වෙළෙඳ දැන්වීමෙන් නොමග යන ළමා හා වැඩිහිටි සමාජය (446)

post-title

රටකට ඉන්න වටිනා ම සම්පත තමයි දරු සම්පත කියන්නෙ. අවුරුදු 18ට අඩු සෑම අයෙක්ම ළමයෙක් හැටියට තමයි ගණන් ගැනෙන්නේ. හැබැයි මේ ලෝකෙ අඩුවෙන්ම තැන හම්බෙන්නෙත් මේ කියන දරුවන්ටම තමයි. වානිජශීලි පරමාර්ථය මත බොහෝ දරුවන් විකිණෙන භාණ්ඩ බවට පත්වෙලා තියෙනවා. මෙහෙම කියන්න හේතුව තමයි වෙළෙඳ දැන්වීම්කරණය තුළ කොයිතරම් නම් දරුවන් වෙළෙඳ භාණ්ඩ බවට පත්වෙලා තියෙනවා ද කියන එක පැහැදිලිව ම පෙනෙන්න තියෙන එක. ඇත්තටම අද අපේ රටේ අත දරුවාගෙ ඉදන් අවුරුදු 18 දක්වා බහුතරයක් ළමයි වෙළෙඳ භාණ්ඩ. පොඩ්ඩක් මතක් කරල බලන්න කිරිපිටි , සබන්, බිස්කට් , යෝගට්, සිසිල් බීම යන වෙළෙඳ දැන්වීම් වලට කොයිතරම් නම් දරුවන් යොදාගෙන තියෙනවද කියල. අද දෙමාපියනුත් මේවායෙහි කිසි සැළකිල්ලක් නෑ. ඔවුන්ගේ ආර්ථික දියුණුවයි, බොරු ආඩම්බරයයි, ප්‍රසිද්ධියයි ගැන හිතල ළමයින්ව වෙළෙඳ දැන්වීම් රගපෑම් කටයුතුවල නිරත කරවනවා. ඒකෙන් ළමයින්ට කොතරම් නම් හානියක් වෙනවද කියන එක නිකමටවත් හිතල බලන්නෙ නෑ. වෙළෙඳ දැන්වීම්කරු හැමවෙලේම බලන්නෙ තමන්ගේ පිටපතට අනුව දරුවගෙ කටින් හැමදේම අරගෙන වෙළෙඳ දැන්වීම සාර්ථක කරගන්න. හැබැයි ඒ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින එකම ළමයෙක්ටවත් වැටහීමක් නෑ තමන් මේ කියන්නෙ මොනවද කියලවත්. එයාල ගිරව් වගේ කියන්න කියපු දේවල් කිය කිය රගපානව. හැබැයි ඒකෙන් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට තමයි බලපෑම් ඇති කරන්නෙ. 

අනික තමයි මේ රටේ තියෙන වෙළෙඳ දැන්වීම් වලට අනුව නම් කිරිපිටි බීපුවම දරුවන්ට ශක්තියයි, බුද්ධියයි අනිවාර්යයෙන්ම හම්බෙනවා. ඉතින් එහෙමනම් මේ රටේ දරුවන්ගෙන් 95% ක් විතර කිරිපිටි බොනවා. එතකොට මේවගෙ කියන හැටියට හැම දරුවෙක්ම වගේ බුද්ධිමත් දරුවො වෙලා ඉන්න ඕනි. ඒවගෙ කියන හැටියට ශක්තිය එනවනම් දරුවන්ට මොනවද කරන්න බැරි. අනික තමයි දරුවන් ඉලක්ක කරගෙන ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම් වලින් බොහෝ වෙලාවට වෙන්නෙ පෙළඹවීම් හරහා දරුවන් නොමග යන එක. ඒකට තියෙන හොඳම නිදර්ශනය තමයි එක්තරා බිස්කට් වෙළෙඳ දැන්වීමක තියෙනවා ඒ බිස්කට් වර්ගය දුන්නොත් පොඩ්ඩො ඕනිම දෙයක් කරයි කියල. සමාජය ඇතුලෙ භාවිතා වන වචන වලින්ම කියනවනම් බිස්කට් එකක් පගාව වශයෙන් දීල වැඩක් කරවා ගැනීම. 

ඒ වගේම තමයි තවත් කිරිපිටි වෙළෙඳ දැන්වීමකදි දරුවට පාසලෙන් හොඳ වැඩ තුනක් ලියාගෙන එන්න දෙනවා. දරුවා හොඳ වැඩ විදියට ලියන්නෙ උදෙන්ම නැගිටීම, ගේ දොර අස් කිරීම . ඒත් ඒ හැමදේම බොරුවක් බව වෙළෙඳ දැන්වීම පුරාවටම පෙන්නල දෙනව. මොකද ළමයා නැගිටිද්දි ඔරලෝසුවෙ වෙලාව උදේ නවයයි කියල සටහන් වෙලා තියෙනවා. ගේ දොර අස්කිරීම කියද්දි ගෙදර අස් කර කර ඉන්නෙ ආච්චි අම්මා. හැබැයි තුන්වෙනි හොඳ වැඩය විදියට හදුන්වල දෙන්නෙ කිරි වීදුරුවක් සම්පූර්ණයෙන්ම බොන එක. ඒත් ඇත්තටම කිරි වීදුරුවක් බීව කියල ඒක පාසලේ හොඳ වැඩ පොතට ගෙනියන්න තරම් හොඳ වැඩක් ගණයට ගැනෙන්නේ නෑ. දරුවන් නොමග යන්නෙ ඉතාමත් නිර්මාණශීලී විදියට. දරුවන්ගේ මොළයට යන්නෙ වැරදි ආදර්ශයන්. අවුරුදු කාලේ ගියපු කේක් පිළිබඳ ගිය විවිධ දැන්වීම් තුළ දරුවන් හොරකමට හුරුකරවනවා. ඒ වගේම තමයි ඇතැම් වෙළෙඳ දැන්වීම්වල දරුවන් ඇගිලි ලෙවකන තරම් රසක් යම් නිෂ්පාදනයන්ගේ තියෙනවා කියල පෙන්නනවා. ඒවා දකින දරුවන්ගේ මනසට යන්නෙ යහ පුරුදු වෙනුවට කැත පුරුදු . ඒ වගේම තමයි කිරිපිටි දැන්වීම් තුළ කිරි වීදුරුව බීල කට වටේ කිරි ගෑවුණු ඒවා දිවෙන් ලෙවකන දර්ශන තුළ දරුවන්ගේ මනසට යන්නෙ වැරදි පුරුදු . ඒත් අපේ රටේ මෙහෙම වෙද්දි ස්වීඩනය , බෙල්ජියම වගේ රටවල අවුරුදු 12ට වඩා දරුවන් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම පවා තහනම්. අනික තමයි මෙම වෙළෙඳ දැන්වීම්වල සමහර දර්ශන සදහා ගන්නා දරුවන් කොතරම් පීඩනයට පත්වෙනවාද යත් දරුවෙකු අඩන දර්ශනයක් අවශ්‍ය නම් ඒ වෙලාවට දරුවව අඩවන්නෙ කොනිති ගහල නැත්නම් යම්කිසි හානියක් කරල. ඒවා කොච්චර නම් වැරදි ද. අද වෙනකොට දෙමාපියන්ටත් සල්ලි නිසා තමන්ගේ දරුවන් විදින වේදනාවවත් පේන්නෙ නැතුව ගිහිල්ලා . බොහෝ වෙලාවට වෙළෙඳ දැන්වීම්වලට ලංකාව , ඉන්දියාව වැනි ආසියාකරයේ රටවල දරුවන් පමණයි. ඇමෙරිකා, යුරෝපා රටවල දරුවන් වෙළෙඳ දැන්වීම් වලට යොදාගැනීම දක්නට ලැබෙන්නෙ ඉතාමත් අඩුවෙන්. රූපවාහිනීය නරඹන්නෙ වැඩිහිටියො විතරක් නෙවෙයි. තමන්ගේ දෙමව්පියෝ එක්ක දරුවොත් එකටම රූපවාහිනීය බලනවා. එවන් අවස්ථාවක සනීපාරක්ෂක තුවා පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙනකොට දෙමාපියො දරුවන්ගෙ ප්‍රශ්න ඉස්සරහ අසරණ වෙන අවස්ථා ඕනි තරම් තියෙනවා . දරුවො කියන්නෙ හැමදේම ගැන කුතුහලයක් තියෙන අය.

එවැනි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයවීම මත දරුවන් එවැනි දෑ ප්‍රායෝගිකව අත්හදා බැලීමට දරන උත්සහය වැඩී. සිසිල් බීම දැන්වීම් බහුතරයගෙ තියෙන්නෙ දරුවන් නොමග යවන සුළු දේවල්. ජාත්‍යන්තර පාසලක දරුවන් එහි ප්‍රධාන නියමුවන් ඉදිරියෙ පවා බීම බිබි නටන එක අනුමත කරන ආකාරයට තමයි එ පාසලේ නියමුව බලන් ඉන්නෙ . එවැනි වෙළෙඳ දැන්වීම් කොතරම් නම් වැරදි සහගත ද? එසේම විවිධ තේ සහ කිරිපිටි වර්ග හදුන්වා දෙනව බඩ අඩු කරන, ඇග හැඩ කරන , සිරුර නීරෝගී කරන කියල . එවගෙ තියෙන හැටියට නම් ඒවා භාවිතා කරන මිනිස්සු හැමෝම මේ වෙද්දි නීරෝගී පුද්ගලයො වෙලා ඉන්න ඕනි . අනික තමයි ඔස්ටියෝ පොරෝසිස් රෝගය තියෙන අයට පවා කිරිපිටි වර්ග හදුන්වා දෙනවා. ඒ කිරිපිටි බීපුවම ඒ ලෙඩ හොඳ වෙනවනම් ඒ ලෙඩේට වෛද්‍ය ප්‍රතිකාරවත්, බෙහෙත්වත් ඕනි වෙන්නෙ නෑ. ඉතින් ඇයි මේ තරම් මිනිසුන්ව, දරුවන්ව මුලා කරන්නෙ. බෙල්ජියම වගේ රටක ළමා වැඩසටහනක් යන වෙලාවක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය පවා තහනම් කරල තියෙනවා . ඒත් අපේ රටේ ඕනිම වැඩසටහනක් බලන්න ඉදගත්තොත් වැඩසටහනට වඩා බලන්න වෙන්නෙ වෙළෙඳ දැන්වීම් . ඇත්තටම අද වෙද්දි මාධ්‍ය සදාචාරය පිරිහිල ගිහිල්ලා තියෙන්නෙ හිතා ගන්න බැරි තරමට. වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වෙනව මාර්ගගත අධ්‍යාපනයත් එක්ක බද්ධ කරල. ඒකෙ තියෙන විදියට ගුරුවරයා උගන්නනව ළමය හොරෙන් නූල්ඩ්ස් කනවා. ගුරුවරයා ප්‍රශ්නයක් අහනවා ළමයගෙ උත්තරෙ තමයි " රස නම් හිට් " කියන එක. වානිජශිලි පරමාර්ථය මූලික කරගනිමින් දරුවන් හරි කමක් නෑ විකුණල සල්ලි හම්බකරන එක තමා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවන්ගෙ අභිප්‍රාය . ඇත්තටම අද දරුවෙකුට හෝඩියේ පංතියේ ඉදන්ම මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව අධ්‍යාපනයක් ලබාදිය යුතු කාලය එළඹ ඇති බව සිහි තබාගන්න .

Top