ලාංකේය ගීතයේ මින්දද හීසරය - මඩවල එස් රත්නායක

post-title

1925 පෙබරවාරි මස 5 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මඩවල නම් ග්‍රාමයේ දී පුණ්‍යවන්ත දරුවෙකු මෙලොව එළිය දකියි.

ජන්ම පත්‍රයට අනුව හේ නමින් සිරිසේන රත්නායක ය. එහෙත් පසු කලෙක ලාංකේය සාහිත්‍ය අඹර තුළ දීප්තිමත් තාරකාවක් සේ දිදුළන ලද ඔහුගේ නාමය සුවහසක් සාහිතකාමීන් අතර ජනාදරයට පාත්‍ර වූයේ මඩවල එස් රත්නායක යන නමිනි. කවියෙක් , කෙටිකතා කරුවෙක් නවකතා කරුවෙක් , ගේය පද රචකයෙක් මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙසින් ද මඩවලයන් ජනාදරයට පාත්‍ර ව ඇත.

ප්‍රාථමික අධ්‍යාපනය උදෙසා හම්බුළුව මිශ්‍ර පාසලටද කනිශ්ඨ අධ්‍යාපනය උදෙසා කෑගලු විදයාලයට ඇතුලු වූ මඩවලයන් පසුව මහනුවර සිල්වෙස්තර විදුහලෙන්ද සිප්සතර හදාරයි. ඔහුගේ හද තුළ සැගවී උන් නිර්මාණකරුවා හිස ඔසවා නැගී සිටින්නට උත්සහ දරන්නේද මෙම පාසල් කාලසීමාවේදීම ය. ඒ සඳහා හොඳම නිදර්ශකයක් ලෙස කෑගලු විදයාලයේදී ඔහු විසින් සංස්කරණය කරන ලද " සීගිරි " නම් කලා සඟරාව හඳුනාගත හැකිය. 1946 දී පමණ H.D. සුගතපාලයන්ගේ නව මග සඟරාවෙහි මඩවලයන්ගේ පළමු නිර්මාණය පලවීමත් සමග ඔහු සාහිතකරුවෙකු ලෙස ක්‍රමයෙන් නැගී සිටීම ඇරඹෙයි.

වෘත්තීයමය වශයෙන් 1950 දී පමණ ලේක් හවුස් ආයතනයට පුවත්පත් කලා වේදියෙකු ලෙස ඇතුලත් වන ඔහු පුරා දෙවසරක් එහි "දිනමිණ" පුවත්පතෙහි සේවය කොට ඇත. පසුව 1952 දී පමණ " ලංකාදීප " පුවත්පත්ට එකතුව එහි ද දෑවසරක් පමණ සේවය කොට ඉන් ඉවත් වී මඩවලයන්ගේ ජීවිතයේ සුවිශේෂීතම ස්ථානයක් වන ගුවන්විදුලි සංස්ථාවට ඔහු ඇතුලත් වන්නේ ඉන් අනතුරුව ය. මඩවලයන් සතුව පැවති දේශීය සංගීතය පිළිබඳ හසල ඥානය උපයෝගී කොට ගනිමින් ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් අංශයේ වැඩසටහන් සම්පාදකවරයෙකු වශයෙන් සේවයට බැඳි 1955 දී පමණ ජනගායනා නමින් ගුවන්විදුලි වැඩසටහනක් අරඹා ඇත. ගේය පද රචකයෙකු වශයෙන් මඩවලයන් සුදීප්තිමත් වන්නේ ඉන් අනතුරුව ය. 1982 පමණ වන විට රූපවාහිනී සංස්ථාවේ විච්ත්‍රාංග අංශ ප්‍රධානියා ලෙස සේවයේ නිරත මඩවලයන් 1985 දී පමණ එයින් විශ්‍රම ගනියි. අනතුරුව 1985-1987 දක්වා කාල සීමාවේදී චීනයේ බෙයිජින් ගුවන්විදුලියේ සිංහල අංශයේ උපදේශක ලෙසද මඩවලයන් කටයුතු කරයි. මේ අතරවාරයේ සෝමලතා රත්නායකයන් සමඟ විවාහව තුෂාර , සුලෝචන, පුණ්ණක , නිපුණිකා යන දරුවනට පියෙකු ද වේ.

මඩවලයන්ගේ බොහෝමයක් නිර්මාණවල ගැමි මානව ජීවිත වල සියුම් පාර්ශවයන් වඩාත් සංවේදී ලෙසින් තැවරී ඇත. ඒ පිළිබඳව වරක් " නව යුගය " පත්‍රයට ලබා දුන් පිළිසඳරකදී මඩවලයන් විසින් ම මෙසේ ප්‍රකාශ කර ඇත.

"මා බොහොම පිටිසර හත්කෝරලයේ දඹදෙණියට කිට්ටුව ඇති අලව්වේ මඩවල කියන ගමේ උපන්නේ , වැඩිපුර කුඹුරු හේන් වලින් වටවී ඇති වටපිටාවක ජීවත් වූ අපේ වර්ගය ගොවියෝයි. ඔවුන් ජීවත් වුනේ ගොඩ මඩ ගොවිතැනින්. මගේ නිර්මාණ හැම එකක් පසුපසම හීං නූලක් සේ දිව යන්නේ මේ ගැමි ජීවන සුවඳයි."

( නව යුගය පත්‍රය)

මඩවලයන්ගේ උක්ත ප්‍රකාශයෙන්ම ප්‍රකට වන්නේ ඔහුගේ නිර්මාණකරණයේ අස්සක් මුල්ලක් නෑරම ගැමි දිවියේ සොඳුරු අඳුරු දෑ පැතිරී පවත්නා බවයි.

පෙම් අමා , මාර යුද්දය , හීන හතක් මැද ආදී වූ කාව්‍ය ග්‍රන්ථ ද බුදුහිනාව , වැහිවලාකුළු තවලම්කාරයෝ , සුවඳ පිරුණු අනාගතයක් , නොමල මල් , පහන නිව්වා , මල් මෙන් කඩුපුල් , උපන්දාසිට සිට කරපු පව් නැත , ආදී කෙටිකතා සංග්‍රහයන්ද මඩවලයන් විසින් රචනා කර ඇත. පාඨක මනස් ආලෝලනය කළ නවකතා සමුච්චයක්ද එතුමන් අතින් රචනා වී ඇත. අක්කර පහ , පහනින් අඳුරට , අම්බලන් පාලුවෝ , දවස් මෙසේ ගෙවී ගියා , අක්කයි මායි , සිත නැති බඹලොව, සඳපාන කන්ද කපා , අලුත ගෙනා මනමාලි , නිල් මල් විල එම නවකතා සමුච්චයට අයත් වේ.

 මඩවලයන්ගේ මෙකී බොහෝමයක් නවකතා සඳහාද ඔහුගේ ජීවිත අත්දැකීම බහුල ලෙස පාදකව ඇති බව කියමින් හේ මෙසේ පවසයි.

" මා ලියූ නවකතා අතුරින් මගේ සිත් වැඩි වශයෙන් ඇදී බැඳී ඇත්තේ පානෙන් අදුරට පොතටයි. මේ නවකතාව මා හොදින් ලිව්වා යන අදහස බලවත් සේ මා සිතට නැගී තිබෙනවා. ගැහැණියකගේ චරිතයකින් කියවෙන මේ නවකතාව ලිවීමට මාගේ මිත්‍රයකුගේ සැබෑ අත්දැකීම් පදනම් වුනා. ඒත් මා ලියූ නව කතා අතුරින් විචාරක ප්‍රශංසාව හිමිවූයේ සිත නැති බඹලොව පොතටයි. එකගෙයි කෑම වැනි චාරිත්‍ර අපේ ගමේ මා කුඩා කාලයේ දක්නට ලැබුණා. අක්කර පහ නවකතාවට ඇතුලත් වූයේ ගමේ සිට නගරයේ පාසලකට යන සේනගේ චරිතයයි. එය මගේ අත්දැකීමක්. මේ අත්දැකීම් හා ගමේ සම්බන්ධයක් මා ඒ අයුරින්ම විකාශනය කරා. කුමාරි අක්කාගේ චරිතය ගොඩ නැගුවේ මගේම අක්කාගේ චරිතය ඇසුරිනි. නවකතාවේ එන ආකාරයට සේන කොළනියට ගිය පුවත ඇරෙන්න සෙසු සියලු සිද්දි මට පෞද්ගලික අත්දැකීම් . සඳවතීගේ චරිතයේ නමේ ඇති සුන්දරත්වය මිස එවැනි නමක් ඇති චරිතයක් අපේ ගමේ නෑ. " 

( නව යුගය පත්‍රය )

 මඩවලයන්ගේ සාහිත ප්‍රතිභා පූර්ණත්වය පරිවර්තන කාර්යෙහිද මතුවී ඇත. එය ඕමාර් ඛයියාම් ගේ රුබයියාට් හා ඩැනියල් ඩෙෆෝ ගේ රොබින්සන් කෲසෝ පරිවර්තනයන් මගින් හඳුනාගත හැකිය. එනයින් මඩවලයන් පරිවර්තන කාර්‍යයෙහි දක්වා ඇති සුදක්ශ බව ප්‍රකට වේ.

 මඩවලයන්ගේ සාහිත දිවියේහිදී ඔහු සංස්පර්ශිත සුන්දරම කලාපයක් වන්නේ ගේය පද නිර්මාණකරණයයි. ගුවන්විදුලි ගීත සඳහා මඩවලයන් රච්ත රන්වන් කලේ සැලේ , නිල් මාලෙන් මල් පිපුනා , මින්දද හීසර යනාදි ගීතද , හීන හතක් මැද , ස්වරණවිමානෙට එහා ලෝකයේ , තණ්හා ආශා ඔලුගු කරේ ලා වැනි ගැටවරයෝ හා පටාචාරා ච්ත්‍රපටි සඳහා රචිත ගීතද සුවිශේෂීය. එයට අමතරව බඹරෙකු ආවයි , සැඳෑ කලුවර , කැලේ ගහක මල් පිපිලා ආදී ගීතද ජනාදරයට පත්ව ඇත.

ගේය පද නිර්මාණයේදී මඩවලයන් සතු වූ ජන සංස්කෘතික ඥානය ඒ සඳහා මනාව ඉවහල් වී ඇති බවට කදිම සාක්ශියකි, රන්වන් කරල් ගීතය.

එහි පද රටාව නිර්මාණය ව ඇත්තේ තුරඟා වන්නම ආශ්‍රිත කරගෙනය.

 

" සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු

ගත් සිත් නොසත් පැවිදි අංගා

අණ කෙරෙන චන්නයෙන කන්ථකය අසු ගෙනෙන

ගෙන එදින අසුගෙ පිට නැංගා "

 -තුරඟා වන්නම-

මඩවලයන් තුරඟා වන්නම අනුසාරයෙන් ස්වකීය පදපෙල මෙසේ නිමවයි.

" රන්වල් කරල් සැලේ සංසුන් කමින් බරව

සිල්ගත් සිතින් යුතුවූ කත සේ

මද සුළඟ හා සමඟ

බඳ සලන විට ගමද

පෙම් මල් උදා කරති සතොසේ"

මඩවලයන්ගේ භාවපූර්ණ බස්වහර සුලලිත ගැමි වහරෙන් සුපෝශිතය. ගැමි සංකල්ප , විශ්වාස ආදිය සංකේතාර්ථයන් සමඟ මුසු කරමින් රචිත එවන් ගීතයකි පහතින් දක්වා ඇත්තේ ,

බඹරෙකු ආවයි නිරත දිගේ යා

හදපෑරුවයි මියුරු රසේ යා

මල පර වූවයි ශෝකෙන් බෝමා

කඳුලු ගැලූවයි දෙලෝ ගැබේයා"

ප්‍රේමය අහිමි ගැහැණියකගේ හද තුළ උතුරා ගලන ආදර ආශා හා අනුරාගී බලාපොරොත්තුව පිලිබඳ මඩවලයන් අපූර්ව ලෙස නිරූපණය කරයි. මේ බඹරා මල් මත රඟන අප දන්නා බඹරා නොවේය. අවිවාහක යුවතියන් සොයා එනවායැයි ප්‍රචලිත කලුකුමාර දිශ්ටිය බොහෝ විට ඒ බඹරිඳුට සංකේතාර්ථවත් වූවා විය හැක. එය තහවුරු කරගත හැකි යෙදුම් දෙකක් ගීතයෙහි දැක ගත හැක. ඒ මේ බඹරා නිරිත දිශාවෙන් පැමිණීමය. විශ්වාසයන්ට අනුව කලුකුමාර දිශ්ටිය ද නිරිතෙන් ආගමනය වන්නකි. අනෙක් කරුණ නම් මේ බඹරා මලට ඇදෙන්නේ හිරුබැස ගිය පසුව යන කරුණය

එනම් ගොම්මනේය. ගීතයේ එය මෙසේ සඳහන් වේ.

 " බලබිද දමා හිරු යන විට අවරගිරෙන්

 සලමින් පිපුණු මල් පැණි ගොමු රිසිව වරෙන්"

 මෙවැනි ග්‍රාමීය යෙදුම් බහුල ලෙස භාවිත ගීතයක් ලෙසින් කැලේ ගහක මල් පිපිලා ගීතයද හදුනාගත හැක. ගැමි තරුණයකු සිය සිත බැඳි ගැමි යුවතියක සමඟ සිතින් බැඳි ඈ පිලිබඳවම සිතම්න් පියවි ලොවින් ඈත්ව මනෝ ලෝකයක ඈ සමඟ සැරිසරන ස්වරූපයෙන් ගීය නිරූපිතය.

 " කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා

හදේ ලැඟුම් ගත් බඹරුන් රොනට වඩිනවා

රේනු තලා මල් නොතලා උන් පැනිබොනවා

 මගේ දෑස මට නොකියා කරදර දෙනවා "

කැලේ ගසක පිපිණු මල නම් ගැමි යුවතියයි

. ඇය දැකුමෙන් තරුණයාගේ හදෙහි ආදර හැඟුම් නම් බඹරුන් අවදිව ඇත. එහෙත් ඒ හැඟුම් සන්සුන්ය. රොනට වඩිනවා යනු එම සන්සුන් හැගුම් නිරූපණයයි. ගීතයේ අපූර්වතම කොටස එහි අවසන් අර්ධයයි. මෙහි ගැමි තරුණයා තරුණිය සිහි කරමින් හුදකලා අඳුරේ පසුවන විට ඔහුගේ නිසොල්මන පිලිබඳ තතු විමසන්නේ දෙමාපියන්‍ ය . එය ඔහුට කරදරයකි. ඒ වග ගීතයේ මෙසේ සඳහන්‍ ය.

" මා තනිවූ විටදී පමණින් ඒ මල දකින්නේ

හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ

අදුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ"

 මඩවලයන්ගේ ගීත තුළ අප්‍රමාණ වූ ජනතා ආකර්ශනයට හේතුවූ ගීතයක් වේ. ඒ , මින්දද හීසරය. පැරණි පද්‍ය සාහිතයයේ එන භාශා පරිචය සමඟ ජන භාශා යෙදුම් මනාව සුසංයෝජනය කරමින් මෙම ගීතය රචනාව ඇත.

 "මින්දද හීසර වැදී සැලෙන හද

නංවන දුක් ගී ඔබට ඇසෙනවද

චන්දන මල් අතුරා ඇති යහනට

කන්ද කපා පායන් රන් පුන් සඳ "

ප්‍රේමයේ රසාලිප්ත භාවය මෙන්ම ජීව්තයේ අස්ථිර භාවයද වඩාත් ගීතාත්මක ලෙසින් මඩවලයන් අතින් රචනාව ඇත. ඒ පටාචාරා ච්ත්‍රපටිය වෙනුවෙන් රචිත පහත ගීතය මගිනි.

" තණ්හා ආශා ඔලගු කරේ ලා

මඟ තොට නොබලා වග තුග නොසොයා

 එලිය දකින්නද මේ යන්නේ

සැපත සොයන්නද මේ යන්නේ

කතරේ...

ගිනිගත් වැලිතලයේ

උතුරන ගංගා නියගය ආ දා

වියලී යනවා ගහ කොල මැලවී

මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා...

අප යන මේ ගමනේ "

මෙවන් වූ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනා මගින් සුවහසක් ශ්‍රාවක හෘදයන් තුල රසභාව අවදිකල මඩවලයන් 1964 වසරේ ගැටවරයෝ චිත්‍රපටයේ ගීත රචනය සඳහා සරසවි සම්මානයෙන් ද බුහුමන් ලබයි. කවිය , ගීතය , නවකතාව ,කෙටිකතාව ආදී නන්විද කලාමාධයන් තුලින් ලාංකික සහෘදයින් පිනවූ ඒ සොදුරු මිනිසා එකී සහෘද හදවත්හි නොමියෙන මතකයන් සටහන් කරමින් 1997 වසරේ ජනවාරි 7 වනදා සදහටම දෙනෙත් පියා ගනු ලැබීය.

 

Top