අධ්‍යාපනය සියලුදෙනාටම එක සමානව ලැබිය යුතු ත්‍යාගයකි (566)

post-title

දැනුම යනු, සමාජමය ප්‍රපංචයකි. මෙහිදී අතීත මිනිස් ක්‍රියාකාරකම් සහ තත්කාලීන සමාජය විසින් උකහාගත් දැනුම සහ අත්දැකීම් ඊළඟ පරම්පරාවට පවරා දීම අධ්‍යාපනය ලෙස සරලව අර්ථගැන්විය හැකිය. මිනිසාට දිනපතා වෙනස් වන සමාජ වටපිටාවට නිසිලෙස පිවිසීමට මඟ සකසා ගැනීමට නම් අධ්‍යාපනය යන්න පුද්ගලයාට අත්‍යවශ්‍ය කාරණය කි. එහෙයින්ම අධ්‍යාපනය ලැබීම, මිනිසා තම උපතේ සිට මරණය දක්වාම සිදුකරනු ලබන්නකි. මෙය කාලයකට පමණක් සීමා නොවන්නකි. නමුත් අතීත සමාජ ක්‍රමයේ සිට වර්තමාන සමාජ ක්‍රමය දක්වා පැමිණි ගමන් මඟෙහි අද වන තුරුත් තවමත් ලොව සෑම දරුවෙකුටවත් අධ්‍යාපනය යන්න සමානව ලැබී නොමැත. එසේ වුවත් මෙතරම් දියුණු වූ වර්තමාන සමාජ ක්‍රමය තුළින්වත් සැමට එක හා සමාන අධ්‍යාපනයක් ලබාදිය යුතුමය.

මෙහිදී යම්කිසි හැකියාවන් සමූහයක් විධිමත් ලෙස ඉගැන්වීම සහ ඉගෙනගැනීම අධ්‍යාපනය යනුවෙන් තවත් ලෙසකට හඳුන්වාදිය හැකි අතර එය තවත් විදර්ශනාත්මකව කිවහොත් අධ්‍යාපනය යනු, දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය බෙදාහදා ගැනීම යි. අධ්‍යාපනය තුළින් කිසියම් පුද්ගලයෙකු සතු සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කර එම පුද්ගලයාට එහි වටිනාකම ඒත්තු ගැන්වීමත් සිදුකරනු ලබයි. 

“ අධ්‍යාපනය යනු, නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් බිහිකිරීමයි. ” 

- ඇරිස්ටෝටල් 

“ අධ්‍යාපනය යනු, හිස, හදවත සහ අත දියුණු කිරීමයි. ” 

- මහත්මා ගාන්ධි 

සෑම දරුවෙකුටම එකසේ හිමිවිය යුතු මෙකී අධ්‍යාපනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ වත්මන් තක්සේරුවට අනුව එහි සඳහන් වනුයේ සංවර්ධනය වූ හා සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රාජ්‍ය පද්ධතියේ අධ්‍යාපන පරතරය වසර සියයකට ආසන්න වන බවයි. මෙසේ අධ්‍යාපන පරතරය වසර සියයකටත් වඩා පිටුපසින් සිටිනුයේ 18 වන සියවසේ යටත්විජිත පාලනය ඇති කරන ලද සමාජය, ආගමික සහ වාර්ගික පදනම යටතේ බෙදා පාලනය කිරීමේ දේශපාලනික ව්‍යුහය එලෙසම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම නොපෑහීම සත්‍ය වශයෙන් ම සමාජ ගැටුම් ඇතිකරන වහා ගිනි ඇවිලෙන සුළු පසුගාමී ක්‍රමවේදයකි. ලෝකයේ පවතින රටවල් අතර නැගෙනහිර ආසියාතික රාජ්‍යයන් අධ්‍යාපනයේ ඉහළ ස්ථානයකට පැමිණිය ද අනෙකුත් ආසියානු, අප්‍රිකානු සහ ලතීනියානු රාජ්‍යයන්ට දුප්පත්කම, රාජ්‍ය අසමත්භාවය, දේශපාලනික හා වාර්ගික නොසන්සුන්තාවයන්, සිවිල් යුධ තත්ත්වයන් යනාදී හේතූන් මත තවමත් ගතානුගතිකත්වයෙන් මිඳීමට නොහැකි වී ඇත. තවමත් ඔවුන් සිටිනුයේ අධ්‍යාපනයේ පහළම මායිමේය. එහෙයින්ම සංවර්ධනය වූ රාජ්‍යයන් 19 වන සියවස අවසානයේදී මුහුණ දුන් ඇතැම් ගැටලු, ඇතැම් විට දුප්පත් රාජ්‍යයන් තුළ උද්ගතව ඇත්තේ 21 වන සියවසේදී තුළදී ය. 

මෙසේ ලොව පවත්නා අධ්‍යාපන ස්ථරීකරණයෙන් වියුක්තව, සැමට අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සම අවස්ථාවන් ලබාදීම උදෙසා ක්‍රියාමාර්ගයන් ගත යුතුය. එහිදී පළමුවෙන්ම පාසැල් පද්ධතිය සංවර්ධනය කළ යුතුය. අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආසියාතික රටවල් නව ක්‍රමවේදයන් සැලසුම් කිරීම සහ අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය වසරින් වසර වර්ධනය කිරීම ද සිදු කෙරිණි. නමුත් දුඟී අධ්‍යාපන ප්‍රතිපත්ති හා භාවිතයන් දක්නට ලැබුණ බොහෝ රාජ්‍යයන්හි ආර්ථික අර්බුද, සමාජ නොසන්සුන්තාවයන් සහ දේශපාලන අසමත්භාවයන් හේතුවෙන් සැලසුම්ගත ඉලක්ක වෙත ළඟාවීමට නොහැකිවිය. එමෙන්ම අධ්‍යාපන මුදල් අවභාවිතය නිසා එහිදී අදාළ ඉලක්කයන් සපුරා ගැනීමට බොහෝ රාජ්‍යයන් අසමත් වී ඇත. මෙහිදී නයිජීරියාව, කෙන්යාව වැනි රටවල්වල මුදල් ඔවුන්ගේ විනිවිදභාවයක් නොමැතිකම නිසා එය අධ්‍යාපනයේ ප්‍රගතිය වෙනුවෙන් යොදවා ගැනීමට නොහැකි විය. තවද ඇතැම් රටවල අධ්‍යාපනය සඳහා ලබාදුන් අරමුදල් දූෂණයට ගොදුරු වීමෙන් දුප්පත් සිසුන් විශාල සංඛ්‍යාවකට අධ්‍යාපනය මඟ හැරිණි. බොහෝවිට බංගලාදේශය, පකිස්තානය ඇතුළු රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් පාසැල් අධ්‍යාපනය නොලබන අතර ඒ සෑම ජන කණ්ඩායමකටම, ප්‍රදේශයකටම ලැබුණු විවිධාකාර නොසලකා හැරීම් හමුවේ ඒ බව පැහැදිලි වනු ඇත. 

එසේම සංවර්ධනය වූ බොහෝ රාජ්‍යයන්හි ආර්ථික වර්ධනය රඳා පවතිනුයේ ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන මූල්‍ය ආයෝජනය ඉහළ යාමත් සමඟ ය. එහිදී චීනය සහ ඉන්දියාව පසුගිය දශක දෙක තුළ පාසැලින් බැහැර වූ දරුවන් විශාල සංඛ්‍යාවක් පාසැල් අධ්‍යාපනයට ගොනුකර ගැනීමට සමත් වන ලදී. එසේම ෆින්ලන්තය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය සහ ජපානය අධ්‍යාපනයේ නව සොයාගැනීම් සමඟ ඔවුන් වර්තමානය වන විට ගෝලීය අධ්‍යාපනයේ පෙර ගමන්කරුවෝ බවට පත්ව සිටියි. එමෙන්ම මෙක්සිකෝව පාසැල් අධ්‍යාපනයේ අසමතුලිතතාවය සමනය කරමින් ජයග්‍රහණයන් වෙත ළඟා වූයේ ද ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් කළ ආයෝජනය ඉහළ දැමීමෙන් ය. 

මෙසේ යහපත් ලෙස අධ්‍යාපනයක් ලැබීමට හැකිවීම සෑමදෙනාටම එක හා සමානව ලැබිය යුතු ත්‍යාගයක් ම වන්නේ ය. ඒ අයුරින් බලන කල සිදුවිය යුත්තේ දරුවන් ගතානුගතික ක්‍රමයක් තුළ සිරකර තැබීම නොව සෑම දරුවෙකුටම ධනපති, නිර්ධන පන්ති භේදයකින් තොරව මෙන්ම සංවර්ධනය වූ, සංවර්ධනය නොවූ යනාදී වූ රාජ්‍යය බෙදීමකින් තොරව ද දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලබාදීමට සියලු රාජ්‍යයන් විසින් කටයුතු කිරීමයි. එසේ රාජ්‍යයක් තුළ අධ්‍යාපනය සවිබල ගැන්වූ කල එම රාජ්‍යයන් සංවර්ධනයක් කරා ද ළඟාවීම නිතැතින්ම සිදුවනු ඇත.

Top