උඩු ගුවනේ පාළු මකන කෘත්‍රිම තරුව “ මයාක් ” (607)

post-title

රාත්‍රිය මනරම් කියා.... සඳට තරුවට කවි ලියා....යනුවෙන් බොහෝ නූතන කවීන් ගීත සාහිත්‍යය තුළ කුමන අනුභූතියක් සඳහා වුවද පද බැඳුමට යොදා ගත්තේ රාත්‍රී අහසේ දිදුළන ස්වභාවික වස්තූන්ය. ඒ අනුව ප්‍රේමණීය ආදරය, විරහව යන චිත්ත අභ්‍යන්තරික සංකල්පනාවන් පිළිබඳව සහෘදයා තුළ පරිකල්පනීය භාවිතය ගොඩ නගන්නට නූතන යුගයේදීත් සඳ, තරු වැනි විශ්වීය වස්තූන් වලට හැකිව තිබේ. රාත්‍රී අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියෙකු සිටී නම් එය මහත් පුදුමයට කරුණකි. රාත්‍රී අහසත් එහි ඇති තාරකා සමූහයත් කවියාගේ කවි සිත අවදි කරන්නට තරම් ප්‍රබල වී ඇත. අපේ තනිකමත් පාළුවත් මකන මේ ස්වභාවික තරු වලට අමතරව රාත්‍රී අහසේ දීප්තිමත්ව බබළන කෘත්‍රිම තරුත් අප දෙස බලා සිටිමින් පාළුවට ගිය සිත් ආලෝකමත් කරන බවද කිව යුතුය.

විශ්වය යනු විවිධත්වයෙන් ගහන වූ තැනකි. විශ්වයේ ඇති තාරකා ද ජීවීන් මෙන්ම බිහි වී පරිණාමයට පත් වෙති. ඒ අනුව තාරකාවෝ බිහි වෙති. වර්ධනය වෙති. තරුණ වියට සහ මැදි වියට පත් වීමෙන් අනතුරුව මහලු වෙති. ඉන් අනතුරුව මිය යති. ජීවීන්ගේ ජීවන චක්‍රය මෙන් තාරකාවන්ගේ ද ජීවන චක්‍රය මෙම ලෝකය ධාතුව තුළ සක්‍රීයව ක්‍රියාත්මක වෙයි.

තාරකාවක් බිහි වන්නේ දැවැන්ත දුවිලි සහ වායු වලාවක් කැටි වෙමින් හැකිලීම හේතුවෙනි. තාරකා බිහි විය හැකි අණුක වළාවන් රාශියක් මේ විශ්වයේ තැන තැන පිහිටා ඇත. ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෙකු වන පිලිප් මයර්ස් විසින් අණුක වළාවක් තාරකාවක් බිහි වීම සඳහා මූලික සාධකය වන බව ලොවට ඉදිරිපත් කළේය. තාරකාවක් පුපුරා යෑම තුළින් හට ගන්නා කැළඹීම හේතුවෙන් අණුක වළාවන් ද කැළඹීමට ලක් වේ. මෙම නිසා වායු අංශු එක් ස්ථානයකට එක් වීමෙන් අධික ගුරුත්වාකර්ශන බලයක් යෙදේ. මෙහිදී වායු අංශු ඝන වීම සිදු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ප්‍රදේශයේ පීඩනය ඉහළ යයි. මේ නිසාම සිසිල්ව පවතින අණු එකිනෙක ආකර්ශනය වී හැකිලීමට පටන් ගනී. වලාවේ අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට අතිශය වේගයෙන් චලනය වීම නිසා එහි උෂ්ණත්වය ඉහළ යයි. අනතුරුව ගුරත්ව කේන්ද්‍රය දීප්තියෙන් බබළයි. විවිධ ප්‍රතික්‍රියා වලට භාජනය වෙමින් හැකිලීමේ ක්‍රියාවලියත් සමග ඔබ රාත්‍රී අහසේ ස්වභාවිකව දකින තාරකාවන් බිහි වෙයි.

නමුත් නූතන තාක්ෂණික මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම තාරකාවන් උඩු ගුවනට යවා රාත්‍රිය චමත්කාරජනක කරන්නට කළ මෙහෙයුම විටෙක පුදුම දනවන සුළුය. මෙම කෘතිම තරුව අභ්‍යවකාශයට යවා රඳවා ඇත්තේ රුසියානුවන්ය. හොර රහසේම මෙම කෘතිම තරුව උඩු ගුවනට යැවූ රුසියානු විද්‍යාඥයෝ මෙම කෘතිම හිරු නම් කර ඇත්තේ මයාක් යනුවෙනි. මයාක්හි තේරුම වන්නේ මගපෙන්වන්නා යන්නයි. රුසියානුවන් විසින් මෙම තාරකාව උඩු ගුවනට යනතුරු ඒ පිළිබද කිසිදු අයෙකු දැන සිටියේ නැත. උඩු ගුවනේ පාළු මකන මයාක් නැමැති මෙම කෘත්‍රිම තරුව පිරමීඩාකාර කුඩා චන්ද්‍රිකාවකි. 2017 වර්ෂයේ ජූලි මස 14 වැනි දින රුසියානුවන්ට අයත් බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මයාක් චන්ද්‍රිකාව රැගත් සෝයූස් 2.1 වර්ගයේ රොකට්ටුව උඩු ගුවන බලා පියාසර කරවීය. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මයාක් චන්ද්‍රිකාව උඩු ගුවනට ගිය පසු රොකට්ටුවෙන් පිටතට පැමිණීමෙන් පසු එහි සූර්ය පැනල විවෘත වී දිග හැරියේය. ඉන්පසු අභ්‍යවකාශයේ නිසි ලෙස ස්ථානගත වීමෙන් පසු මයාක් සක්‍රීය කිරීමට රුසියානු විද්‍යාඥයෝ පෘථිවියේ සිට සමත් වූහ. මයාක් චන්ද්‍රිකාව සක්‍රීය කිරීමෙන් පසු පෘථිවියේ සිටින අපට ස්මාර්ට් ෆෝන් හරහා ද චන්ද්‍රිකාවේ ගමන් මග සහ එහි පිහිටීම හසුකර ගැනීම කළ හැකි යැයි රුසියානු විද්‍යාඥයෝ පවසා තිබුණි. 

මොස්කව් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු අංශයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ මෙම මයාක් කියුබ් සැට් නැමැති කෘත්‍රිම තරුව නිර්මාණය සහ අත්හදා බැලීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණැයි විද්‍යාඥයින් පවසා තිබේ. අප පෘථිවියේ අඳුරු කලාප සදහා ආලෝකය ලබා දීමට මයාක්ට හැකියාව පවතී. මයාක් කියුබ් සැට් චන්ද්‍රිකාවට රුසියන් අභ්‍යවකාශ ආයතනය වන රොස්කොස්මොස්හි අනුමැතිය හිමි වීමෙන් පසු එය උඩු ගුවනට යැවීම සිදු වූයේ ඒකාබද්ධ මෙහෙයුමක් යටතේය. මයාක් තරුව කිලෝමීටර් 600ක් පමණ උඩු ගුවනේ රදවනු ලැබිණි. මෙම මයාක් කෘත්‍රිම චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමේ ප්‍රධාන අරමුණ වන්නේ දිවා කාලය අඩු අවස්ථාවලදී අලෝකය ලබා දීමය. දිවා කාලය පැය කිහිපයක් දීර්ඝ වන අතර පෘථිවි කක්ෂයේ ඇති කසළ අල්ලා ගැනීම සහ ඒවා තල්ලු කිරීමක් ද සිදු කරයි. එමගින් එම කසළ පෘථිවියට කඩා වැටී  සිදුවන අනතුරු අවම කර ගත හැකිය. මයාක් විසින් ඉහළ වායුගෝලයේ වාතයේ ඝනත්වය පිළිබඳ දත්ත රැස් කිරීම ද සිදු කරනු ලබයි. මයාක් කියුබ් සැට් චන්ද්‍රිකාව වර්ග මීටර් 16ක පරාවර්තකවලින් සමන්විතය. මේවා නිර්මාණය කර ඇත්තේ සියුම් පොලිමර් ෆිල්ම් වලිනි. එය හිසකෙස් ගසක් මෙන් 20 ගුණයකි. රුසියාව පැවසූවේ මයාක් කෘත්‍රිම තරුව තම අභ්‍යවකාශ කටයුතු වල සන්ධිස්ථානයක් බවයි. 

මෙම කෘත්‍රිම තරුව පිළිබඳ ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරන්නේ රාත්‍රී අහස ආලෝකමත් කිරීමට රුසියාව ගත් තීරණය පිළිබඳව පැහැදීමක් නොමැති බවයි. එසේම ඔවුන් පවසන්නේ අභ්‍යවකාශයේ පවතින කසළ කන්දට තවත් කසළ ගොඩක් එක්වුණු බවයි. නමුත් මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමෙන් රුසියාව අභ්‍යවකාශ තරණය තුළ තවත් සන්ධිස්ථානයක් අත්පත් කර ගත්තේය. මෙය ඔවුන්ගේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයකි.

එසේනම් රාත්‍රී අහසේ ඔබ මම නිරීක්ෂණය කරන තාරකාවන් වලට අමතරව මෙවන් වූ කෘතිම තාරකාවන් නිරීක්ෂණය වන බවද මතක තබා ගන්න.

Top