මෙවර ලෝක ළමා දිනයට අපි ළමයෙක් හිටවමු - Plant A Child (611)

post-title

පුංචි ළමයි මල් වගේ කියලා අපිට හුරු පුරුදු කතාවක් තියෙනවනෙ. මල් වත්තක් ගත්තම කොච්චර ලස්සන මල් තියෙනවද කියලා හිතන්න. ඔන්න ඔයත් දැන් හිතින් මවාගන්න ලස්සන මල් වත්තක්. ඔයා ඒ මල් වත්තට ඇවිදගෙන යනකොට ඔයාට දකින්න හම්බෙනවා පාට පාට මල්. සමහර මල් රෝස පාටයි, සමහර මල් සුදු පාටයි, තව සමහර මල් කහ පාටයි, තව රතුපාට, නිල් පාට, දුඹුරු පාට වගේ පාට ලෝකේ තියෙන හැම පාට කූරකම තියෙන පාටවල් මේ මල් පෙතිවල තියෙනවා.ඒ වගේම ඒ ඒ මල්වලට ආවේණික හැඩයක් තියෙනවා.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා පද නිර්මාණය කරපු හරි අපූරු ළමා ගීතයක් තියෙනවා.  " වෙසක් මිහිර " කවි පන්තිය ඔබට මතක ඇතැයි මා සිතනවා

" මොනවද අම්මේ අකුරු ජාතියක්

මල් පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ

පාට පාට ඉරි හැඩ දමලා ..."

පුංචිත්තන් ලෝකය දකින්නෙ සුන්දර විදියට. එයාලා නිතරම ප්‍රශ්න අහන්න ආසයි. හැමදේම දකින්නෙ හරි සොඳුරු විදියට. මේ ගීතයේ පදවැල් මේ තරම් අපූරු විදියට නිර්මාණය කරපු චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ළමාවිය මොනතරම් සුන්දර ඇතිද ? මෙවැනි සිතුවිල්ලක් සමාජයට තිලිණ කරන්න එතුමා වටා ගොඩනැගුණු පරිසරය කෙතරම් ආදරණීය ඇතිද ? 

පොඩිහිටියන් වැඩිහිටියන් වෙන දිනයක ඔවුන් පෙරලා ලෝකයට ආදරේ බෙදන්න සුදුසු පුද්ගලයින් ලෙස නිර්මාණය කිරීම මව් කුසට පැමිණිදා පටන් කළ යුත්තක්.

මේ ලෝකය වඩාත් සුන්දර වීමට අපි එකිනෙකා වෙනුවෙන් ගරු කළ යුතුයි, ආදරේ කළ යුතුයි. ආදරයට කළ නොහැකි දෙයක් නෑ.

මොකක්ද මේ ළමා දිනය කියන්නේ

පුංචිත්තන් තමයි ගෙවෙන හැම දිනයකම අයිතිකරුවන්. ඒ මම දකින විදියට. අද දිනය විශේෂ වීම හොඳයි. අති උත්කර්ෂවත් විදියට සැමරීමත් හොඳයි. ඒත් වචනත් එක්ක ඔයා මගේ අකුරු කියවන මේ මොහොතේ මල් කැකුළු කීයක් මිලින වෙනවා ඇතිද ? දරුවන් කියන්නේ රැකිය යුතු පිරිසක් විනා දිනකට සීමාවෙලා, එදිනට පමණක් උලුප්පා දමමින් සුවිශේෂ කොට සැළකිය යුතු පිරිසක් නෙමෙයි. 

පුංචිත්තන්ට ඕන අවධානය

පුංචිත්තන්ට ඕන ආදරය

පුංචිත්තන්ට ඕන ආරක්ෂාව 

පුංචිත්තන්ට ඕන විශ්වාසය ..................

" මා තුළ ඉන්නේ චරිත දෙකක්

සුරලොව දකිනා පොඩි ළමයෙක්

ආදරේ හඳුනන වැඩිහිටියෙක්

දෙන්නා එක්වී රසවිදිමින්

මතු කර දෙන්නේ සිහින ලොවක් "

සිබිල් වෙත්තසිංහ නැන්දාගෙ කතන්දර පොත් කියවලා තියෙනවා නම් ළමා ලෝකය වෙනුවෙන් මොනතරම් දේවල් අපෙන් ඉටුවෙන්න ඕන ද කියලා මට වගේම ඔයාටත් දැනෙයි. ළමා ලෝකය සුන්දර කරන්න ඇය ගත් උත්සාහය ඇය නැතත් අදටත් ජීවමානයි . ඇය වගේම අප රට තුළ ජීවත් වූ , අදටත් දීර්ඝායුෂ විඳිමින් ජීවත්වෙන ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ කුඩා කාලය මොනතරම් සුන්දර ඇතිද ? 

පුංචිත්තන්ට ඔවුන්ට උරුම අයිතිය දෙන්න. ලෝකය සුන්දර කරන මිනිස්සුන් නිර්මාණය කිරීම ඔබෙත් මගෙත් වගකීම වගේම යුතුකමක්ද වෙනවා.

තලා පෙලා දමන මල් කැකුළු රැකගන්න.ඒ සුන්දර ලෝකය හරි පරිස්සමෙන් රැක බලාගන්න. ඔවුන්ට උරුම නිදහස දෙන්න. සොබාදහම සිපගන්න ඉඩදෙන්න. මමත්වයට වඩා පරාර්ථකාමී වීමට දරුවන්ට කියාදෙන්න. ඔබට අවැසි ලෝකය, ඔබට අහිමි උන ජීවිතය පුංචිත්තන්ට නිර්මාණය කළ නොහැකියි. ඔවුන්ට ඔවුන්ගේම ලෝකයක් ගොඩනඟාගන්න මඟපාදන්න, ඒ සොඳුරු මාවත නිර්මාණය කරන්න වැඩිහිටියන් ලෙස අපි අපේ වගකීම ගමු.

වර්තමානයේ තියෙන තරඟකාරී අධ්‍යාපනය තුළ පුංචිත්තන් හිරකරන්න එපා. එයාලා දකින ලෝකයක් තියෙනවා. අපිත් ඒ තැන පහුකරන් මහ හුඟක් දුර ඇවිත් ඉන්නෙ. අපිට ආපිට හැරෙන්න බෑ. ඒත් අපිට පුළුවන් නවතින්න. හැල්මේ දුවන වේගය නිසාම පුංචිත්තන්ව අපිට මඟඇරෙන්න පුළුවන්. ඇහුම්කන්දෙන්න, පුංචිත්තන්ගේ බලාපොරොත්තු වලට පන දෙන්න. පුංචිත්තන්ටම නිදහස දෙන්න එයාලගෙ ලෝකය පාට කරන්න.

ලෝක ළමා දිනය සැමරුමක් විදියට සමරන්න මත්තෙන් මගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා ,

පුංචිත්තන්ව අගයන්න

දිරිමත් කරන්න,

පුංචිත්තන්ට ආරක්ෂාව දෙන්න

නිදහස දෙන්න,

පුංචිත්තන්ව ආදරෙන් රැකබලාගන්න

විශ්වාසය වෙන්න,

පුංචිත්තන්ට තනිව හිතන්න දෙන්න

මඟපෙන්වන්න

සුන්දරත්වය උලුප්පා දමමින් එක් දිනක රස මිහිරියාව දරුවන්ට විඳීමට ඉඩ හැරීමට මත්තෙන් , ඒ දිනය හැරුණු විට අනිත් හැම දිනයකම ඔවුන්ට හිමි අයිතිය දෙන්න, නිදහස දෙන්න.

මල්වල ලස්සන විඳින්න මත්තෙන් බීජ ආරක්ෂා කළ යුතුයි, නිවැරැදි පෝෂණය දිය යුතුමයි

ගහක ඵල නෙලීමට සහ සෙවන විඳීමට මත්තෙන් පුංචි පැළය ආදරයෙන් රැකබලාගත යුතුයි,අවශ්‍ය පෝෂණය සැපයිය යුතුමයි

සමනලුන්ගේ ලස්සන විඳීමට මත්තෙන් දළඹුවන්ට ආදරය කළ යුතුයි, දළඹුවන්ට හිරිහැර නොකළ යුතුමයි

පුංචිත්තන්ගේ ලෝකය ලස්සන කිරීමට මත්තෙන් පුංචිත්තන්ට අවධානය දිය යුතුයි, ආදරණීය හදවතක් නිර්මාණය කළ යුතුමයි

මේ වචන කියවන ඔයාට පුළුවන් අද මේ දේවල් කරන්න. ඔයාගෙ පුංචිත්තන්ට අද දවසෙ ඔයාගෙම අකුරෙන් ලියවුණු පුංචි සුබ පැතුමක් දෙන්න, ඒ වටිනාකම ජීවිතේ කොතැනකදි හරි ඔවුන්ට වාරුවක් වේවි. හැම අවුරුද්දෙම ඒ ලියමන ලැබෙනකන් ඒ හිත් බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉඳී.

 අහම්බෙන් වගේ "ශ්‍රද්ධා tv "youtube චැනල් එකේ තිබ්බ වීඩියෝ එකක් මම දැක්කා.ඒකත් හරි අපූරු වැඩක්. 

" ළමා දිනයට ළමයින් වෙනුවෙන් පැළයක් හිටවමු " 

වචන එක්ක ආදරේ බෙදාගන්න ඔයාටත් පුළුවන් මේ පණිවිඩය අරන් යන්න.අපිත් ලෝක ළමා දිනයට

 " ළමයෙක් හිටවමු - Plant A Child " 

" පෙර උන් අය සිටවූ අඹ ගස් වල

ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල

ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම " 

එස්.මහින්ද හිමියන් විසින් පද නිර්මාණය කරපු ඒ ළමා ගීතයේ අරුත පණිවිඩයක් විදියට වචන කියවන අපි බෙදාගමු.

ඔයාගෙම දරුවෙක් නොවුනත් ආදරේ බලාපොරොත්තු වෙන පුංචි දළඹුවන්ට ආදරය දෙන්න. ඒ දළඹුවන් දවසක ලස්සන සමනලුන් විදියට ලෝකය සුන්දර කරාවි. ආදරේ බෙදාවි.

වචන අපි පුංචිත්තන්ට ආදරෙයි !

දිනය සුවිශේෂ කරගන්නට වෙර දැරීමට මත්තෙන් , ගෙවෙන අනිත් දින දරුවන් වෙනුවෙන් වෙන්කරන්න.

එන්න, වචන එක්ක එකතුවෙලා දළඹුවන්ට ආදරේ බෙදන්න...................

Top