කාබනික පොහොර මතින් ගොඩනැඟෙන්නට වෙර දරන ස්වයංපෝෂිත ආර්ථිකය (608)

post-title

 අද්‍යතන සමාජය තුළ කෘෂිකර්මාන්ත කටයුතු හමුවේ ගොවියා අද වන විට බලවත් ගැටලුවකට මුහුණ පා සිටියි. ඒ තම කෘෂිකර්මාන්ත කටයුතු සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම සම්බන්ධ ව ඔවුන් සතුව පවතින ගැටලුකාරී තත්ත්වය නිසාවෙනි. එමෙන්ම මෙසේ කාබනික පොහොර යෙදුවහොත් ඒ තුළින් ගොවියාට පෙර මෙන් තම අස්වැන්න ලබා ගැනීමට නොහැකි වේ නම් එයින් සිදුවන ආර්ථික අර්බුදය ද සුළුපටු නොවේ. එය ගොවියා මෙන්ම සමස්ත සමාජය ම බලවත් ඛේදවාචකයකට ඇඳ දමන්නකි. 

කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ශතවර්ෂ ගණනාවක සිට ම පැවත එන්නකි. රසායනික පොහොර ලොවට හඳුන්වා දීමට ප්‍රථම, පැරැන්නන් විසින් වගාවන් සඳහා පොහොර ලෙස භාවිත කරන ලද්දේ ද කාබනික පොහොර පමණි. නමුත් තාක්ෂණීකරණයත් සමඟ නව ප්‍රභේද හඳුන්වා දෙමින් රසායනික පොහොර නිෂ්පාදනය කිරීම මෙන්ම රසායනික පොහොර සඳහා නව ප්‍රභේද දැක්වූ වැඩි ප්‍රතිචාරය ත් යනාදී වූ කරුණු හේතුවෙන් කාබනික පොහොර භාවිතය ක්‍රම ක්‍රමයෙන් වර්තමානය දක්වා පැමිණෙන විට අඩු වී ඇත. කෙසේ වුවද කාබනික පොහොර භාවිතය අඩුවීම නිසාත්, රසායනික පොහොර පමණක් දීර්ඝකාලීන ව භාවිත කිරීම නිසා ත් අද වන විට පස බොහෝවිට නිසරු වී ඇත. ඒ නිසා ම භෝග අස්වැන්න ද සැලකිය යුතු තරම් අඩුවෙමින් පවතී. නමුත් අද වර්තමානය වන විට මෙවැනි තත්ත්වයක් උදා වුවද, අතීතයේ දී නම්, ශ්‍රී ලංකාවට ම අනන්‍ය වූ ස්වයංපෝෂිත ආර්ථිකයක් පැවති බව ඓතිහාසික මූලාශ්‍රවලින් පවා හෙළි වේ. ඒ බැව් පොළොන්නරු යුගයේ පළමුවන පරාක්‍රමබාහු රජ දවස ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වීම මඟින් ම මනාව ගම්‍ය වනු ඇත. එසේ කලාපයේ බොහෝ රටවල් අතරින් සාධනීය අස්වැන්නක් ලැබීමට නම් පැහැදිලිව ම අප ස්වදේශික කෘෂිකර්මය තුළ ස්වාභාවික අමුද්‍රව්‍යයෙන් සමන්විත සාරවත් පොහොර භාවිතයක් තිබෙන්නට ඇත. නැවතත් ශ්‍රී ලංකාව තුළ එවැනි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා පදනම දැමීමට නම් ආනයනික විෂ සහිත පොහොර භාවිතයට ලාංකිකයන් තිත තැබිය යුතුම ය. එසේ රසායනික පොහොර භාවිතයට තිත තබමින් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතුය යන්න ගොවියාගේ මනස තුළ වර්තමානය වන විට රෝපණය කර ඇති සාධනීය කරුණක් වුවත්, මෙහි පවතින්නා වූ යහපත පිළිබඳ ව තවමත් හරිහැටි තේරුමක් නොමැති ඇතැම් ගොවියන් මේ සම්බන්ධ ව දක්වනුයේ සාධනීය පිළිතුරක් නම් නොවේ. 

කෙසේ වුවද රසායනික පොහොර භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට විශාල ලෙස හානි පමුණුවන අතර එසේ රසායනික පොහොර දීර්ඝකාලීන ව භාවිතයෙන් විෂ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම මඟින් කුස තුළ වැඩෙන කළලයේ සිට ඉපදෙන දරුවා දක්වා ම බලපෑම් කර තිබේ. එසේම වර්තමානය වන විට පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව මෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වන සංඛ්‍යාව ද මේ නිසා ම දිනෙන් දින ම ඉහළ යමින් යමින් පවතී. මෙසේ රටක ශ්‍රම බලකාය රෝගාබාධවලට ගොදුරු වීම අනාගතයේ රටෙහි ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. ඒ තුළින් රටෙහි ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවකට ම මඟ පෑදෙනු ඇත. එහෙයින් මෙම සමාජමය ගැටලුව තවත් උද්ගත වන්නට පෙර ඒ සඳහා නිසි විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය ම වන්නකි. එහෙත් මෙහිදී මෙම රසායනික පොහොර භාවිතය නතර කරමින් කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවේ යැයි ද සිතිය නොහැකිය. එමෙන්ම මෙහිදී ගොවියාට සුපුරුදු රසායනික පොහොර ක්‍රමවේදය අත්හැර දමා එකවර ම කාබනික පොහොර භාවිත ක්‍රමයක් තුළින් රට ස්වයංපෝෂිත කිරීම ඉමහත් අපහසු කාර්යයකි. මෙය එකවර කළ නොහැක්කක් වුවද ක්‍රම ක්‍රමයෙන් රසායනික පොහොර ආනයනය නතර කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ කිසියම් වූ සාධනීය මට්ටමක් කරා ශ්‍රී ලංකාව රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. එහෙයින් සිදුකළ යුත්තේ මෙම ක්‍රියාවලිය සඳහා ගොවීන් හුරු කරවීම සහ ඔවුන්ව දැනුවත් කිරීම ය.

එසේම මෙහිදී පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ප්‍රධානතම ස්වභාවික මූලද්‍රව්‍යයන් වන පොස්පේට් සහ පොටෑසියම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ම ස්ථානගත වී ඇති එප්පාවල පොස්පේට් නිධිය සහ බලංගොඩ පොටෑසියම් නිධිය ඉදිරි වසර 2500කට ත් වඩා වැඩි කාලයකට ප්‍රමාණවත් වන බව ද කෘෂි විචාරකයන් පවසා ඇත. ඒ නිසාවෙන් කාබනික පොහොර භාවිතය තුළින් ඉදිරි අනාගතයේ දී රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති වන අතර අවශ්‍ය වනුයේ ජනතාවගේ උත්සාහය පමණක්ම ය. තවද කාබනික පොහොර සියයට සියයක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදු කරන ඉන්දියාවෙහි සිකිම් ප්‍රාන්තය වැනි ලෝකයේ අනෙකුත් රටවල ඔවුන්ගේ අත්දැකීම් ද උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම ද ඉතාමත් වැදගත් වේ. එසේම ශ්‍රී ලංකාව අනාගතයේ දී කාබනික රාජ්‍යයක් කරා ගමන් කිරීමේ අභියෝගය ජය ගැනීමට නම් ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද වැදගත් වේ. එහෙයින් රටක් වශයෙන් රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතය දක්වා ගමන් කිරීමේ දී, එක විටම එය සිදු කිරීමට වඩා ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනයක් කරා ගමන් කිරීම ප්‍රායෝගික වනු ඇත. මේ අයුරින් කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට සැවොම එක්ව පෙළගැසීම තුළින් අතීත ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය යළිත් ලක්දිව වෙත ළඟා කර ගැනීමට නුදුරේදී ම අපට හැකියාව ලැබෙනු ඇත.

Top