සංස්කෘතික මිනිසා ආගමේ ගොදුරක් ද? (671)

post-title

පශ්චාත් නූතන අවධියේ දී ලාංකේය සමාජ සංදර්භය තුළ මානව සංහතිය, ප්‍රචණ්ඩ ඛේදජනක සමාජ ව්‍යවසන තත්වයක සිට සාමකාමී සංහිඳියා මාවතකට ප්‍රවිෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳ ව අද්‍යතන සමාජය බලවත් අභියෝගයකට මුහුණ දෙමින් සිටියි. මෙම අභියෝගයට පූර්ණ වශයෙන් මුහුණ දිය හැකි වන්නේ ඒ සඳහා හේතුකාරක වූ ව්‍යුහාත්මක මානයේ සහ ඒ හා සහසම්බන්ධිත සංස්කෘතික මානයේ ධනාත්මක පරිවර්තනයන් හරහා ය. ඒ සඳහා සංස්කෘතික මිනිසා තම ආගමෙහි ගොදුරක් ම නොවිය යුතුය.

මිනිසා යනු, සමාජමය ප්‍රපංචයකි. එසේ මිනිසා සමාජමය සත්වයෙකු වන්නා සේ ම ආගමික සත්වයෙකු ද වේ. සමාජයේ ආගම යන්න හුදෙකලා සන්දර්භයක් නොවන අතර එය මිනිසාගේ මූලික අවධානය දිනාගත් ප්‍රබල සමාජමය සංකල්පයකි. ඒ අනුව ආගම නැමැති සංකල්පය මිනිසාට තමා අවට ලෝකය පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමටත්, තම ජීවිතයේ අනාගතය පිළිබඳ ව කිසියම් වූ සුරක්ෂිතභාවයක් ඇතිකර ගැනීමටත් ප්‍රධාන වන සංස්කෘතික අංගයක් ද වේ. එමෙන්ම සමාජය තුළ ආගමේ සම්භවය මෑතකාලීනව සිදුවූවක් නොවන අතර එහි ආරම්භය කවදා කෙසේ කොතැනක සිදුවී ඇත්දැයි නිශ්චිත ලෙස කිසිවෙකුටත් පැවසිය නොහැක. ඇතැම්විට එය මානවයාගේ ආරම්භය දක්වා ම දිව යනු ඇත. විවිධ වූ සමාජ සන්දර්භයන් තුළ නොයෙකුත් ආගම් පදනම් කර ගත් විශ්වාසයන් සහ පුද පූජාවන් අතීතයේ සිටම පැවතිණි. තම ජීවිතය සුඛිත මුදිත කර ගැනීමේ අරමුණෙන් සහ කරදර බාධාවලින් අත්මිඳීම උදෙසා ත් මිනිසා අධිස්වභාවික බලවේග කෙරෙහි විශ්වාසය තැබීමේ ප්‍රතිඵලයක් ලෙස ආගම බිහිවන්නට ඇතැයි යනුවෙන් ද ඇතැමුන් විශ්වාස කරනු ලබයි. කෙසේ නමුත් විශ්වීය වටිනාකමකින් යුත් මෙම ආගම් සංකල්පයට විශ්වයේ සෑම පුද්ගලයෙකු ම කුමන හෝ ආකාරයකින් බද්ධ වී ජීවත් වනු ඇත.

ආගමක් යනු, පීඩිත ජනතාවගේ සුසුම යි. හදවතක් නැති ලෝකයේ අභිප්‍රාය යි. ආත්මයක් නැත්තවුන්ගේ ආත්මය යි. එය ජනතාවට අබිං විශේෂය කි. ” 

- කාල් මාක්ස් 

එසේම එමිල් ඩුර්කයිම්, මැක්ස් මුලර්, ජේමිස් පේසර් යනාදී වූ බොහෝ විද්වතුන් ද ආගම යන්න පිළිබඳ ව විවිධ වූ නිර්වචනයන් ඉදිරිපත් කොට ඇත. කෙසේ වුවත් ආගම, සමාජය පාලනය කිරීමේ උපාංගයක් ලෙස ක්‍රියා කරනු ලබයි. එහිදී එකී සමාජය පාලනය කිරීම සඳහා යොදාගනු ලබන නීතිය, සිරිත් විරිත් යනාදී සියල්ලක් ම පාහේ ආගමෙන් පෝෂණය වී ඒ හා සමගාමී ව වර්ධනය වී ඇත. ඒ නිසාවෙන් ම මානව හැසිරීම් පාලනයේ පමණක් නොව සමාජ පාලනයේ ත් නියමුවා ලෙස ආගම හැඳින්වීම සාවද්‍ය නොවන්නකි.

අනෙකුත් රටවල් සමඟ සසඳන කල්හි ශ්‍රී ලංකාව ඔවුන් අතර සුවිශේෂී වේ. ඒ ශ්‍රී ලංකාව බහු ආගමික, බහු වාර්ගික සහ බහු සංස්කෘතික රටක් වන නිසාවෙනි. මෙහිදී ලාංකේය සමාජය තුළ බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු, මැලේ යනාදී වූ විවිධ ආගමික කණ්ඩායම් බහුල වන අතර ඒ ඒ සමාජ කණ්ඩායම් තුළ ඔවුන්ට ම ආවේණික වූ ඇදහිලි විශ්වාස පද්ධතියක් ද ඔවුනොවුන් සතුව පවතී. මෙසේ ආගමික කණ්ඩායම්, ආගමික විශ්වාසයන් ලාංකේය සමාජය තුළ බහුල වීම නිසාවෙන් ඒ ඒ ආගමික කණ්ඩායමකට කිසියම් වූ සුරක්ෂිතභාවයක් අවශ්‍ය වන්නේ ආගමික කණ්ඩායමක් පවතින සමාජ ක්‍රමය තුළින් වෙනස් කොට සැලකීමකට පත්වනවා නම් හෝ මර්ධනයකට ලක් වනවා නම් පමණි. නමුත් බහු ආගමික සමාජ ප්‍රපංචයක් තුළ කිසියම් පුද්ගලයෙකුට ආගමක් හෝ විශ්වාසයක් දැරීමට පවතින නිදහස ආරක්ෂා කළ යුතුය යන්න අද වන විට ලාංකේය සමාජ කතිකාවතේ නිරන්තරයෙන් ම උඩුදුවා ඇති කරුණකි.

කෙසේවෙතත් වර්තමාන සමාජය තුළ පුද්ගලයාගේ ආගම් භාවිතාව තුළ පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකි. අද වන විට මෙම සංස්කෘතික මිනිසා තමා අදහන ආගමට පමණක් ම කොටු වෙමින් තම ජීවිතයේ සියල්ලක් ම පාහේ තම ආගමට අනුව විසඳා ගන්නට ඔවුන් වගබලා ගනු ලබයි. නමුත් විය යුත්තේ එය නොවේ. තමාගේ ආගම කුමක් වුවත් තමාගේ ආගමට පමණක් නතු නොවී අනෙක් ආගම් කෙරෙහි ද සම සිතින් බලමින් තම ආගමෙහි පමණක් ගොදුරක් නොවී අනෙක් ආගම්වලට ද ගරු කිරීම ඉතාමත් වැදගත් වේ. ඇතැම්විට තමා අදහන ආගම පිළිබඳ ව පමණක් සිතමින් කටයුතු කිරීම තුළ මිනිසා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා ද යොමුවීමට ඉඩකඩ පවතී. ශ්‍රී ලංකාව තුළ 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහාරය, තෙල්දෙණිය සිදුවීම යනාදී වූ බොහෝ සිදුවීම් තුළින් මේ බව අපට මනාව පැහැදිලි වනු ඇත. 

ආගම් යන්න මිනිසා සංස්කෘතිකව බැඳ තබන්නක් වුවත් එය අනෙක් මිනිසා අසල්වැසියෙකු බවත්, එය අප ජීවත් වන තාක්ෂණික ලෝකයේ ජීවත් වීමේදී ඉතාමත් වැදගත් වන්නක් බවත් මිනිසාට පසක් කර දෙනු ලබයි. මෙහිදී විය යුත්තේ සංස්කෘතික මිනිසා ආගමෙහි ගොදුරක් වීම නොව, මානුෂීය ගුණාංග සමස්ථ මානව සංහතිය තුළම වර්ධනය කරමින්, ආගමික එකමුතුව, සහජීවනය අගයන, වර්ගවාදී බෙදීම්වලින් තොර නිකැළැල් මාතෘ භූමියක් අනාගත පරපුරට දායාද කිරීම ය. ඒ සඳහා දායක වීම ලාංකේය සැමගේ පරම යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top