වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අදුරු වේ සැනින්... (648)

post-title

හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්

අද නොපැමිණ අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් ලෙසින්

වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අදුරු වේ සැනින්...

වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ

ඇවිද යමි කෙසේ

තණ නිල්ලේ ගොහොරු සැදෙයි කතා නැතිව

අනන්තයට ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න ගං හෝ වැවු ඉපිල ඉපිල

ඉතිර යන තුරා

හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළා පෙලේ

කඩ ඉමෙන් මෙහ

පද- මහාචාර්ය සුනිල් ආරියරත්න

තනු හා හඬ- වික්ටර් රත්නායක



චමත්කාර වූ ප්‍රේමය තව තවත් ආනන්දනීය කරන්නට සමත් දෙයක් වෙතොත් ඒ වනාහී සොබා දහමයි. ප්‍රේමයේ මුදු සඳුන් සිසිලස සොබාදමේ අපමණ සංසිද්දින්ගෙන් විකසිත ව තව තවත් හදවත් වලට අමාදිය මෙන් සුව සදයි. ලොවේ කාටත් වඩා සෙනෙහෙන් මෙකී සොබා සොඳුරු සිදුවීම් වින්දෝ ද ඒවායෙන් රසවත් වූවෝ ද පෙම්බර හදවත් ඇත්තෝ ම වෙයි. අත්වැල් පටලා පියවර මනිනා පෙම්වතුන් තරමට මද පවනේ සිසිලස වින්දෝ අන් කවුරුද?... තුරු සිරෙසක පිපි මල් සුවද වින්දේ අපමණව පෙම්වතුන් ම ය.... සඳ එළිය මොනතරම් සොඳුරුදැයි ඇසිය යුත්තේ පෙම්වත් හදකින් ය.... තුරු සෙවනක් යට ඇති සුවය කොතෙක්දැයි අපමණව දන්නෝ පෙම්වතුන් ම ය.... ඉදින් සොබා දහමත් ප්‍රේමාතුර සිතත් අතර ඇත්තේ කොතෙක් නම් ළබැදි බැඳුමක් ද ?

ප්‍රේමාතුර සංවේදී හදවත් ඇත්තෝ සොබා දහමට අපමණ ව පෙම් කළහ. සොබා දහම සමඟ ළෙන්ගතු වූහ. සොබා දහමෙන් බොහෝ දෑ උගත්හ. තරු එළිය... මද පවන... සද මඩළ... සමග බස් තෙපලූහ. සුළඟේ පණිවුඩ තැබූහ. වර්ෂාවෙන් ඉල්ලීම් කළහ. ඒ සියල්ල අතිශයෝක්ති ගත යැයි පවසා අත්හළ නොහැක. එසේ වූ සඳ ප්‍රේමය මෙතරම් සොඳුරු නොවනු ඇත. එබැවින් ඒ ස්නේහයේ මුදු සුව විඳින්නට අපට ද එවන් සංවේදී සංසිද්දීන් සමග බැදෙන්නට සිදුවන්නේ නිතැතින් ය.

වරක් සුනිල් ආරියරත්න මහාචාර්යවරයා විසින් පද බැදි ගේය පද රචනයක් මෙකී කරුණ සමග සිහිවෙයි. හේ තරුණයෙකි. පෙම්වතියක් ද ඔහු සතු ය. එහෙත් කවර හෝ කටයුත්තක් නිසාවෙන් ඔවුන් දුරස්ථව කලක් වාසය කොට ඇත. දැන් කලකට පසු උනුන් හමුවන්නට දිනක් උදාව ඇත. පෙම්වතා කලක් නොදුටු පෙම්වතිය මුණ ගැසෙන්නටත් ... දහසක් දෑ තෙපලන්නටත් ... ඇගේ අත්පටලා මග ඇවිද යන්නටත් ... දෙතොලග පහසේ මොහොතක් සුව විදින්නටත් මග බලා හිඳින්නට ඇත. දැන් ඔහුගේ බලාපොරොත්තුව සඵලව ඇත. ඇය හමුවන්නට දිනක් උදාවී ඇත. එහෙත් ඒ සියලු බලාපොරොත්තු මොහොතින් බිඳ හෙලන්නට සොබා දහම අර අඳියි. මහ වැස්සක පෙර නිමිති අහසේ කෙළවර යාන් වෙයි. නිල් පැහැබර අහස මැකී අදුරු වැහි සේල අහසේ රැඳෙයි. තරුණ පෙම්වතාගේ හදවත සොවින් බර වෙයි. ඔහුට මෙය වළකන්නට නොහැක. එහෙත් මෙය වලකන්නට හැකි අයෙක් ඔහුට මුණ ගැසෙයි. ඒ අන් කවරෙක් හෝ නොව දස දිග සරා හමා යන සුළගයි. හේ සුළගින් මෙසේ අයදියි.

“හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්

අද නොපැමිණ අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් ලෙසින්

වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අදුරු වේ සැනින්...”

සජීවී පෙම්වතෙක් වුව අජීවී සුළගින් කරන ඉල්ලීම ළයාර්ද්‍රය. එබැවින් ඔහු සුළඟ අමතන්නේ හිත මිතුරු යන විශේෂණ වැකිය යොදමිනි. එසඳ සහෘද හදට සුළඟේ ඇති අජීවී බව වැටහෙන්නේ නැත. අනෙක් අතට ඔහුට ඇය මුණගැසෙන්නේ දිගු කලෙකින් ය. ඒ දිගු කාලයේ ඇය හසඟනක් තරම් සොදුරු වන්නට ඇත. සැමදාම දකිනා සඳ ඇති සුන්දරත්වය ට වඩා සුන්දරත්වයක් ඉදහිටක දකින සඳ නෙතට දැනෙයි. ‘හසගන’ යන පද බැඳුම එකී කරුණ මනාව කුලුගන්වයි.

මෙය සංදේශයකි. නැතහොත් පණිවුඩයකි. පෙම්වතා ප්‍රේශකයා ය. දූතයා සුළඟය. වැහි වලාව ග්‍රාහකයා ය. සන්දේශය අද නෑවිත් අන් දිනයක වැසි වසින ලෙස කරන ඉල්ලීමය. එබැවින් මෙය ගීතාත්මක සංදේශයකි. වික්ටර් රත්නායකයන් ගේ ඉමිහිරි තනුවත් හඬත් ඒ සංදේශය සුගේයවත් කරයි.

පෙම්වතෙක් සිය ප්‍රේමයේ නාමයෙන් සොබා දහමෙන් අයැදීමක් සිදු කලේ සුනිල් ආරියරත්නයන් ගේ මෙකී ගීතයේ පමණක් නොවෙයි. එවන් පණිවිඩයක් බොහෝ දුර අතීතයක දි ද අපට මුණ ගැසෙයි. ඒ කාලිදාසයන් ගේ මේඝ දූතයේ ය. එහිද පෙම්වතෙක් වෙයි. හේ තරුණ රාක්ෂ සොල්දාදුවෙකි. කුවේරයාගේ මානස නම් පියුම් විලෙහි ආරක්ෂකයා ය. මේ ගෙවෙන්නේ ඔහු විවාහපත් වූ අලුත බැවින් මොහොතක හෝ ප්‍රියම්බිකාවගෙන් ඈත්ව විසීම දුශ්කරය. එබැවින් ඔහු රාජකාරිය පසෙකලා පෙම්බරිය සොයා යයි. රාජකාරිය මග ඇරෙයි. දිනක් ඔහු එසේ රාජකාරි පැහැර හැර පෙම්බරිය සොයා ගිය විටෙක මත් ඇතුන් විත් පියුම් විල බොර කරයි. සියලු සුපිපි පියුම් විනාශ වෙයි. කුවේරයා කෝප වෙයි. හේතු සොයා බලයි. දඩුවම් ලැබෙයි. තරුණ රාක්ෂ සොල්දාදුවා රාමගිරි පර්වතයේ සිර කරයි. දැන් ඔහු අස කිසිවෙක් නැත. ප්‍රියම්බිකාව නිවසේ වැළපෙයි. අහර නොගනියි. සිරුර වැහැරෙයි. ඔහුට සිර මැදිරියේ දී මේ සියල්ල මැවෙයි. ඔහු බිරිදට පණිවිඩයක් යවන්නට අයෙක් සොයයි. සජීවී කිසිවෙක් අසලක නොවෙයි. එහෙත් ඔහුට දූතයෙක් හමුවෙයි. ඒ මේඝයකි. ඔහු මේඝය අත පණිවිඩය යවයි. ඒ කාලිදාසයන් ගේ මේඝ දූතයේ සාරාංශයයි. සුනිල් ආරියරත්නයන් ගේ උක්ත ගීතය සමග කාලිදාසයන් ගේ මේඝ දූතය යළිත් සිතේ මැවෙයි.

කලෙකින් හමුවන පෙම්වතියක හා තෙපලන්නට බොහෝ දෑ ඇත. ඒ ප්‍රේම සල්ලාපයෝ නිදහසේ නිසොල්මනේ කළ යුතු ය. අත්වැල් පටලා වීදි දිගේ ඇවිද යද්දී ඇගේ සවනට කර පවසන්නට කොතෙක් දෑ නම් පසුගිය වකවානුව පුරාවට ම සිත් මැදුරේ සුරැක තබා තිබුණි ද , තණ නිල්ලේ වාඩිව ඇගේ උකුලේ හිස හොවා මොහොතක් කිසිත් නොදොඩා ප්‍රේමයේ අමයුරු සුව විඳිමින් අනන්තය සොයා යන්නට මේ හමුවීම සිදුවනතෙක් කොතෙක් නම් දින ගැන්නා ද, එහෙත්... දැන් ඒ දිනය උදාව ඇත ද මහ වැහි මැද ඒ සියල්ල දියබත් වන පැතුම් වනු ඇත. වැහි වැටුණොත් වීදි පුරා දිය පිරෙනු ඇත. තණ නිල්ලේ ගොහොරු සැදෙනු ඇත. තරුණ පෙම්වත් සිත මේ සියල්ල සුළඟට පහදයි.

“වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ

ඇවිද යමි කෙසේ

තණ නිල්ලේ ගොහොරු සැදෙයි කතා නැතිව

අනන්තයට ඉගිල යමි කෙසේ...”

දළ හදක් වුව මොලොක් කරනට හැකි හැඟුමක් වෙතොත් ඒ ප්‍රේමයයි. එවන් හැඟුමින් සැදුම්ලත් පෙම්වතුන් ද සංවේදී ය. වැසි නොවසින්නැයි කරන ඉල්ලීම ආත්මාර්ථකාමී යැයි හේ දනියි. එබැවින් ඔහු එකී ආත්මාර්ථකාමී ඉල්ලීම වඩාත් සාධාරණී ය ලෙසින් ඉදිරිපත් කරයි. එයයි පෙම්වත් හදක ඇති සංවේදී බාවය. වැස්ස ඔහුට ඇය හමුවන්නට බාධාවක් බැවු සැබෑව. නමුත් තව දහස් ගණනක් මේ මොහොතේ වැස්ස පතමින් සිටිනවාද විය හැකිය. එබැවින් ඔහු හෝරා දෙක තුනක් ඇය හමුවන ඉසවුවට පමණක් නොවසින්නැයි අයදියි. එසේම එම හමුව කෙළවර ගං හෝ වැවු උතුරන්නට වසින්නැයි ද අයදියි.

“අප සමුගත් පසු වසින්න ගං හෝ වැවු ඉපිල ඉපිල

ඉතිර යන තුරා

හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළා පෙලේ

කඩ ඉමෙන් මෙහි”

ගේය පදවැල පුරා ඇති මෘදු ගුණය හේතුවෙන් නිර්මාණය වඩාත් භාවාතිශය ලෙසින් සහෘද බද්ද වෙයි. ජීවිතයේ කවර හෝ දිනයක මෙවන් අත්දැකීමක් විඳ ඇත්තේ නම් එය නිරායාශයෙන්ම සහෘද මනස් හී මැවෙන සේ සුනිල් ආරියරත්නයන් ගේ ගේය පදවැලත් වික්ටර් රත්නායකයන් ගේ මධුර තනුව හා හඬත් එකිනෙක සමග පෑහෙයි. මොහොතකට සිතින් ගීතයේ එන නාදුනන කථකයා ගේ පෙම්හමුව වෙනුවෙන් වැසි නොවසිත්වා යන කුලුනු බර අයැදුම සහෘද සිත්හිද නැගෙන්නේ ගීතයේ ඇති චමත්කාරය නිසාවෙන් ම විය යුතුය.

Top