වර්තමාන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය (609)

post-title

මානව සංහතියේ ආරම්භයේ පටන් ම මිනිසා සමඟ ම උපත ලැබූ මානව සන්නිවේදනය වර්තමානය වන විට තාක්ෂණය සමඟ මුහු වී නවීකරණය වූ ජනසන්නිවේදනයක් දක්වා විකාශනය වී ඇත. පුවත්පත , ගුවන්විදුලිය, සිනමාව සහ රූපවාහිනිය තුළ සිදුවන ජනසන්නිවේදනය මූලාරම්භයේ තිබූ අවශ්‍යතා සහ උවමනාවන් අභිබවා ගොස් වාණිජකරණයට නතු වී ඇති බව නොරහසකි. තොරතුරු ලබාදීම, විනෝදාස්වාදය ලබා දීම, අධ්‍යාපනය ලබා දීම සහ පෙළඹවීම යන සන්නිවේදනයේ මූලික අරමුණුවලට එහා ගිය ව්‍යාපාරික හා දේශපාලනික අවශ්‍යතාවයන් කිහිපයක් උදෙසා ජනමාධ්‍ය අතකොළුවක් බවට පත්කරගෙන බවට පත්කරගෙන තිබේ. පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යයන් තුළ වර්තමානය වන විට වැඩි ඉඩකොටසක් වෙන් කොට ඇත්තේ වෙළෙඳ දැන්වීම් සඳහා ය. විනාඩි තිහක ටෙලිනාට්‍ය විකාශයක් අතරතුර විනාඩි දහයත් පහළොත් අතර කාලයක් වෙළෙඳ දැන්වීම් විකාශය කරයි. පුවත්පත් තුළ ද එම තත්ත්වය එලෙසමය. ඇතැම් විට සම්පූර්ණ පිටු දෙක තුනක්ම වෙළද දැන්වීම් සදහා වෙන් කර ඇත්තේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙනි. පුවත්පත තුළ ඇතැම් අවස්ථාවල ලිපි පළ කිරීමේදී ව්‍යාපාරික හේතූන් මත වාරණයන්ට ලක්වේ මීට කදිම නිදසුනක් නම් කොකා කෝලා බහුජාතික සමාගම තුළින් අනුග්‍රහය සැපයූ පුවත්පතකට කොකා කෝලා පානයෙහි අහිතකර බව සහ ශරීරයට විෂ සහිත බව පිළිබඳව ලිපියක් පළ කිරීමේ දී වාරණවලට නතු වීමට සිදුවේ.

ව්‍යාපාරික පමණක් නොව දේශපාලනික අවශ්‍යතා මත ජනමාධ්‍ය ආයතන ක්‍රියා ක්‍රියා කරයි. රාජ්‍ය නාලිකා සහ පෞද්ගලික නාලිකා තුළ හිමිකරුවන් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ දේශපාලඥයින් විය හැකිය. එසේත් නැතිනම් යම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මාධ්‍ය ආයතනයක් විය හැකිය. එහිදී මැතිවරණයකින් පසුව රජයේ මාධ්‍ය ආයතනවල සභාපති ධූර මාරු කිරීම වැනි කාරණා බහුලව දක්නට ලැබේ. එසේම මාධ්‍ය නාලිකාවල වෘත්තියයන් සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ගෙන් දේශපාලනික අවශ්‍යතා මත රැකියා ලබාදීම ද දක්නට ලැබෙන පැහැදිලි කාරණාවකි. මෙකී දේශපාලන හේතූන් මත පුවත් විකාශයන් තුළ පවා විවිධ නාලිකාවල විවිධ විෂමතාවයන් දක්නට ලැබේ. එනම් එකම පුවත විවිධ නාලිකාවල ඉදිරිපත් කෙරෙනුයේ විවිධ දේශපාලන අවශ්‍යතා මත විවිධ අයුරිනි. 

ශ්‍රී ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාව පිළිබඳව අවධානය යොමු කරන විට වර්තමානය වන විට ගුණාත්මක නිර්මාණ දක්නට ලැබෙන්නේ අතළොස්සකි. බොහෝ ටෙලිනාට්‍ය නිර්මාණ සීනි බෝල මෙන් ඵලරහිත රහිත ඒවාය. බොහෝ ටෙලි නිර්මාණ ඉන්දියානු ටෙලිනාට්‍ය ගෙන්වා හඬකැවු ඒවාය. ලංකාව තුළ ගුණාත්මක ටෙලි නිර්මාණ බිහි කිරීමට නොහැකිද? එසේත් නැතිනම් ගුණාත්මක නිර්මාණ සඳහා ජනමාධ්‍ය තුළ ඉඩක් වෙන්කර නැති ද? යන්න ගැටලුවකි. කොටස් දාහක දෙදාහක පමණ දිග මෙගා නාට්‍ය යුගයේ ජනප්‍රියම ජනප්‍රිය සම්මානනීය ටෙලි නාට්‍යය ලෙස පිදුම් ලැබීම ම විශාල ගැටළුවකි. ලංකාවේ ප්‍රේක්ෂකයින්ට ගුණාත්මක නිර්මාණ වැළඳ ගැනීමට පෙළඹවීමක් ඇති කළහොත් මෙකී සම්ප්‍රදාය වෙනස් කළ හැකි වනු ඇත. ගුවන්විදුලියේ වුවද ගුණාත්මක ගීතයක් විකාශය කර ගැනීමට පවා විශාල මුදලක් ගෙවීමට සිදුවේ. අරුත්සුන් ගීත නොමිලයේ ම ගුවන්විදුලිය හා රූපවාහිනිය හරහා ජනප්‍රිය කොට ලෝ පුරා ජනප්‍රියම ගීතය බවට පත් කරන සමාජයක ගුණාත්මක ගීත නිර්මාණකරුවන් අළු යට සැඟවී යති. 

පුවත් විකාශය කිරීමේ දී ජනමාධ්‍ය ආචාරධර්ම නොතකමින් ස්ත්‍රී දූෂණ ආදියෙහි දූෂණයට ලක් වූ ස්ත්‍රියගේ ඡායාරූපය, වයස ,ගම, ශරීර හැඩරුව පවා ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරයි. ස්ත්‍රී දූෂණයක් පුවතක් වූ විට එය සතියක් පුරා පට්ට ගසමින් දූෂණයට ලක්වූ ස්ත්‍රීය සතියක් මුළුල්ලේ ම ජනමාධ්‍ය හරහා විටින් විට දූෂණයට ලක් කරයි. ලේ වැගිරීම් , සියදිවි නසා ගැනීම් පවා නොසඟවා ඉදිරිපත් කරන ජනමාධ්‍ය ඇතැම් ජනවාර්ගික ගැටුම් හෝ බෝම්බ පිපිරීම් ආදියෙන් හානි වූ පුද්ගලයින්ගේ කඳුළු විටින් විට අලුත් කර වියලුණු තුවාලය යළි යළිත් පාරවයි. ජාතිවාදි ගැටුම් අවුළුවයි. ජනමාධ්‍ය ආයතන තුළ වෘත්තිය වශයෙන් සේවය කිරීමට නිසි වෘත්තිය සුදුසුකම් ප්‍රකාශයට පත් කර නොතිබීම මෙවන් ගැටළු උද්ගත වීමට හේතුවක් විය හැකිය. ජනමාධ්‍යයේ වගකීම විය යුත්තේ ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු ලබා දීම මිස ලේ කුපිත කරවීමක් නොවේ. පුවත් මගින් ඉදිරිපත් කරන තොරතුරු සියයට සියයක් සත්‍ය ඒවා නොවන බව ජනතාව තුළ වර්තමානය වන විට ආකල්පයක් පැන නැගී ඇත. ග්‍රාහකයාගේ අවශ්‍යතාවය වටහා ගෙන සදාචාර සම්පන්නව ක්‍රියාකිරීමෙන් ලංකාව තුළ ජනමාධ්‍ය යහපත් තත්වයකට පත් කරගත හැකි වනු ඇත.

Top