භූගෝලීය සාධක මත වෙනස්වන සංගීතය හා රිද්මය (562)

post-title

ලෝකය සංකීර්ණ ප්‍රපංචයන්ගෙන් සැදි ඒකකයක් ලෙස දැක්වීම උචිතයැ යි සිතේ. මන්ද ලෝකය යන සංකල්පයම හුදෙක් සරල කාරණයක් නොවෙයි. වඩ වඩාත් දකින්නට, දකින දේ පිළිබදව වඩ වඩාත් සිතන්නට ඔබව යොමු කරන එක්තරා වූ අවකාශයක නිර්මිතයක් යැයි කිවහොත් මා වඩාත් නිවැරදියි. එක් එක් සංදර්භයන් සදහා ඔබගේ දෘෂ්ටීන් වෙනස් විය හැකිය. භූගෝලීය සාධක මත සංගීතය හා රිද්මය වෙනස්වීමද එවැනි එක්තරා විනිවිද දැකිය හැකි සංකල්පයකි. ලෝකයේ අවකාශීය විවිධත්වය අධ්‍යයනය කිරීමේ දී භෞතික, සමාජීය, හා සංස්කෘතික වශයෙන් ගෝලීය ගතිකත්වය තුළ මෙම මාතෘකාව අපට හමුවෙයි. 

සංගීතය හා රිද්මය ඔබට සමීප වූ තාත්වික දෙයකි. අන්තර් සංස්කෘතිකමය වශයෙන් පුද්ගලයා තුළින් සංගිතය හා රිද්මය භූමි සීමාව වුවද අතික්‍රමණය කිරීමට සමත් බැව් කිවයුතු මනාය. සංගීතය යනු විශ්ව භාෂාවක් නිසාම පුද්ගල පරිචය තුළ භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් බැදුණු සංවේදී මාධ්‍යයක සියුම් බව කියාපායි. එයට රිද්මය ද එක් වූ විට අපව ගෙන යන්නේ වෙනස්ම ලෝකයකටයි. ඒ නිසා සංගීතය සාධනීය භාවිතාවකින් මනුෂ්‍යත්වය ආමන්ත්‍රණය කරයි. එම ආමන්ත්‍රණයට ජාතික, ප්‍රාදේශීය වශයෙන් හෝ දේශ සීමා වශයෙන් බාධාවන් පැවතිය නොහැකිය. සංගීතයේ වත්මන් පිළිගත් භාවිතාවක් ලෙස පෙරදිග, අපරදිග, අග්නිදිග, ආසියාතික, මැදපෙරදිග හෝ අවශේෂ සංගීත සම්ප්‍රධායන් පැවතිය හැකිය. මෙම දේශයන් වල භාවිතා වන සංගීත රිද්මය හා නාද භාවිතය එකිනෙකට වෙනස්වුවත් එක් රටක හෝ ප්‍රදේශයකකට අනන්‍ය වූ සංගීත නාදය තවත් දේශයකින් කෙනෙකුට අසන්නට ලැබුණි නම් එය ලෙහෙසියෙන් නිශේධනය කළ නොහැකිය. එයට හේතුව වන්නේ ඇතැම් විට සංගීත නාදය හා රිද්මය එකිනෙක සමාන වන අවස්ථා තිබෙන නිසාය. සංගීතය විශ්ව භාෂාවක් යැයි කියන්නේ ද එනිසාය. එමෙන්ම යම් රටක නිශ්චිත සංගීත සම්ප්‍රධාය මෙයයැයි කියා එළඹුමකට පිවිසීමට ද නොහැකිය. පර්සියාවේ සංගීතයේ එන නාදරටා උත්තර භාරතීය සංගීතයේ එන නාද රටා හා සංසන්දනය කිරීම තුළින් එය මනාව සන්නිදර්ශිතව ප්‍රත්‍යක්ෂ වෙයි. එමෙන්ම අග්නිදිග ආසියාවේ නාදමාලා සමග උත්තර භාරතීය රාගයක් වන දුර්ගා රාගයේ නාදරටා එකිනෙක සැසදෙයි. 

එපමණක් නොව භූගෝලීය වශයෙන් එක් එක් සංස්කෘතික ජන කොට්ඨාශ අතර ද ඔවුන්ටම ආවේණික වූ සංගීත රිද්මයන් පවතී. ගෝත්‍රික ජන කොටස් ඒ අතර ප්‍රධාන වෙයි. පාරිසරික වශයෙන් මෙන්ම භූගෝලීය සීමා අවකාශය තුළ සංගීතයේ හා රිද්මයේ ඇති සම්බන්ධතාවය මනාව පෙන්නුම් කිරීමට යොදා ගන්නා වූ කදිම නිදසුනක් වන්නේ ගෝත්‍රික සංගීතයයි. ලංකාවේ ආදිවාසීන්ගේ සංගීතය හා මුසු වුණු රිද්මය එම පරිසරයට ආවේණිකය. ස්වභාදහමේ ස්වභාවික සංසිද්ධීන් වන ඉර පෑයීම, සද නැගෙන අයුරු, මුහුදු රළෙහි චලනය, ගහක කොළයක් පොළොව මතට වැටීම හා සුළගේ පාවීම, ගහක කොළයකට පිණි බිදුවක් වැටෙන අයුරු යනාදි සිද්ධාන්ත තුළ ඇත්තේ ඒ ඒ පරිසරයට ආවේණික වූ රිද්මයකි. ඔබ හුස්ම ගන්නේත් යම්කිසි රිද්මයකටය. භූගෝලීය සීමා යන කාරණයේ දී මෙය එකිනෙකට ගතික වන්නේ එබැවිනි. සංගීතයේ ප්‍රභවයට රිද්මය හේතු වන්නට ඇත. විශේෂයෙන්ම සංගීතයේ පොදු බව වියුක්තව ගොස් එය භූමි සීමා, දේශ සීමා පවා අතික්‍රමණය කරමින් ගතිකත්වයට පත් වන්නේ එහි ඇති රිද්මයේ ස්වභාවය අනුවය.

කදුකර සංගීතය තුළ ඇත්තේ එම ප්‍රදේශයේ දේශගුණික, කාලගුණික වශයෙන් අනුරූප වූ සංගීත රිද්මයකි. භෞතික වශයෙන් එයට අනුගත වූ මිනිසාට මෙම රිද්මය ද අයට අනුව අනුගත කර ගැනීමට හැකි වන්නේ භූගෝලීය සීමාවන් පිළිබදව නිරායාසයෙන් අත්දකිනු ලැබූ සංවේදීබාවය නිසාය. රිද්මය ස්ථානීය වෙනස් වුවත් සංගීතය විශ්ව සාධාරණ ගුණයෙන් යුක්ත වේ. ඒ නිසා භූගෝලීය වශයෙන් විදීමේ හැකියාව නිතැතින්ම ඔබ සතු වෙයි.

මෙය පුලුල් සංකීර්ණ මාතෘකාවට භාජනය විය යුත්තක් නිසාම මේ පිළිබදව මතු දිනෙක පර්යේෂණාත්මකව කතා කරමු. එතෙක් ඔබ ඔබේ රිද්මය සොයා ගන්නට උත්සාහ කරන්න. ඇතැම් විට ඔබට එය මුණ ගැසී තිබෙන්නට පුලුවන. භූගෝලීය වශයෙන් රිද්මය වෙනස් වන්නේ සංගීතය තුළම පමණක් නොවන බව එවිට ඔබට ප්‍රත්‍යක්ෂ වේවි.



Top