලිබඳ පවතින අවබෝධය අවම වීම නිසා වාර්තාකරුවා අතින් මාධ්‍ය ආචාරධර්ම ආචාරධර්ම කඩවී යහපත් මාධ්‍ය ක්‍රියාවලියක් නිර්මාණය කිරීම අපහසු වෙයි.

ලබාගන්නා තොරතුරුවල නිරවද්‍යතාවය හා රහස්‍යභාවය සුරැකීම පිළිබද සැලකිලිමත් වීම ද ගවේෂණාත්මක වාර්තාකරුවෙකු සතුවිය යුතු වැදගත් දක්ෂතාවයකි. තම වාර්තාවේ ඉදිරිපත් කරන කරුණු අනිවාර්යයෙන්ම සත්‍ය ඒවා විය යුතු ය. එම කරුණු වල නිරවද්‍යතාවය පිළිබද වාර්තාකරුවා වගකීමට බැදී සිටියි. තවද තමා ලබා ගන්නා තොරතුරුවල රහස්‍යභාවය සුරැකිය යුතු ය. එසේ නොවීමෙන් ගවේෂණය තවදුරටත් ඉදිරියට කරගෙනයාමට අපහසුවෙනවා මෙන්ම තොරතුරු ලබා දුන් පුද්ගලයින්ද ඉන් අපහසුතාවයන්ට පත්වෙයි. ඇතැම් විට එයින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වීමටද ඉඩ ඇත. ඔවුන්ගේ ජීවිත ගැන වගකීමක් සැමවිටම වාර්තාකරුට තිබිය යුතු ය. එම නිසා වාර්තාකරුවා තමන් විසින් ලබාගන්නා තොරතුරු වල රහස්‍යභාවය රැකීමට සදාචාරාත්මකව බැදී සිටියි.

නිදසුන් ලෙස, “වොටර්ගේට් සිද්ධිය” වාර්තාකළ වාර්තාකරුවන් දෙදෙනාගෙන් එය තහවුරු කරගැනීම සඳහා තවත් ආරංචි මාර්ගයක් ඉල්ලූවිට ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන ලද්දේ ‘ඩීප් ත්රෝට්’ නැමැති අරූඩ නමකින් හැදින් වූ තැනැත්තෙකි. මේ තැනැත්තා ඇ.එ.ජ. ධවල මන්දිරයේ නිලධාරියෙකුව සිටියේ ය. ඒ බව පවා වක්‍ර අයුරින් හෙළිවූයේ නික්සන් ජනාධිපති ධුරයෙන් ඉවත්වී වසර 20 කට පමණ පසුව ය. එහෙත් ඔහු කවුරුන්ද යන්න බොබ් වුඩ්වාඩ් හා කාල් බර්න්ස්ටීන් අද වනතුරු හෙළිකර නැත.

ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙන්නෙකු සැලසුම් සහගතව ක්‍රියා කිරීමට හැකි අයෙකු වීම ද වැදගත් වෙයි. කිසියම් සිදුවීමක් හෝ ක්‍රියාවක් පිළිබද තොරතුරු ලැබුණු පසු ඒ පිළිබද ස්ථිර අදහසක්, අරමුණක් ඇතිකර ගැනීම පළමුව සිදුකර ගත යුතු ය. පසුව එම අරමුණු ඔස්සේ ගමන් කරමින් ප්‍රවෘත්තිය සඳහා තොරතුරු රැස්කර ගැනීම සිදු කරයි. එසේම යුතුකම හෝ වගකීම පෞද්ගලික මිතුරුකමක් හෝ සුළු ලාභ ප්‍රයෝජනයක් තකා පවා නොදීම ඔහු සතු වැදගත් කුසලතාවයකි. ගවේෂණාත්මක වාර්තාකරුවෙක් තමන් සිදු කරන ගවේෂණයෙහි හෙළිවන තොරතුරු කිසිවිටෙකවත් තවත් පුද්ගලයකුගේ කීමට හෝ එම තොරතුරු මුදලට පාවා නොදිය යුතු වෙයි. පෞද්ගලික ලාභ ප්‍රයෝජන හමුවේ හිස නොනමන නොවෙනස්වන අදිටනින් ක්‍රියා කරන්නකු විය යුතු ය. ගවේෂණාත්මක වාර්තාකරුවා සැමවිටම සමාජයට තමාගෙන් වන යුතුකම හා වගකීම පිළිබද මනා දැනුමකින් හා වගවීමකින් කටයුතු කළ යුතු ය. සැමවිටම තම වෘත්තීයේ අභිමානය හා ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළ යුතු ය.

Top