සාහිත්‍යය සොරකමට තිත තබමු

post-title

‘‘රුසියානු සාහිත්‍යකරුවන්ගේ ආභාසය ලබමින් නවකථා හා කෙටිකථා ලියන ලේඛකයන්ගේ ගණන සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. එමෙන්ම දැන් දැන් සිංහල නවකථා මගින් ජීවමාන බව ලබා පාඨක ලෝකය වෙත පිවිසෙන නොයෙක් පුද්ගලයන්ගේ ජීවන දෘෂ්ටිය ද, දහඅටවැනි හා දහනවවැනි ශතවර්ෂවලදී රුසියානු සාහිත්‍යයට එක් වූ නවකථාවල ආ පුද්ගලයන්ගේ ජීවන දෘෂ්ටියට බොහෝසෙයින්ම සමාන බව පෙනේ. දහඅටවැනි හා දහනවවැනි ශතවර්ෂවලදීරුසියානු සමාජයෙහි ඇති වූ නොයෙකුත් පෙරළි, මෙකල ලාංකික සමාජයෙහි ද ඇතිවන්නට පටන්ගෙන තිබීම, ලාංකික ජනයාත්, විප්ලවට පෙර රුසියාවෙහි සිටි ජනයාත් අතර සිතුම් පැතුම් ආදියෙන් සමානත්වයක් තිබීම යනාදි කරුණු මෙයට හේතුවන්නට ඇතැයි සිතිය හැකි ය.’’

රුසියානු සාහිත්‍ය හා වර්තමාන සිංහල නවකථාව හා කෙටිකථාව: මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න: 1969: පිටුව 141

යට සඳහන් කොටස උපුටා දක්වන්නට යෙදුණේ මේ වන විට සාහිත්‍ය ක්ෂේත්‍රය පුරා ඇවිළෙමින් පවතින ගින්නක් පිළිබඳ යම් සටහනක් ලිවීමට පූර්විකාවක් ලෙසිනි. අදාළ ගින්න නම්, සුජාතා අලහකොන් නමැති ලේඛිකාව විසින් රචිත ‘‘ඒත් අපි පියාඹමු’’ නම් වූ යොවුන් නවකාව පිළිබඳව ය. ගින්නට හේතුව වන්නේ ගංගා නිරෝෂණි සුදුවැලිකන්ද නමැති ලේඛිකාව විසින් පරිවර්තනය කරන ලද ‘‘තැනිතලාවේ පිහිටි කුඩා නගරය’’ නමැති කෘතියේ අන්තර්ගත ඇතැම් කොටස් ඒ ආකාරයෙන් ම සුජාතා අලහකොන්ගේ ‘‘ඒත් අපි පියාඹමු’’ කෘතියට අන්තර්ගත කර තිබීම ය. මෙම පුවතේ වඩාත් වැදගත් කොටස වන්නේ අදාළ කෘතිය මෙම වසරේ පැවති රජත පුස්තක සම්මාන උළෙලේ හොඳම යොවුන් නවකතාවට මෙන් ම ගොඩගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන අත්පිටපත් තරගයෙන් සහ 22 වන ගොඩගේ ජාතික සාහිත්‍ය (සම) සම්මානෙයන් ද පිදුම් ලැබීම ය.

facebook හි මේ සම්බන්ධයෙන් විවිධ සටහන් තබා තිබූ අතර ඒවායේ පැහැදිලිව ම ගංගා නිරෝෂණි සුදුවැලිකන්දගේ පරිවර්තන කෘතියේ සහ සුජාතා අලහකොන්ගේ කෘතියේ කොටස් පැහැදිලිව ප්‍රදර්ශනය කර තිබුණි. (ඊට අදාල ලින්කු මෙහි අන්තර්ගත ය) එවිට දක්නට ලැබෙන්නේ සුජාතා අලහකෝන් සිය කෘතියට ගංගා නිරෝෂණි සුදුවැලිකන්දගේ කෘතියේ ඇතැම් කොටස් අමු අමුවේ ම කොපි කර ඇති බවයි. (මීට අමතරව චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් පරිවර්තනය කරන ලද ‘‘අපූගේ ලෝකය’’ ඇතුළු වෙනත් පොත් කිහිපයකින් ම අමු අමුවේ කොපි කර ඇති බව ද දැන් නොරහසකි. තව ද මෙම කෘතියට යොදා ඇති නම ද සොරකම් කළ නමකි.) තවත් සරලව ම පවසන්නේ නම් මෙය සාහිත්‍ය සොරකමකි; බුද්ධිමය දේපළ සොරකමකි.

සමීක්ෂණ මණ්ඩලය වග විය යුතු ද...?

මෙම සාහිත්‍ය සොරකම සම්බන්ධයෙන් පූර්ණ වගකීම දැරිය යුත්තේ ලේඛිකාව ය. නමුත් facebook හි සටහන් තබා තිබූ බොහෝ දෙනෙක් අන් අයගේ කෘතිවලින් (පරිවර්තන හෝ ස්වතන්ත්‍ර) සොරකම් කළ කොටස්වලින් සමන්විත කෘතියක් වෙත සම්මාන පිදීම සම්බන්ධයෙන් අදාළ සම්මාන උළෙල සඳහා කෘති සමීක්ෂණය කළ සමීක්ෂක මඬුල්ලට දොස් පවරා තිබුණි. සම්මාන සමීක්ෂක මණ්ඩලයක වසර අටක් කටයුතු කිරීමෙන් මා ලද අත්දැකීම් අනුව නම් පරිවරතන සාහිත්‍ය කෘති සමීක්ෂණයේ දි හැර වෙනත් සාහිත්‍ය කෘති සමීක්ෂණයක දී නම් මෙබඳු අවස්ථාවක සමීක්ෂක මණ්ඩලයට වග විය නොහැකි ය. ඇතැම් අය ප්‍රශ්න කර තිබුණේ අදාළ සමීක්ෂක මණ්ඩලයේ කිසිවකු හෝ ගංගා නිරෝෂණි සුදුවැලිකන්ද පරිවර්තනය කළ කෘති කියවා නැති ද යන්න ය. ඔවු... එය එසේ විය හැකි ය. එමෙන් ම යොවුන් සාහිත්‍ය කෘති සමීක්ෂක මඬුල්ලක සාමාජික සාමාජිකාවෝ පරිවර්තන යොවුන් සාහිත්‍ය කෘති හෝ මීට පෙර නිකුත් වූ යොවුන් සාහිත්‍ය කාති සියල්ල හෝ බහුතරයක් කියවා තිබිය යුතු යැයි අනිවාර්ය කළ නොහැකි ය. කියවා තිබුණ ද ඇතැම් විට ඒ සියල්ල මතකයේ නොතිබෙන්නට පිළිවන. අපූගේ ලෝකය කෘතිය නම් බොහෝ දෙනෙක් කියවා තිබෙන්නට ඇත. එහෙත් ඇතැම් විට එහි කොටස් මතකයේ නොරැඳෙන්නට පිළිවන. එය සමීක්ෂක මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ වරදක් ලෙස දැකීම අසාධාරණය යන්න මගේ පුද්ගලික අදහස ය.

සොරකම කළ පුද්ගලයාගේ වගකීම

සොරකම් කිරීමේ ක්‍රම කිහිපයක් පිළිබඳව අපි අසා ඇත්තෙමු. ඉන් එක් ක්‍රමයක් වන්නේ සොරකමක් බව නොදැන සොරකම් කිරීම ය. තවත් ක්‍රමයක් වන්නේ සොරකමක් බව දැන දැන ම සැලසුම් සහගතව සොරකම් කිරීම ය. අනෙක් ක්‍රමය වන්නේ යමක් දුටු  සැණින් ඇතිවන ආශාව හේතුවෙන් සොරකම් කිරීම ය. තවත් අයෙක් කුස ගින්න නිවාගැනීම සඳහා පමණක් ම යමක් සොරකම් කළ හැකි ය. මෙම ක්‍රම කිහිපයට අනුව සුජාතා අලහකෝන් සිදු කර ඇත්තේ සිතා මතා සැලසුම්සහගතව සොරකම් කිරීම ය. 

ලෝකයේ විවිධ වැරැදි කළ පුද්ගලයෝ බහුතරයක් දඬුවම් ලබා ඇති අතර ඇතැම් පුද්ගලයෝ සමාව ලබා ඇත. ඒ, තමා සොරකමක් කළ බව පිළිගෙන ඉදිරි කාලයේ දී සොරකම් නොකරන බවට පොරොන්දු වීමෙනි. නමුත් සුජාතා අලහකෝන් තමා බුද්ධිමය දේපළ සොරකම් කළ බව පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබුණේ ඉතා මුග්ධ (ඇගේ ප්‍රකාශය කියවන්න) අන්දමිනි. (මේ වන විට ඇය රජත පුස්තක සම්මානය සහ ත්‍යාග මුදල ආපසු බාර දී ඇති බව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණි. නමුත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් නිකුත් කළ නිල නිවේදනයක් මෙම ලිපිය ලියන මොහොත දක්වා දක්නට නොලැබුණි) ඇයට අනුව ඇය එසේ අන් අයගේ කෘතිවල අන්තර්ගත කොටස් තමාගේ කෘතියට බහා ඇත්තේ අභාසය ලබාගෙන මිස සොරකම් කර නොවේ. (අභාසය, අනුකරණය සහ සොරකම කුමක්ද යන්න නිවැරැදිව වටහා ගැනීමට නම් මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න විසින් රචිත ‘‘රුසියානු සාහිත්‍ය හා වර්තමාන සිංහල නවකථාව හා කෙටිකථාව’’ නමැති කෘතිය හදාරන්න.) එය තවත් නිහීනත්වයකි; උද්ධච්චභාවයකි. ඉදින් එවැනි උද්ධච්ච සෙරලියන්ට නම් නීතියෙන් දඬුවම් ලබා දිය යුතු ම ය. එසේ නොවන්නට තවත් අය අනාගතයේ දී මේ ආකාරයේ බුද්ධිමය දේපළ සොරකම්වල නියැළීම සක් සුදක් සේ පැහැදිලි ය.

සම්මාන පිදූවන්ගේ වගවීම

‘‘ඒත් අපි පියාඹමු’’ කෘතිය සම්මානයට පාත්‍ර කරන මොහොතේ එය අන් අයගේ කෘතිවල අන්තර්ගත කොටස් අමු අමුවේ ම සොරකම් කළ බව අදාළ සම්මාන උළෙල සංවිධායකයෝ දැන නොසිටි බව සැබැවි. එහෙත් දැන් මෙය ලංකාව පමණක් නොව සමස්ත ලෝකය ම දන්නා කරුණකි. එසේ නම් මේ මොහොතේ අදාළ කෘතියට සම්මාන ලබා දුන් ආයත හෝ සංවිධානවල වගකීම විය යුත්තේ කුමක් ද...? සැවින් ම මේ මොහොතේ ඔවුන්ගේ වගකීම විය යුත්තේ අදාළ සම්මානය නැවත ලබාගැනීම ය; අනතුරුව එම සම්මානය ඊළඟ සුදුසු කෘතියට පිරිනමන්නේ නම් වඩාත් වටින්නේ ය. නමුදු එවන් ක්‍රියාවකට ඔවුන් පෙලඹේ ද යන්න බාහිර පුද්ගලයන්ට හෝ සංවිධානවලට තිරණය කළ නොහැකි ය. එය ඔවුන්ගේ තීරණයකි. 

මෙම ලිපිය ලියන මොහොත වන විට ගොඩගේ ආයතනය නියෝජනය කරන අනුරසිරි හෙට්ටිගේ මහතා සිය facebook ගිණුමේ සටහනක් තබමින් දන්වා තිබුණේ (ඊට අදාළ ලින්කුව මෙහි අන්තර්ගතව ඇත.) රටේ පවතින වාතාවරණය යහපත් අතට හැරුණු වහාම අදාළ ලේඛිකාව දැනුවත් කර ගොඩගේ ආයතනය විසින් පිරිනමන ලද සම්මාන ආපසු කැඳවන බවයි. එය ඉතා යහපත් මෙන් ම ඍජු තීරණයකි. 

සොරකමට සුදු හුණු ගෑම

සර්ව සාධාරණ, සමානාත්මතා පදනමට යටත් වූ සමාජයක්, සොරකම් - දූෂණ - හෝ වංචාවලින් තොර සමාජයක් බිහිකිරීමට වෙර දරන ඇතැම් දේශපාලන ව්‍යාපාර නියෝජනය කරන අය සුජාතා අලහකෝන්ගේ මෙම ක්‍රියාව ‘‘සොරකමක් නොවේ’’ යැයි හැඟෙන ප්‍රකාශ නිකුත් කර තිබුණි. (ඇගේ සොයුරා ද එවන් ප්‍රකාශයක් කර තිබුණි. ඒ පිළිබඳව නම් අනුකම්පා කළ යුතු ය) එය ද ඉතා නින්දිත ය; ලජ්ජාසහගත ය. අදාළ ප්‍රකාශ දෙස බලන විට දැනෙන්නේ ‘‘හරකෙක් කොහෙද මා ළඟ කඹයනෙ අල්ලනං හිටියේ’’ යන හැඟීමකි. එවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් දක්නට ලැබෙන්නේ අදාළ දේශපාලන ව්‍යාපාරවල බංකොලොත්භාවය සහ දෙබිඩි පිළිවෙත යි.  

ආශ්‍රිත -

 

(කවීෂ නඳුන් කග්ගොඩ ආරච්චි)

(අනුරසිරි හෙට්ටිගේ)

(චන්දන සිරිමල්වත්ත)

(රජත පුස්තක සම්මානය ආපසු බාර දීම)

Top