කම්කරුවෝ යනු වීරයෝය. (325)

post-title

අවුරුද්ද ඇවිත් යන්න ගියා. ඒ යානත්මට යටපත් වෙමින් තිබුණ කොරෝනා වසංගතය මහ දැවැන්ත විදියට වර්ධනය කරමින්. සැමරුව මිනිස්සුන්ටත් නො සැමරුව මිනිස්සුන්ටත් ඒ දවස් ටික ජීවිතේ ගැන මේ මොහොතේ භයානක පාඩමක් උගන්වමින් ඉන්නවා. ඒත් ලංකාවෙ මිනිස්සු ගොඩක් වෙලාවට අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ. ඕකත් ඉක්මනින් ම අමතක වෙලා යාවි. කොහොම උනත් මේ අස්සෙ දැන් වෙසක් එනවා. හැබැයි වෙනදා නම් මේ කාලෙට රූපවාහිනී තිරවල ලහි ලහියේ ම වෙසක් කලාප ගැන කියැවෙනවා. ඒත් කොරෝනා අයෙම හිසොසවා තිබීම එක්ක වෙසක් යටපත් වෙලා. කොහොම උනත් අද මම කියන්න යන්නෙ වෙසක් ගැන නෙවෙයි.. අද ලියන්න යන්නෙ මැයි පළවෙනිදා ව ගැන. ඒ කියන්නෙ අද දවස ගැන. වෙන වචනයකින් කියනවා නම් අද කම්කරු දිනය.

කම්කරු දිනය ගැන කියන්න නම් දහස් ගණන් දේවල් තියෙනවා. කොරෝනා නොතිබුණා නම් අද වගේ දවසක් තුළ තැනින් තැන රැව් දෙන සරල පොදු ප්‍රශ්නය මට සිහිවුනා.

“මැයි රැළියට යනවද?” ඒක තමයි ඒ සරල පොදු ප්‍රශ්නය. එක අතකින් සරලයි වගේ පෙනුනට ඒක මහ ලොකු ප්‍රශ්නයක්. ටිකක් හිතලා බැලුවම තමයි තේරෙන්නෙ ඒක සෑහෙන්න හිතන්න වෙන ගැඹුරු ප්‍රශ්නයක් කියලා. මොකද මැයි රැළියට යනවද ඇහුව ම මොන මැයි රැළියට ද යන්නෙ කාගේ මැයි රැළියට ද යන්නේ වගේ අතුරු ප්‍රශ්න ගණනාවක් ම ඒ සරල ප්‍රශ්නය ඇතුළෙන් මතුවෙන නිසා. 

“මම නම් මේ පාර හොඳට කන්න බොන්න දෙන මැයි රැළියකට යනවා. ප්‍රතිපත්ති පක්ෂ මොනා උනත් ඒක එහෙම තමයි.’‘ 

අතීතයේ දවසක මගේ මිත්‍රයෙක් එක්තරා මැයි දින කතා බහකදි ඇති වුණ උක්ත ප්‍රශ්නයට උත්තර දුන්නෙ එහෙමයි. ඇත්තට ම මැයි රැළිය කියන්නෙ කනබොන තැනක් ද? එහෙම නැත්තම් පක්ෂපාට යටතේ කල්ලි ගැහිලා සමරන එකක් ද? මේ දේවල් ගැන තමයි මිනිස්සු කවමදාවත් නොහිතන්නෙ. කම්කරුවො හැමෝම එක හා සමාන නම් හැමෝටම තියෙන්නෙ පොදු ජීවන අරගලයක් නම්. හැමෝටම තියෙන්නෙ එකම විදියෙ ප්‍රශ්න නම් මොන හේතුවකට ද කම්කරු දිනය දේශපාලනිකව සමරන්නෙ. ලංකාවෙ මේ තත්ත්වය ඇත්තටම ඛේදවාචකයක්. ලංකාවෙ තියෙන හැම උත්සවයක් ම හැම වැඩපිළිවෙළක් ම සමරන්නෙ දේශපාලනික රාමුවක් ඇතුළෙ. අවුරුද්ද ට ජනාධිපති තුමා ප්‍රමුඛ පක්ෂ නැකැත් මෙහෙයන් ඉටු කරන්නෙ එයාගේ තැනක, විපක්ෂය තවත් තැනක, කම්කරුවො සමරන්නේ ආණ්ඩුව එක තැනක, වෙනත් පක්ෂ වෙනත් තැන්වල, මේක හරිම ඛේදවාචකයක්. විශ්වය ලෝක ගම්මානයක් වෙත්දිත් අපි මැයි දිනය සමරන්න පිට්ටනි බෙදා ගන්න බැරිව මරා ගන්නවා. කොයි මැයි රැලියට යනවද කියලා හිතා ගන්න බැරිව කල්පනා කරනවා. පංගු පේරු බෙදාගෙන ගෝලීයකරණය ගැන කතාකරනවා. මට මතක් වෙන්නෙ දර්ශන මේදිස් ලියලා කපුගේ ගැයුව ගීතයක්. 

“සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු

වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන”

ඇත්ත..., දර්ශන මේදිස් ගේ මේ ප්‍රාර්ථනාව කොයිතරම් නම් සුන්දර ද? ඒත් අපි මේ එක කාරණයක්වත් මේ විදියට හිතනවාද? 

මට මතකයි වතාවක් අයියාගේ දුව ඇවිත් ඉස්කෝලෙ ලියන්න දුන්න රචනාවකට කරුණු වගයක් ඇහුවා. ඒ වෙද්දිත් මැයි දිනය ගැන මිතුරු සංගමයත් එක්ක කතා කරලා තැලුනු හිතෙන් උන්න මම දුවගේ රචනාවෙ කරුණු කියලා දෙන්න ඉඳගත්තා. 

“මොකද්ද පුතේ මාතෘකාව”

“කම්කරු දිනය ගැන ලියන්න කියුවෙ”

ආයෙමත් පරණ මාතෘකාව. මම ටිකක් වෙලා කල්පනා කරා. කම්කරු දිනයේ සැබෑ අර්ථයවත් නොදැන පක්ෂ පාට කොඩි උස්සගෙන අරක්කු බෝතලේ ට රුපියල් දාහට බත් පැකට් එකට කම්කරු පෙළපාළි යන පරම්පරාවක් ඉන්න රටක මේ අලුත් පරම්පරාව වත් කම්කරු දිනය කියන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕන නිසා මම දුවට කම්කරු දිනය බිහිවීම ගැන කියාදුන්නා. 

1886 අවුරුද්දෙ දි ඇමරිකාවෙ චිකාගෝ හේමාකට් චතුරස්‍රයේ සිද්ධිය ගැන මම කියාදුන්නා. එතනදි වැඩකරන ජනතාව ට පොලිසියෙන් වෙඩි තියුව එක. කර්මාන්තශාලා හිමියන්ගේ ක්‍රියා කලාපය. ඊටත් පස්සෙ 1889 දි පැරිස්වල ෆෙඩ්‍රික් එංගල්ස්ගෙ මූලිකත්වයෙන් පැවැත්තුව කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුලුවෙදි චිකාගෝ නුවර දි සිද්ධවුණ සිදුවීම සමරන්න මැයි පළවෙනිදා දිනය යෝජනා කරගත්ත හැටිත් කියා දුන්නා. ඊටත් පස්සෙ පළවෙනි මැයි දිනය 1890 දි සැමරුව හැටිත් ලංකාවෙ පළමුවෙනි මැයි දිනය සැමරුව හැටිත් මම කියුවා. 1926 දි ලංකාවෙ පළමුවෙනි මැයි දිනය සැමරුවේ ඒ. ඊ. ගුණසිංහයන්ගේ ප්‍රදානත්වයෙන්. ඒ මැයි දිනයේ විශේෂයක් තිබුණා. ඒ තමයි ඒ මැයි දින සැමරුම සිදුකෙරුණෙ අමධ්‍යපව වීම. අනික එදා මැයි දිනය අවසානෙ වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රීඩා උපකරණ බෙදා දීමකුත් සිද්ධ වුණා. මොනවා නැතත් ඒ පළමු මැයි දිනය විනය ගරුක මැයි දින සැමරීමක් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. 

ඊට පස්සෙ ලංකාවෙ බොහෝ දෙනා මැයි දින සැමරීම පටන් ගත්තා. විශේෂයෙන් පක්ෂ දේශපාලනය යටතේ විවිධ දේශපාලන පක්ෂ තම තමන්ගේ දේශපාලන දර්ශන තව තවත් ජනතාව අතර ව්‍යාප්ත කරගන්න මැයි දින රැළිය භාවිත කරා. කම්කරුවො සමරන්න බොරු සැමරුම් තියලා ජනතාව ගෙන්වන ඔය එක දේශපාලනඥයෙක් කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන ඇහැක් ඇරලා බලන්නෙ නැති බව නම් අපි හැමෝම දන්නවා. ඒත් ලෝකය ගොඩනැගුනේ ඒ කම්කරුවන්ගේ දෑතින් කියන එක අපි අමතක කරලත් දානවා. මට ඒ සිතුවිල්ල එක්ක මතක් වුනේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො ලියුව ගී පදවැලක්. 

අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ 

දෑතේ විරියෙනි රටවල් නැගුනේ

ඒ මිනිසුන්ගේ මළඟම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

Top