විසිඑක්වන සියවසේ ජනතාව පෙළන කුසගින්න (633)

post-title

නව්‍යතාවයත් සමග පෙරට එන නූතන සංස්කෘතික, සමාජීය, දේශපාලනික මානවයා පශ්චාත් නූතනවාදී ලිබරල් ධනේෂ්වරය නියෝජනය කරන එක්තරා වූ ඓන්ද්‍රීය කොටසකි. මෙවැනි සංදර්භයක් තුළ 21 වන සියවසේ ආර්ථිකය විවිධ විචලනයන්ට , විචල්‍යතාවයන්ට භාජනය වීමට විවිධ හේතු සාධකයන් නිර්මාණය වනවා සේ ම ඉන් අතුරු ප්‍රතිඵල භුක්ති විදීමට පශ්චාත් නූතනවාදී මානවයාට නිතැතින්ම සිදු වේ. ගෝලීය ආර්ථිකය තාක්ෂණික විපරීතකරණයන් හමුවේ ඝාතීය ලෙස වර්ධනය වනවා සේ ම එයට සාපේක්ෂව ලෝක ජනගහනය ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. 2010 වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 6.5 ඉක්මවා යා හැකි බව පූර්වයේ දී පුරෝකථනය කළ අතර 2030 පමණ වන විට එය බිලියන 9 දක්වා වැඩි වෙනු ඇතැයි ඇස්තමේන්තු කරන ලදී. එහෙත් වැඩිවන ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනයෙහි හා බෙදා හැරීමෙහි ගැටළු පවතින බව පැහැදිලි සත්‍යයකි. ඒ අනුව නිර්මාණය වන්නේ ලෝක ආහාර අර්බුදයකි. 1996 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්ම සංවිධානය විසින් පවත්වන ලද ලෝක ආහාර සමුළුවේ ඉලක්කය වූයේ වසර 20ක් තුළ දී ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවගෙන් 50%ක් එම තත්ත්වයෙන් මුදවා ගැනීමයි. නමුත් මේ වන විට දශකයකට අධික කාලයක් ගත වී තිබුණත් කුසගින්න අඩු කිරීමට සමත් වී ඇත්තේ 10%ක පමණ ප්‍රමාණයකගේය.

අද්‍යතනය වන විට ලෝකයේ කුසගින්න ව්‍යාප්ත වීම සදහා ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික හා පරිසරාත්මක යන සෑම අංශයකම බලපෑම් එල්ල වී ඇත. ඒ අතර දිළිදුකම, වාණිජකරණය, කෘෂිකාර්මික කටයුතු වල ව්‍යාප්තිය, යුධ ගැටුම් යනාදිය හේතුවෙන් ව්‍යාප්ත වී යන සාගත යනාදී හේතු සාධකයන් පෙන්වා දිය හැකිය. මේ මොහොත වන විටත් කොවිඩ්-19 වසංගතය නිසා පීඩාවට පත් අසරණ ජනතාව කුසගින්නෙන් සාගින්නෙන් පෙළෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෘෂිකාර්මික ව්‍යුහය තුළ කුසගින්න සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. විශේෂයෙන්ම පරිධියේ රටවල විශාල ජන සංඛ්‍යාවක් වාසය කරන අතර ඔවුන් ආහාර නිෂ්පාදනයට දක්වන්නේ අඩු දායකත්වයකි. විශේෂයෙන්ම ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවල ආහාර අර්බුදය නිර්මාණය වීම සදහා බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ඉඩම් කැබලි වී යාමයි. 

රටක් දරිද්‍රතාවයට, දිළිදුභාවයට පත් වීම සදහා ආර්ථික, දේශපාලනික, සමාජයීය, භූගෝලීය වැනි නොයෙකුත් කරුණු විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් බලපානු ලබයි. ශ්‍රී ජවහල්ලාල්නේරුතුමා වරක් ප්‍රකාශ කරන්නේ ධනවාදී සමාජයක හමමුදාමය බලපෑමක් නැත්නම් පොහොසතුන් තව තවත් පොහොසතුන් කරන අතර දුප්පතුන් තවත් අන්ත දුගීභාවයට ඇද දමන බවයි. කෙසේ නමුත් මෙම සියලු කාරණා එක් වූ විට ඌන රැකියා නියුක්තිය හා රැකියා වියුක්තිය මගින් ද දිළිදුකම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. බොහෝ රටවල නිෂ්පාදනයන් නිර්යාතකරණය හේතුවෙන් කුසගින්නේ දිවි ගෙවන පිරිස් වල සංයුතිය වැඩි වී ඇත. බ්‍රසීලය ලෝක වෙළෙදපොළට කෘෂිකාර්මික නිෂ්පාදන අළෙවිකරණයේ ප්‍රධාන රටක් වුවත් අභ්‍යන්තරික නිෂ්පාදිතයන් නිර්යාතකරණය හමුවේ පීඩිත ජනතාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටී. ලෝක ආහාර නිෂ්පාදනය 75%කට වැඩි ප්‍රමාණයක් පවතින අතර සංවර්ධනය වෙමින් පවතින පරිධියේ රටවල ආහාර අර්බුදයක් ඇති වී තිබුණත් සංවර්ධිත රටවල් ආහාර අතිරික්තයන් දිළිදු රටවලට ලබා දීමක් සිදු නොකරයි. ලබා දුන්නත් එය ගිවිසුම් හා කොන්දේසි ප්‍රකාරවයි. ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් බහුජාතික සමාගම් මගින් නඩත්තු වෙමින් දිළිදු රටවල් තව තවත් අන්ත දුගීභාවයට පත් කරන්නේ ඉහත කී ගිවිසුම් හා කොන්දේසි ප්‍රකාරවයි. ඇමෙරිකාව මැක්ඩොනල්ඩ් ආහාර සංස්කෘතියක් නූතන ජනප්‍රිය සංස්කෘතිය තුළින් අන්‍ය රටවලට හුරු කරලීමට උත්සාහ කළ ද දරිද්‍රතාවයේ හිනි පෙත්තටම ගිය රටවල ජනතාව එයට අනුගත වන්නේ එවැනි සංස්කෘතික සම්පර්කයකට ලක් වන්නේ කෙසේදැයි යන්න ද ප්‍රශ්නාර්ථ කරමිනි.

විසි එක්වන සියවස ආරම්භ වීමත් සමග යුධ ගැටුම් සහ අරගල වලට මැදිව දිවි ගෙවන්නට ලෝකයාට සිදු විය. දේශ සීමා අතර මෙන්ම රට අභ්‍යන්තරයේ ද ගැටුම් නිර්මාණය වීම සුලභ කරුණකි. නූතනයෙහි යුධමය වශයෙන් ගනු ලබන උපක්‍රමයක් ලෙසද ආහාර සැපයුම් මාර්ග අඩාළ කිරීම පෙන්වා දිය හැකිය. වත්මන් ඇෆ්ගනිස්ථානය තුළද ආහාර නිෂ්පාදනය අඩාළ වීම නිසා සිදුව ඇත්තේ ජනතාව කබළෙන් ළිපට වැටීමකි. මෙම සංදර්භයන් සාකච්ජා කිරීමට නොයෙකුත් සංවිධාන පැවතියත් එම ගැටලු වලට විසදුම් ලබා දීමට තවමත් අපොහොසත් වීම කණගාටුවට කරුණකි.

Top